සුපිරි පන්දුවාරය දක්වා ඇදුණු තියුණු සටනින් එංගලන්තයට ජය

68
England's cricket team celebrate winning the series after the 5th Twenty20 cricket match between New Zealand and England at Eden Park in Auckland on November 10, 2019. (Photo by MICHAEL BRADLEY / AFP)

සංචාරක එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ ඕක්ලන්ඩ්හීදී පැවති පස්වැනි හා අවසාන ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය, සුපිරි පන්දුවාරයේ දී තියුණු ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (10) සමත් විය. 

මෙම උණුසුම් තරගය අවසානයේ දී කිවියන්ට යළිත් අවාසනාවන්ත පරාජයක් උරුම වූයේ ලෝක කුසලාන අවසාන මහා තරගය නැවත වාරයක් සිහිපත් කරමිනි.

පූරන්ගේ සටන්කාමී ඉනිම නිසා කොදෙව්වන්ට තවත් ජයක්!

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ලක්නව් හිදී පැවති දෙවැනි එක්දින තරගයත් ලකුණු 47කින් ජය ගැනීමට අද (09) බටහිර ඉන්දීය…………

වර්ෂාව හේතුවෙන් තරමක් ප්‍රමාද වී ඇරඹි තරගය පන්දුවාර 11කට සීමා විය. කාසිය වාසිය දිනූ එංගලන්ත නායක් ඔයින් මෝර්ගන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් බවට පත්වූ මාටින් ගප්ටිල් සහ කොලින් මන්රෝ අතිසාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ඉනිමේ පළමු පන්දුවාර 5.1 තුළ ලකුණු 83ක් රැස් කරමිනි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් 50 (20), 46 (21) වාර්තා කරන ලදි. 

ගප්ටිල්ගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් අන්තර්ගත වූ අතර මන්රෝගේ ඉනිමට හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් අන්තර්ගත විය.

ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ගප්ටිල් ලකුණු පුවරුව 83ක් වන විට දැවී ගියේ ආදිල් රෂීඩ්ගේ පන්දුවක් හමුවේය. තම සගයාගේ දැවී යාමත් සමඟ වැඩි වේලාවක් යාමට මත්තෙන් මන්රෝ ද දැවී ගියේ සෑම් කරන්ගේ පන්දුවක් හමුවේය.

ඉන්පසුව පිටියට පිවිසි පිතිකරුවන්ගෙන් ටිම් සෙයිෆාර්ට් හැරුණු කොට අන් කිසිදු අයෙකුට ලකුණු 10 සීමාව හෝ ඉක්මවීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැත.

එහි දී කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 6කට හා රොස් ටේලර් ලකුණු 3කට දැවී ගිය අතර අනෙක් අන්තයේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ සෙයිෆාර්ට් පන්දු 16කින් ලකුණු 39ක් රැස් කළේය. 

කෙසේ වෙතත් නවසීලන්ත ඉනිම නිමා වීමට යන්තම් පන්දු 3කට පෙරාතුව සෙයිෆාර්ට් දැවී ගිය අතර නියමිත පන්දුවාර 11 අවසානයේ නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලෙස දැක්විය.

පන්දු යැවීමේ දී සෑම් කරන්, ටොම් කරන්, ආදිල් රෂීඩ් හා සකීබ් මොහොමඩ් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 

“ඇත්තටම ඔහු එහෙම කරන්නේ කොහොමද?”

වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස ස්ටීව් ස්මිත් අවිවාදයෙන් පිළිගත හැක. ස්මිත් ක්‍රීඩා කරන තරගයක ඔහු පන්දුවට…………….

ලකුණු 147ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා බවට පත්වූයේ ටොම් බැන්ටන් සහ ජොනී බෙයාර්ස්ටෝ ය.

අසාර්ථක ආරම්භයක් ලබා ගත් බැන්ටන් ලකුණු 7ක් ලබා සිටිය දී දැවී ගියේ ට්‍රෙන්ට් බෝල්ට්ගේ පන්දුවක් හමුවේය. ඒ සමඟින්ම අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ ටිම් සවුති අංක 3 පිතිකරු වින්ස්ගේ කඩුල්ල ද ආ විගසින් දවා ගැනීමට සමත් වූයේ එංගලන්ත ලකුණු පුවරුව 9/2ක් බවට පත්කරමිනි.

අනතුරුව බෙයාර්ස්ටෝ සමඟ එක් වූ නායක මෝර්ගන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 30ක සබඳතාවයක් පැවැත්වු අතර මුළු ලකුණු සංඛ්‍යාව 39ක් වන විට මෝර්ගන් ද දැවී ගියේ බෝල්ට්ගේ පන්දුවකට පන්දු 7ක දී ලකුණු 17ක් ලබා සිටිය දී ය.

අනතුරුව බෙයාර්ස්ටෝගේ සහයකයා බවට පත්වූයේ සෑම් කරන් ය. එංගලන්ත ඉනිමේ විශාලතම සබඳතාවය වශයෙන් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සබඳතාවයක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වූයේ නවසීලන්ත පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

කැපී පෙනෙන ඉනිමක් දියත් කරමින් පන්දු 18කින් ලකුණු 47ක් (4 පහර 2, 6 පහර 5) ලබා ගැනීමට බෙයාර්ස්ටෝ සමත් වූයේ එංගලන්තය ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන යමිනි. සෑම් කරන් පන්දු 11කින් ලකුණු 24ක් ලබා ගත්තේය.  

ජේම්ස් නීෂම්ගේ හා මිචෙල් සැන්ට්නර්ගේ පන්දු හමුවේ ඔවුන් දෙදෙනා තම ඉනිම් හමාර කරන විට එංගලන්ත ලකුණු පුවරුව 101/5ක් වශයෙන් සටහන් වූයේ පන්දුවාර 7ක් අවසානයේ දීයි. ඒ අනුව එංගලන්තයට තම අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 46ක් ලබා ගැනීමට අවශ්‍ය විය.

නමුත් ලෙවිස් ග්‍රෙගරි හා ටොම් කරන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 6කට හා 12කට දැවී යාම මගින් තරගය නවසීලන්තය දෙසට නැවතත් දෝලනය විය.

එහෙත් නොදැවී ක්‍රීඩා කරමින් සිටි සෑම් බිලිංග්ස් සමඟ එක් වූ ක්‍රිස් ජෝර්ඩන් තරගය අවසානය දක්වාම රැගෙන ගියේ ඉතා උණුසුම් අවසානයක් ප්‍රේක්ෂකයන්ට උරුම කර දෙමිනි.

එංගලන්තය ඇවිළෙන ගින්නකට පිදුරු දමයි

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය එළඹෙන 2023 – 2031 තරග වාරය සඳහා ලෝක මට්ටමේ තරගාවලි 8ක් පැවැත්වීමට පසුගිය……………

මේ අනුව අවසන් පන්දුවේ දී එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 5ක් අවශ්‍ය විය. නමුත් නීෂම් යැවූ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කළ ක්‍රිස් ජෝර්ඩන් ලකුණු සම තත්ත්වයට පත්කළේ ප්‍රේක්ෂකයන්ව අමන්දානන්දයට පත් කරමිනි. ඒ සමඟින් එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 11 අවසානයේ දී 146/7ක් වශයෙන් සටහන් වූයේ සුපිරි පන්දුවාරයක් දක්වා මෙම තරගය රැගෙන යමිනි.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් 2/20 වශයෙන් තම පන්දු යැවීම සටහන් කළේය.

අනතුරුව සුපිරි පන්දුවාරයේ පන්දුවට පහර දීමට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ නායක මෝර්ගන් හා බෙයාර්ස්ටෝ ය. ට්‍රෙන්ට් බෝල්ට් විසින් යැවූ එම සුපිරි පන්දුවාරයේ දී එංගලන්තය ලකුණු 17ක්ම ලබා ගත්තේ නවසීලන්තයට ලකුණු 18ක අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.

නමුත් කිවියන්ට එහි දී එක් කඩුල්ලක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඒ අනුව ඉතා තියුණු සටනක් අවසානයේ මෙම තරගයේ ජය එංගලන්තයට හිමි විය.

ඒ සමඟින් තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-2ක් ලෙසින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. 

නවසීලන්තය – 146/5 (11): මාටින් ගප්ටිල් 50 (20), කොලින් මන්රෝ 46 (21), ටිම් සෙයිෆාර්ට් 39 (16), සකීබ් මහමූඩ් 1/20 (2)

එංගලන්තය – 146/7 (11): ජොනී බෙයාර්ස්ටෝ 47 (18), සෑම් කරන් 24 (11), මිචෙල් සැන්ට්නර් 2/20 (2)

  • සුපිරි පන්දුවාරය: එංගලන්තය – 17, නවසීලන්තය – 8/1
  • තරගයේ වීරයා – ජොනී බෙයාර්ස්ටෝ
  • තරගාවලියේ වීරයා – මිචෙල් සැන්ට්නර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<