ජාත්‍යන්තර සුපිරි ක්‍රිකට් තරු දෙකක් Jaffna Kings සමඟ එක් වෙයි

Du Plessis & Wahab Riaz to Power Jaffna Kings in 2021 LPL

251

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකරුවන් වන Faf du Plessis සහ Wahab Riaz පළමු වරට ලංකා ප්‍රිමියර් ලීග් තරග බිමට ප්‍රවිෂ්ට වීමට නියමිතයි.

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩක Faf du Plessis Jaffna Kings කණ්ඩායමේ විදේශීය Icon Player ලෙසත්, පාකිස්තානු ක්‍රීඩක Wahab Riaz විදේශීය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක් වනු ඇත.

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන du Plessis ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ වෙනම ම පරිච්ඡේදයක් ලියා තැබූ සුපිරි ක්‍රිකට් තරුවකි. පසුගිය දශකය තුල දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජන කළ ස්ථාවරම පිතිකරුවන් අතර ප්‍රමුඛයෙකි.

ඔහු මේ වන විට ටෙස්ට් තරග 69ක්, එක්දින තරග 143ක්, විස්සයි විස්ස තරග 50ක් සහ IPL තරග 100ක් සඳහා සහභාගී වී ඇති ප්‍රවීණයෙකි.

විස්සයි විස්ස තරග බිමේ අවස්ථා ගණනාවක දී ම ඔහු සතු මේ සුවිශේෂී දක්ෂතා උපයෝගී කර ගත් අතර 2014 හා 2016 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා du Plessis දකුණු අප්‍රිකානු නායකයා බවට පත් විය.

ඔහු 2016 දී දකුණ අප්‍රිකාවේ ටෙස්ට් නායකත්වය ද භාර ගත් අතර 2017 දී ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතිවල පූර්ණ කාලීන නායකත්වය භාරගත්තේය.

එක්දින ලකුණු 5000 සීමාව පසු කරන ලද 10 වැනි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත් වන du Plessis පසුගිය දා පැවති IPL අවසන් තරගයේ දී වීරයා වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය ද හිමිකර දෙමිනි. එම තරගයේ දී ඔහු පන්දු 59ක දී වේගයත් ලකුණු 86ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලිත් තරගාවලියේ දී ලකුණු 633ක් ලබා ගෙන ඇති du Plessis එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් වන්නේ ලකුණු දෙකක වෙනසකින් වීම ද විශේෂත්වයක්.

Jaffna Kings සමඟ එක්වන අනෙක් ජාත්‍යන්තර සුපිරි ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ Wahab Riaz ය. ඔහු ප්‍රවීණ වමත් වේගපන්දු යවන්නෙකු වන අතර දකුණුත් පිතිකරුවෙකු ද වෙයි. බොහෝ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කර ඇති පළපුරුදු ක්‍රීඩකයකු වන Wahab Riaz 2015 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ දී තුන් ඉරියව්වෙන් දස්කම් දක්වා ලොව පුරා පිළිගැනීමට ලක් විය.

Riaz පැයට කිලෝමීටර් 150කට අධික වේගයකින් පන්දු යවන භයානක වේගපන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රචලිතයි. ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 303ක දී කඩුලු 361ක් ලබා ගෙන ඇති Riaz තරග 91ක දී කඩුලු 120ක් දවා ගැනීමට සමත් වී ඇත.

2010 වර්ෂයේ දී එංගලන්තයට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයක දී Riaz ලකුණු 63කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වන්නේ එම දක්ෂතාවය පෙන්වූ 9 වැනි පාකිස්තානු ක්‍රීඩකයා බවට ද පත්වෙමින්.

Riazගේ හොඳම එක්දින කඩුලු ලබා ගැනීම වාර්තා වන්නේ 2011 ලෝක කුසලානය අර්ධ අවසන් පූර්ව තරගයේ දී ය. එහි දී ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 46කට එක්දින කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

Jaffna Kings සමඟ එකතු වන අනෙකුත් දෙස් විදෙස් ක්‍රීඩකයින් ගැන ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

ප්‍රථම වරට සංවිධානය කළ ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර ජෛව ආරක්‍ෂිත බුබුළක් තුළ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තේ Jaffna Stallions කණ්ඩායමයි.

LPL තරගාවලියේ දෙවැනි අදියර එළඹෙන දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<