IPL හි නව කණ්ඩායම් සහ එහි හිමිකරුවන් තීරණය කෙරේ

166
(DNA India)

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායම් දෙකක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ Lucknow හා Ahmedabad නගර නියෝජනය කරමිනුයි.

RPSG Ventures සමගම හා ආයෝජන සමාගමක් වන CVC Capital සමගම එම කණ්ඩායම් දෙකේ අයිතිය ලබාගෙන තිබෙනවා. මෙම කණ්ඩායම් දෙක අළෙවි කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලංසු කැඳවා තිබුණු අතර ඊයේ (25) එම ලංසුවල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර තිබුණා.

ඉන්දීය රුපියල් කෝටි 7,090ක ලංසුවක් ඉදිරිපත් කරමින් RPSG Group සමාගම, Lucknow නගරය මූලික කර ගන්නා කණ්ඩායම තමන් සතුකරගෙන තිබුණු අතර Formula 1 ආයතනයේ ද හිමිකාරිත්වය දැරූ CVC Capital කෝටි 5,625ක ලංසුවක් ඉදිරිපත් කරමින් Ahmedabad නියෝජනය කරන කණ්ඩායම තමන් සතුකර ගත්තා.

කණ්ඩායමක් ලබා ගැනීම සඳහා අවම ලංසුව වුනේ ඉන්දීය රුපියල් කෝටි 2,000ක්. RPSG Group සමාගම මීට පෙරත් IPL කණ්ඩායමක හිමිකාරිත්වය දැරුවා. වසර දෙකක් IPL තරගාවලියට එක්වුණු Rising Pune Supergiant කණ්ඩායමේ හිමිකරුවා වුනේ RPSG සමාගමේ හිමිකරු Sanjiv Goenka.

ඉන්දියාව තුළ ප්‍රබල සමාගමක් වන Adani Group සමාගමට හා Manchester United කණ්ඩායමේ හිමිකාරිත්වය දරන Glazers පවුල නියෝජනය කළ Championship Cricket LLC සමාගමට IPL කණ්ඩායමක් හිමිකර ගැනීමට නොහැකි වීම කැපී පෙනුණා.

ඒ අනුව 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට කණ්ඩායම් 10ක් එකතු වන අතර තරග 74ක් තරගාවලිය පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි. BCCIය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව එක් කණ්ඩායමක් සංචාරක තරග 7ක් හා සත්කාරක තරග 7ක් බැගින් ක්‍රීඩා කරනු ඇත.

Cricbuzz ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<