Jaffna Kings ප්‍රධාන තනතුරු නිල වශයෙන් නම් කරයි

LPL ක්‍රිකට් තරගාවලිය 2021

260

එළඹෙන 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා ප්‍රමුඛ තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින් Jaffna Kings සිය කණ්ඩායමේ ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා සිදු කරන ලද පත්කිරීම් ප්‍රකාශයට පත්කරයි.

ඒ අනුව Jaffna Kings හි ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ගනේෂන් වහීසන් (Ganeshan Vaheesan) පත්කර ඇත. හැරී යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ගනේෂන් වහීසන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

දීර්ඝ කාලීන ක්‍රිකට්ලෝලියකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයකු ද වන වහීසන් UKCC 3 වැනි තලයේ ක්‍රිකට් පුහුණුකරුවකු ද වෙයි. Cambridgeshire කනිෂ්ඨ ප්‍රාන්ත ක්‍රිකට් සඳහා ද පුහුණුකරුවකු ලෙස සම්බන්ධ වන ඔහු ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රිකට් පුහුණුකරුවකු වෙයි.

ඔහු වර්ෂ 2016 – 2019 දක්වා වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සමාජයක් වන March Town CC හි ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත. එම ක්‍රිකට් සමාජය සඳහා ඔහු කළ කැපවීම වෙනුවෙන් 2019 දී වහීසන් ‘Clubman of the year’ ලෙස ඇගයීමට ලක්කරයි.

ඔහුගේ කළමනාකරණ හැකියාවන් සහ ක්‍රිකට් පිළිබඳ දැනුම නිසැකවම මෙවර LPL තරගාවලියේ දී අනෙක් කණ්ඩායම්වලට එරෙහිව Jaffna Kings කණ්ඩායමට වාසිදායක වනු ඇත.

2021 Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිළ නියෝජනය කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි පත්කර ඇත. 2020 ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම මෙහෙයවූ ප්‍රධාන පුහුණුකරු වූයේ ද තිළිණ කණ්ඩම්බි ය. මෙම වසර ආරම්භයේ දී ඔහු අබුඩාබි T10 හි ‘Bangla Tigers’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත්කරනු ලැබීය.

LPL විස්සයි විස්ස තරගාවලියේ ස්වරූපයෙන්ම 2012 වර්ෂයේ දී පැවති SLPL තරගාවලියේ දී Uva Next කණ්ඩායමට නායකත්වය දෙමින් ජයග්‍රාහී කුසලානය දක්වාම තම කණ්ඩායම මෙහෙය වීමට තිළිණ කණ්ඩම්බි සමත් විය.

ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු එම විද්‍යාලයේ 13න් පහළ සිට 19න් පහළ දක්වා සියලුම කණ්ඩායම්වල නායකත්වය හොබවා ඇත.  ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු පිළිගත් ක්‍රිකට් ආයතන කිහිපයකම විධිමත් පාඨමාලා අවසන් කර සිටින තිළිණ කණ්ඩම්බි 2016/17 වර්ෂයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ පිතිකරණයේ පුහුණුකරු වූ අතර 2017/18 කාලයේ දී එම විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකාර ධුරය ද දරනු ලැබීය.

එමෙන්ම ඔහු මෑතක දී SSCකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට ද පත්කරනු ලැබීය. 2000 වර්ෂයේ පැවති 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට උප නායකත්වය ලබා දෙන්නේ ද තිළිණ කණ්ඩම්බි ය.

තවද ඔහු Bloomfield Cricket Club සහ Sinhalese Sports Club හි ද නායකත්වය හොබවා ඇත. ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස ඔහු ලබා සිටින අත්දැකීම් Jaffna Kings කණ්ඩායම 2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය විජයග්‍රහණය සඳහා මෙහෙයවීමට නිසැකවම හේතු වනු ඇත.

2020 LPL තරගාවලියේ ජයග්‍රාහී යාපනය කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා මෙවර ද Jaffna Kings කණ්ඩායමේ නායකත්වය සඳහා පත්කර ඇත. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සේම තුන් ඉරියව් ක්‍රීඩකයකු ද ලෙසින් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා IPL, PSL, ABU DHABI T10 ඇතුළු ලොව පුරා විස්සයි විස්ස ලීග් තරග ගණනාවක් සඳහාම ක්‍රීඩාකර ඇති පළපුරුදු ක්‍රීඩකයෙකි.

තිසර පෙරේරා එක්දින සහ විස්සයි විස්ස යන තරග ද්විත්වයේ දී ම කඩුලු ත්‍රිත්වයක් අත්පත් කරගැනීමට සමත් වන අතර ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් එම දක්ෂතාවය දැක්වීමට සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනකු පමණි.

තවද ඔහු 2014 වර්ෂයේ දී T-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අත්පත්කර දෙමින් ජයග්‍රාහී අවසන් ලකුණු ත්‍රිත්වය වේගවත් හතරේ පහරකින් සම්පූර්ණ කළ ක්‍රීඩකයා ද වෙයි. මෑතක දී පැවති ප්‍රාදේශීය තරගයක දී ඔහු එක් පන්දුවාරයක දී හයේ පහර හයක් සහ කඩුලු ත්‍රිත්වයක් ද දවා ගනිමින් සිය ප්‍රවේගකාරී ක්‍රීඩාශීලීත්වය විදහා දක්වන්නට සමත් විය.

Jaffna Kings කණ්ඩායමේ ආයතනික අලෙවිකරණ, සන්නිවේදන සහ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ප්‍රමුඛ පෙළේ වෘත්තීය අලෙවිකරුවකු වන සාරංග විජයරත්න පත්කර ඇත. ඔහු මෑතක දී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස  කටයුතු කර ඇති අතර විජය පුවත්පත, සිලෝන් නිවුස් පේපර්ස් ඇතුළු ජාතික හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇත.

2020 LPL හි ඔහුගේ භූමිකාව එහි ශූරතාවය දිනූ යාපනය කණ්ඩායම සඳහා ලැබිය යුතු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමට හේතු විය. සාරංග විජයරත්න සතු වෘත්තීයමය අත්දැකීම් සහ අලෙවිකරණ ඥානය තුළින් Jaffna Kings කණ්ඩායම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතරට යෑමට හේතු වනු ඇත.

මාධ්‍ය නිවේදනයකි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<