Dinesh Karthikට දඬුවමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

9852

ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ Delhi Capitals සමඟ ඊයේ (13) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී තරගාවලි ආචාරධර්ම උල්ලංඝනය කිරීම නිසා Kolkata Knight Riders කණ්ඩායමේ හිටපු නායක Dinesh Karthik හට දඬුවම් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.

Delhi Capitals තරගයෙන් අනතුරුව මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ,

“Karthik ආචාරධර්ම පද්ධතියේ පළමු මට්ටමේ 2.2 වගන්තිය උල්ලංඝනය කළ ඇති අතර ඔහු විසින් එය පිළිගෙන තිබෙනවා. පළමු මට්ටමේ උල්ලංඝනය කිරීම් සඳහා තරග තීරකවරයාගේ තීරණය අවසාන තීරණය වෙනවා”, යනුවෙනුයි.

ඔහු එම වගන්තිය උල්ලංඝනය කළ ආකාරය පිළිබඳව ස්ථීර ලෙස දැනුම් දී නොමැති නමුත් ඊයේ පැවති තරගයේ දී ඔහු දැවී යාමෙන් පසුව ඔහු කලකිරීමෙන් මෙන් කඩුල්ලක් ඉවත් කරනු දක්නට ලැබුණා.

කෙසේ නමුත් අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසු Delhi Capitals කඩුලු තුනකින් පරදවමින් වසර 7කට පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට Kolkata Knight Ridersට ඊයේ හැකි වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Delhi Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර Shikhar Dhawan ලකුණු 36ක් සහ Shreyas Iyer නොදැවී ලකුණු 30ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Kolkata Knight Riders කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දෙමින් අර්ධ ශතකයක් රැස්කිරීමට Venkatesh Iyer සමත් වීම නිසා පන්දුවාර 15.5 තුළ ලකුණු 123ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

Delhi Capitals කණ්ඩායමේ අවසන් පන්දුවාර යොමු කළ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ Kolkata Knight Riders පිතිකරුවන් හතර දෙනෙකු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීම නිසා ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට පන්දු 2ක් තුළ ලකුණු 6ක ඉලක්කයක් හිමිවුනේ සියල්ලන් පුදුමයට පත්කරමිනුයි.

නමුත් එතෙක් වේලාවක් අවසන් පන්දුවාරය ඉතා සාර්ථකව යොමු කරමින් සිටි Ashwinගේ පස්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට Rahul Tripathiට හැකි වුනා.

2012 සහ 2014 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවය හිමිකර ගැනීමෙන් පසුව Kolkata Knight Riders ක්‍රීඩකයන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් සිකුරාදා (15) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී Chennai Super Kings සමඟ තරග වැදීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<