“මම හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා” – දිමුත්

262

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න පසුගිය 31 වැනිදා සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා ඊයේ (1) සවස සිය කනගාටුව පල කර තිබුණි.

දිමුත් ගැන තීරණයක් ගන්න SLC වෙතින් පරීක්ෂණයක්

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය …..

දිමුත් එහි දී සිය කනගාටුව පල කර තිබුණේ මෙසේය.

හිතවත් මිතුරනි/ සහෝදරයනි/ ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයිනි/ ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයිනි,

ඔබට දැනගන්නට ලැබෙන්න ඇති ඊයේ (31) මම මුහුණ දුන් සිදුවීම පිළිබඳව. මගේ වාහනය නිවාස වෙත ධාවනය කරමින් සිටිය දී අවාසනාවන්ත ලෙස කොළඹ දී මම සුළු අනතුරකට මුහුණ දුන්නා.

පළමුවෙන් මම අනෙක් වාහනය ධාවන කළ රියදුරු මහතාගෙන් සමාව අයැද සිටිනවා මේ අනතුරෙන් ඔහු සුළු ලෙස තුවාල ලබලා මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටියා. මේ සිදුවීම සිදු වුන වෙලාවේ දී ඔහු මාත් සමඟ ඉතාමත් සුහදව කටයුතු කළා. මම ඔහු සමඟ නිතර කතා බහ කළා ඔහු දැන් මේ වන විට ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් නික්ම ගහිල්ලා තිබෙනවා.

ඔහුගේ යහපැවැත්ම හා ඉදිරි ප්‍රතිකාර සම්බන්ධයෙන් මම සෘජුවම සම්බන්ධ වෙලා ඔහුව හොඳින් රැකබලා ගන්නා බව සහතික කරනවා.

අද (01) උදෑසන මම අධිකරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකාවේ නීතියට අනුව  ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අවශ්‍ය සියලු විධි විදානයන් අනුගමනය කළා.

මගේ ක්‍රියාව ශ්‍රී ලාංකික ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අතිශයින්ම නුසුදුසු බව මම හොඳින් දනිමි. මෙම සිද්ධිය සඳහා ඔබ සියලු දෙනාගෙන් සමාව අයැද සිටිනවා.

මා හට පැමිණි අමාරු සහ අපහසු කාලවල දී ද මාව තේරුම්ගත් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වනවා.

මෙයට විශ්වාසී,

දිමුත් කරුණාරත්න.

බොරැල්ල කිංසි පාරේ දී දිමුත් කරුණාරත්න පැදවූ රතු පැහැති රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය පසුගිය (31) අලුයම 5.15ට පමණ කළු පැහැති ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමතින් සිට ඇති බව පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය විය.

කෙසේ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිමුත් පසුගිය (31) සවස ඇප මත මුදාහැරීමට බොරැල්ල පොලිසිය පියවර ගනු ලැබීය. පසුව ඊයේ (1) දිනයේ දී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ දිමුත්ව ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට තීරණය කළ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරමින් දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය (31) තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන ලදි.

දිමුත් කරුණාරත්න මේ වසරේ මැයි මාසයේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සිටින ක්‍රීඩකයින් කිහිප දෙනා අතරින් එක් අයෙක් වන අතර දකුණු අප්‍රිකාවේ දී පසුගිය දා නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී 2-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේ ද දිමුත්ගේ නායකත්වය යටතේයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<