ප්‍රථම දිනයේදීම සර්වේසස් ක්‍රීඩකයින්ගෙන් දැඩි අභියෝගයක්

203
Schools Cricket

රුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සෑම දෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් සටන, අද (24) 117 වැනි වරටත් ආරම්භ වූයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී යි. තරගය 26 වැනිදා දක්වා පැවැත්වේ.

රුහුණු නිල් මහා සටනට පෙර විපරමක්

කුණු නිල් මහා සටන නැතහොත් රුහුණු නිල් මහා සටන ලෙස ක්‍රීඩාලෝලී ඔබ සැමදෙනාගේම අවධානය දිනා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය…

සනත් ජයසූරිය, රුචිර පල්ලියගුරු, ඉන්දික ද සේරම් හා ප්‍රභාත් නිස්සංක වැනි අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ජාත්‍යන්තරයට රැගෙන ගිය ගමනේ මූලික අඩිතාලම සැකසූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ දී දෙවැනි වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයට පමණි.

තරගයේ ප්‍රථම දිනය වූ අද දිනයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාලයේ ආරාධනය පරිදි පිටියට පිවිසි සාන්ත සර්වේසස් විද්‍යාලය, තම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 207ක් රැස්කර ගන්නා ලදි. එහි දී වමතින් පිත්ත හසුරුවන තුන් ඉරියව් ක්‍රීඩක තිලිණ ප්‍රශාන් මැද පෙලින් පිටියට පැමිණ අවසන් පිතිකරුවන් හා සම්බන්ධ වෙමින් අර්ධ ශතකයක් තම ලකුණු ගොන්නට එකතු කර ගැනීමට සමත් විය. එම වර්ණවත් ඉනිම විශිෂ්ට පිති ප්‍රහාර කිහිපයකින් වර්ණවත් වන විට, සුපුන් කාවින්ද තම අර්ධ ශතකය පෙනෙන මානයේ දී දවා ගැනීමට සාන්ත තෝමස් යවන්නන් සමත් වූයේ සුපුන්ගේ ඉනිම ලකුණු 48කට සීමා කරමිනි.

[rev_slider dfcc728]

.

එක් මොහොතක සාන්ත සර්වේසස් ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 187ක් ලෙස සටහන් විය, කෙසේ හෝ ඔවුන් තරගයක් ලබා දිය හැකි මට්ටමේ ලකුණු පුවරුවක් වෙත තම විදුහලේ ලකුණු පුවරුව ඔසවා ගැනීමට සමත් විය. එහි දී මුදිත හශාන් ද තමන්ට හැකි උපරිමයෙන් ක්‍රීඩා කරමින් ලකුණු 36ක් වාර්තා කළේය.

මුල් පෙළ හා මැද පෙළ පිතිකරුවන් කිහිප දෙන‍ෙකුටම වැඩි වේලාවක් උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී දස්කම් දැක්වීමට ඉඩ නොදුන් මලීශ සදුශ්ක ලකුණු 24ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් සාන්ත තෝමස් පන්දු යවන්නන්ව දිරිමත්  කරන ලදි. ඔහුට අමතරව ලහිරු දිල්ශාන්, ප්‍රවීන් මදුෂාන් හා හෂින් දිල්මින් කඩුලු 2 බැගින් දවා ගන්නා ලදි.

දිනය අවසන් වීමට ආසන්නව තිබිය දී තම පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි සාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් යුගලය ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක තිලිණ ප්‍රශාන් ඇතුළු පන්දු යවන්නන් සමත් වූයේ, සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු දිනය තුල යම් වාසිදායක තත්ත්වයක ද උදා කරමිනි. තරගයේ පළමු දිනය අවසන් වන විට, සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 4ක් ලබාගෙන යම් පසුබෑමකට ලක්ව සිටියි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 207 (පන්දුවාර 76.4): තිලිණ ප්‍රශාන් 51, සුපුන් කාවින්ද 48, මුදිත හශාන් 36,  ශසික දුල්ෂාන් 21, මලීශ සදුශ්ක 3/24, ලහිරු දිල්ශාන් 2/28, ප්‍රවීන් මදුෂාන් 2/38, හෂින් දිල්මින් 2/64

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 2ක් දැවී ලකුණු 4 (පන්දුවාර 10.5): තිලිණ ප්‍රශාන් 01/2

මෙම තරගයේ දෙවන දිනය හෙටයි (25).

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට