“ලංකාව අභියෝගයක්!” – එංගලන්ත ප්‍රධාන පුහුණුකරුගෙන් ප්‍රකාශයක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

286
Image Credits - ECB

එංගලන්ත කණ්ඩායම පසුගිය තරග සංචාරය අතරතුර දී සිදුකළ අඩුපාඩු සියල්ල හඳුනා ගනිමින්, ඒවා ඉතාමත් සූක්ෂමව සහ සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තම කණ්ඩායම හට ප්‍රබල අභියෝගයක් ලබාදීමේ හැකියාව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සතුවන බව එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood මහතා ප්‍රකාශ කර තිබුනි. 

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (14) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විටත් සූදානම් කර අවසන් බව වාර්තා වේ. 

ඒ අනුව හෙටින් ආරම්භ වන තරගාවලිය ජයග්‍රාහී සටහනකින් නිමා කිරීම, තමන් ඇතුළු තම කණ්ඩායමේ ඒකායන බලාපොරොත්තුව වන බව සඳහන් කර සිටි Silverwood මහතා පවසා සිටියේ තම කණ්ඩායමට ICC ටෙස්ට් ශූරතාවයෙහි අවසන් කණ්ඩායම් දෙක අතරට පිවිසීමේ ඉතාමත් හොඳ අවස්ථාවක් මේ වන විට නිර්මාණය වී තිබෙන බවයි. 

“ශ්‍රී ලංකාවට ඇවිල්ලා තරගාවලියක් දිනලා යනවා කියන්නේ ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි. පසුගිය තරගාවලිය අනපේක්ෂිත විදියට පරාජයට පත්වෙන්න සිද්ධ වුන නිසා ඒකේ වාඩුව ගන්න, ශ්‍රී ලංකා කණ්ඩායම මඟ බලාගෙන ඉන්නේ කියලා අපි දන්නවා. ඇත්තටම මේ තත්වයන් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම වෙලාවක අඩුතක්සේරු කරන්න බැරි බව පිළිගන්න ඕනෑ.” 

එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ කාලසමය තුළදී ටෙස්ට් තරග 6කට සහ එක්දින තරග 7කට සිය දායකත්වය ලබාදී ඇති Silverwood මහතා අවධාරණය කර සිටියේ ඕනෑම තත්ත්වයක් යටතේ, කුමන කණ්ඩායමකට එරෙහිව වුවද තරග කිරීමට හැකි, අතිදක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ ශක්තිමත් සංචිතයක් තමන් සතුව ඇති බවයි. 

“අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා ද? අනිවාර්‍යෙන්ම! මොකද මට විශ්වාසයි, මගේ ක්‍රීඩකයින්ට ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා. අපි බලමු කොහොමද දැන් තියෙන වාතාවරණයත් එක්ක ඔවුන් ඊට අනුගත වෙලා ඉක්මණින්ම සුපුරුදු දක්ෂතා අතරට එන්නේ කියලා.” 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“මම එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරවරයා විදියට වැඩ භාරගන්නකොටත් කණ්ඩායමක් විදියට ඔවුන් ඉතාමත් හොඳ ස්ථාවරයක තමයි හිටියේ. ඉතින් ඒ මහන්සියෙන් ගොඩනඟා ගත්ත දේ ඉදිරියටත් පවත්වා ගෙන යන්න ලොකු වගකීමක් අපි හැමෝටම තියෙනවා. පහුගිය කාලසීමාවේ දී අපිට පුළුවන් වුනා ටෙස්ට් පිටියේ කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වෙන්න. මොකද අපේ සැලසුම් බොහෝ විට, බොහෝ අවස්ථාවන් වලදී සාර්ථකව දියත් කරන්න පුළුවන් වුනා.” 

යම් හෙයකින් කණ්ඩායම නියෝජනය කරන නිත්‍ය ක්‍රීඩකයෙකු හට ආබාධයක් නිසාවෙන් තරගාවලිය අහිමි වීමේ අවධානමක් පැනනැඟුන හොත් ඊට පෙර සූදානමක් වශයෙන් අතිරේක ක්‍රීඩකයින් 7දෙනෙකු මෙවර සංචිතය වෙත ඇතුළත් කිරීමට කටයුතු කළ බව ද ඒ මහතා සඳහන් කර සිටියේය. 

COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිට දඟපන්දු යවන ක්‍රීඩක Moeen Ali හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ වැඩි ඉඩකඩක් පැවති නිසාවෙන් ඔහු වෙනුවට Mason Crane, Matt Parkinson හෝ Amar Virdi යන ක්‍රීඩකයින් තිදෙනාගෙන් අයෙකුට කණ්ඩායමේ දොරටු විවෘත වීමේ හොඳ අවස්ථාවක් පවතින බව විචාරකයින් මත පළකර සිටියි. 

“අපි මෙච්චර ලොකු සංචිතයක් නම් කරන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුනේ ඔය කාරණාව. වෙනදට නම් ආබාධයක් වුනාම ආදේශ කළ යුතු ක්‍රීඩකයා සත්කාරක රටට එනකන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වුනා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ, මොකද අතිරේක ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම නිතරම කණ්ඩායමත් එක්ක පුහුණුවීම් කටයුතුවල නිරත වෙන නිසා, අවශ්‍යතාවක් මතු වුනොත් ඕනම වෙලාවක තමන්ගේ සේවාව කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන්න ඔවුන් හොඳ සූදානමකින් ඉන්නේ.” 

ඉදිරියේ දී තවත් තීරණාත්මක තරගාවලි කිහිපයක් තමන් ඉදිරියේ ඇති නිසාවෙන් ක්‍රීඩකයින් නිසි අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද Silverwood මහතා මෙහිදී මත පළකර සිටියේය. 

“අපිට කෙටි කාලයක් ඇතුළත ටෙස්ට් තරග 6කට ක්‍රීඩා කරන්න වෙලා තියෙනවා. ඉතින් ‘හැම ක්‍රීඩකයෙකුටම හැම තරගයක්ම ක්‍රීඩා කරන්න බැරි වෙන්න පුළුවන්’ කියන යථාර්තය අපි තේරුම්ගත යුතුයි. ඒ නිසා පහුගිය ගිම්හාන තරගවාරයේ දී අපි ගොඩක්ම කළේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ කඩින් කඩ විවේක ගන්වලා ඔවුන්ට එල්ල වෙන පීඩනයෙන් තරමක් නිදහස් කරන්න උත්සාහ කරපු එක. මම හිතනවා ඒ ක්‍රමය අපිට තව කාලයක් අනුගමනය කරන්න වෙයි කියලා.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<