“T20 ලෝක කුසලානය දිනාගැනීමට නම් අප දඟපන්දු යවන්නන් ශක්තිමත් කළ යුතුයි” – ග්‍රැහැම් ෆෝඩ්

322
Graham Ford

පසුගිය දා නිමා වු T20 තරඟ තුනෙන් පසුව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් උපදේශක ග්‍රැහැම් ෆෝඩ් ThePapare.com සමග සිය අදහස් ඛෙදා ගත්තේ මෙලෙසිනි.

”ඇත්තෙන්ම අප මීට වඩා තරඟය ගැන බලාපොරොත්තු තබාගෙන සිටියා. කෙසේවෙතත් තරුණ සාමාජිකයින්ගෙන් යුතු අපේ කණ්ඩායමේ ශක්තිය, උද්යෝගය මෙන්ම ආකල්ප යන සියල්ල ඉතා හොඳ ඉහළ මට්ටමක පැවතුනා. අපේ කණ්ඩායම දක්ෂයින්ගෙන් පිරුණු එකක්, ඒ වුණත් අත්දැකීම් අතින් අප තරමක් පසුපසයි සිටියේ. නමුත් මම දැඩිව විශ්වාස කරනවා කාලයත් සමග ඉතාමත් හොඳ කණ්ඩායමක් නිර්මාණය කරගන්න අපට පුළුවන් වේවි කියලා”

මේ වනවිට ෆෝඩ්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉදිරියේදී එළඹෙන ආසියා කුසලානය සහ T20 ලෝක කුසලානය කෙරෙහි වන අතර ඔහු අනාගතයට මුහුණ දීම පිණිස තමන්ගෙන් ලැබිය යුතු දායකත්වය ඉටු කරන ආකාරයද ඉතාමත් පැහැදිලිව මාධ්‍ය සාකච්ඡාවේදි පවසා සිටියා.

” මෙම තරඟ දෙක ඉතාමත් වැදගත් තරඟ දෙකක්. කණ්ඩායම් සියල්ලක්ම මෙම තරඟවලට සහභාගී වන්නේ අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලැබීමේ අරමුණින්. නමුත් ඇත්තෙන්ම මට නම් එය මගේ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ලෙසින් ඉදිරි ගමනට සූදානම් කිරීම සදහා පවතින කදිම අවස්ථාවක්. ඇත්ත අපි මේ තරඟ සියල්ල ජයග්‍රහණය කිරීමට හැකි උපරිම උත්සහය දරාවි. නමුත් එම ජයග්‍රහණයටත් වඩා මගේ සැබෑ අවශ්‍යතාවය සහ අරමුණ වන්නේ, මෙය අපේ තරුණ ක්‍රීඩකයින් අනාගතයේ දක්ෂ ක්‍රීඩකයින් බවට පත්කරන අත්දැකීම් වනු දැකීමයි”

ඉන්දියාවට එරෙහි පළමු තරඟය ජයග්‍රහණය කරත්, අනෙක් තරඟ දෙකම පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශී්‍ර ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි ලෙසින් පුදුමයට පත්ව සිටී. නමුත් ෆෝඩ් පවසා සිටියේ ශක්තිමත් ඉන්දීය කණ්ඩායම හමුවේ ලද එම පරාජය ICC T20 ලෝක කුසලාන තරඟාවලියට මුහුණ දීම සදහා සිය තරුණ ක්‍රීඩකයින් ලද ඵලදායී අත්දැකීමක් බවයි.

”මම හිතන්නේ අපි දඟපන්දු යවන්නන්ට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොවුන්ගෙන් සමහරුන් මීට පෙර කෘතීම ආලෝක ධාරාවන් යටතේ ක්‍රීඩා නොකළ අය. එසේම විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ක්‍රීඩා නොකළ අය. මම හිතන්නේ මෙම අත්දැකීමත් සමඟ ඔවුන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ හරහා වඩාත් හොද ක්‍රීඩකයින් බවට පත්වීමට කළ යුතු දේවල් ඔවුන් දැන් දන්නවා. ඉතින් දැන් අපට කළ යුතු බොහෝ දේ තිඛෙනවා” යනුවෙන් ඔහු පවසා සිටියේය.