නව ලෝක වාර්තා දෙකක් සමඟින් 2023 Diamond League අවසන්

1413

2023 Diamond League තරග වාරය අද (18) උදෑසන ඇමරිකාවේ Eugene හිදී අතිසාර්ථකව නිමාව දුටුවේ නව ලෝක වාර්තා ද්විත්වයක් ද බිහි වෙමිනුයි.

ඉතිහාසයේ 14 වැනි වතාවට පැවැත්වුණු මෙම 2023 Diamond League තරග වාරය මෙම වසරේ මැයි 05 වැනිදා ආරම්භ වූ අතර එහි 14 වැනි අදියරයි අද උදෑසන පැවැත්වුණේ.

මෙහි දී වත්මන් පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක ශූර Mondo Duplantis (Armand Duplantis) විසින් මීටර් 6.23ක උසක් තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙම වසරේ පෙබරවාරි මාසයේ දී මීටර් 6.22ක උසක් තරණය කරමින් සිය හයවැනි ලෝක වාර්තාව සටහන් කළ Duplantis විසින් එතැන් පටන් දිගින් දිගටම මීටර් 6.23ක උස තරණය කිරීම උත්සාහ ගත්තත් එය සාර්ථක කර ගැනීමට සමත් වුනේ නැහැ.

නමුත් අද අලුයම ඔහු විසින් පිමි හතරක්* පමණක් පනිමින් හත්වැනි වරටත් පිරිමි රිටි පැනීමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.

*.Mondo සිය පළමු පිම්ම ලෙස මීටර් 5.62ක්, දෙවැනි පිම්ම ලෙස මීටර් 5.82ක් තරණය කළ පසු සිය තෙවැනි පිම්මෙන් (මීටර් 6.02) තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. ඉන්පසුව ඔහු මීටර් 6.23ක් වෙනුවෙන් දැරූ පළමු උත්සාහයෙන් ම එය සාර්ථක කර ගනිමින් ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වුනා.

මේ අතර කෙන්යාවේ Faith Kipyegon විසින් මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් මෙම වසරේ ජුනි මාසයේ දී පිහිටවූ මිනිත්තු 14.05.20ක ලෝක වාර්තාව අද උදෑසන ඉතියෝපියාවේ Gudaf Tsegay විසින් ඉතා පහසුවෙන් බිඳ දැමීමට සමත් වුනා. මෙහි දී ඇය විසින් සිය නව ලෝක වාර්තාව Kipyegonගේ වාර්තාවට වඩා තත්පර 5කින් දියුණු කිරීමට සමත් වීම විශේෂත්වයක්.

Gudaf විසින් මිනිත්තු 14.00.21කින් සිය ඉසව්ව නිමා කළ අතර ඇයට මෙම ඉසව්ව මිනිත්තු 14කට වඩා අඩු කාලයකින් නිමා කිරීමට තිබූ ඉතිහාසගත අවස්ථාව අවාසනාවන්ත ලෙස අහිමි වුනා.

මීට අමතරව අද උදෑසන පැවැත්වුණු අනෙක් ඉසව්වලින් කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්තයේ Femke Bol විසින් සමත් වුනා. එමෙන්ම කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව Tobi Amusan විසිනුත්, පිරිමි මීටර් 110 පිරිමි කඩුලු පැන දිවීම ඉසව්ව Hansle Parchment විසිනුත් ජයග්‍රහණය කළා.

එමෙන්ම අද උදෑසන පිරිමි මීටර් 3000 ඉසව්ව නෝර්වේ හි Jakob Ingebrigtsen විසින් ජයග්‍රහණය කරද්දී, කාන්තා උස පැනීම ඉසව්ව තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය කිරීමට යුක්‍රේනයේ Yaroslava Mahuchikh විසින් සමත් වුනේ එහි දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers හට හිමි කර දෙමිනුයි.

2023 මලල ක්‍රීඩා තරග වාරයේ අවසන් අදියර ලෙස සැලකෙන මෙම Eugene Diamond League හි අවසන් ඉසව්ව ලෙස පැවැත්වුණු මීටර් 200 ඉසව්වේ පිරිමි අංශයෙන් නැවතත් සිය දක්ෂතා අතරට පිවිසීමට කැනඩාවේ Andre de Grasse විසින් සමත් වීම විශේෂත්වයක්.

විශේෂයෙන්ම මෙවර තරග වාරයේ දී එතරම් හොඳ කාල වාර්තා කිරීමට සමත් නොවූ De Grasse විසින් අද උදෑසන මෙම තරග වාරය සඳහා සිය හොඳම කාලය ද (තත්පර 19.76) සමඟින් ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

මේ අතර ජැමෙයිකාවේ Shericka Jackson විසින් කාන්තා මීටර් 200 ඉසව්ව නව තරගාවලි වාර්තාවක් ද සමඟ තත්පර 21.57කින් නිම කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කාන්තා මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාවට ඇස ගසා ගනිමින් මෙවර තරග වාරය ආරම්භ කළ Sherickaට ඒ ආසන්නයට ම පැමිණිය හැකි වුනත් වාර්තාව බිඳ හෙළීමට හැකියාව නොලැබීම කණගාටුදායකයි.

මීට අමතරව Eugene හි පැවැත්වුණු 2023 Diamond League අවසාන අදියරේ පළමු දිනය පසුගිය සෙනසුරාදා/ඉරිදා (18 වැනිදා අලුයම) පැවැත්වුණු අතර එහි දී වත්මන් කාන්තා මීටර් 100 ඉසව්වේ ලෝක ශූරිය වන ඇමරිකාවේ Sha’Carri Richardson හට හිමි වුනේ සිව්වැනි ස්ථානයි. Sha’Carri පහසුවෙන් අබිබවා ගිය Shericka විසින් මෙම ඉසව්ව ද ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම වත්මන් පිරිමි මීටර් 100 ලෝක ශූර Noah Lyles හට සිය ඉසව්වෙන් හිමි වුනේ දෙවැනි ස්ථානයයි. 2023 වසරේ මීටර් 100 ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩකයෙකු වාර්තා කළ සම හොඳම කාලය ද සමඟින් (තත්පර 9.85) ඇමරිකාවේ ම Christian Coleman විසින් පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම මීට අමතරව Eugene Diamond League පළමු දිනයේ දී පිරිමි මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ග්‍රෙනේඩාහි Kirani James විසින් සමත් වූ අතර, කෙන්යාවේ Faith Kipyegon විසින් කාන්තා මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙම වර්ෂයට අදාළ මලල ක්‍රීඩා ඉසව්වල අවසන් අදියර එසේ අවසන් වෙමින් යද්දී, ආසියානු කලාපයට අදාළ ව නම් තවමත් එහි උණුසුම පහව ගොස් නැති බව සඳහන් කළ හැකි.

එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වීමත් සමඟින් මලල ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්ට තවත් උණුසුම් තරග අත්දැකීම් රැසක අත්දැකීම විඳ ගැනීමට අවකාශය ලැබෙනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ලෝක මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Olympics සහ World Athletic ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<