දිනුර කළුපහන සහ රුසඳ ගමගේ ශතක අතරට

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය

385

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දෙදින තරග කිහිපයක ආරම්භය අද (4) සනිටුහන් වෙද්දී තවත් සුහද එක්දින තරගයක් ද ක්‍රියාත්මක වුනා.

දෙදින තරගවල පළමු දිනය අවසන් වෙද්දී ත්‍රිත්ව, සාන්ත පීතර සහ මහින්ද විද්‍යාල වැඩි වාසිය තමන් සතු කර ගැනීමට සමත් වුනා. එසේම දිනයේ ක්‍රියාත්මක වූ එකම සුහද එක්දින තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාලය පැරබෝලා ක්‍රමය අනුව ලකුණු 54කින් පරාජයට පත් කිරීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වුනා.

දිනයේ දී වැඩි පිතිකරණ දස්කම් දැක්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ දිනුර කළුපහන ලකුණු 149ක් ලබාගෙන දස්කම් දක්වද්දී, සාන්ත පීතර විද්‍යාලයේ මුල්පෙළ පිතිකරු රුසඳ ගමගේ ලකුණු 112ක් ලබා ගත්තා.

ඊට අමතරව ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් විභාවිත් ඇහැලේපොල, නායක අක්‍රම් මුතාලිබ් සහ පවන් පතිරාජ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව අර්ධ ශතක ලබා ගන්නා විට, සාන්ත පීතර විද්‍යාලයේ ලහිරු දවටගේ සහ වනුජ කුමාර, මහින්ද විද්‍යාලයේ ශෙහාන් හසරංග, ප්‍රමේෂ් මදුභාෂණ, සහ චන්දුප සිල්වා යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු කවිෂ්ක ඩිල්ශාන් ලකුණු 86ක් ලබා ගත්තා. රාජකීය – සාන්ත අන්තෝනි සුහද එක්දින තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් අසිත වන්නිනායක සහ චමිඳු වික්‍රමසිංහ පිළිවෙළින් ලකුණු 82ක් සහ ලකුණු 62ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. පිළිතුරු ඉනිම දියත් කළ රාජකීය කණ්ඩායම වෙනුවෙන් නිතෙල් පන්පිටිය (ලකුණු 64) හට හැරෙන්නට අනෙක් එකඳු ක්‍රීඩකයෙක් හට හෝ ලකුණු 36 සීමාව අභිබවා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ නායක හසිත අමරසිංහ මහින්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක් දවාගෙන පන්දු යැවීමෙන් දස්කම් දක්වද්දී, මහනුවර සාන්ත අන්තොන් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ට්‍රෙවින් මැතිව් නොදැවී ලකුණු 25*ක් සහ කඩුලු 3ක් දවාගෙන සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සහය වුනා.

එසේම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර 110 වැනි වරට පැවැත්වෙන වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය හෙට (5) දෙවැනි දිනයටත් සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

ලකුණු සාරාංශ

සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 318 (94.4): විභාවිත් ඇහැලේපොල 87, අක්‍රම් මුතාලිබ් 70, පවන් පතිරාජ 56, තීරක රණතුංග 44, මුදිත ලක්ෂාන් 2/34, යෙනුල දෙව්තුෂ 2/50.

සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 329/9d (74): රුසඳ ගමගේ 112, ලහිරු දවටගේ 50, වනුජ කුමාර 50, දනාල් හේමානන්ද 35, මෙවන් දිසානායක 3/69.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 35/3 (19):

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ ක්‍රීඩාංගණය

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 240 (73): කවිෂ්ක ඩිල්ශාන් 86, මලිත් ලක්ෂාන් 39, චාරුක අයේශාන් 37, තිසරු වන්නිනායක 3/58

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණය

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 348/8d (76): දිනුර කළුපහන 149, ශෙහාන් හසරංග 68, ප්‍රමේෂ් මදුභාෂණ 52, චන්දුප සිල්වා 50, හසිත අමරසිංහ 4/112.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 56/3 (17):

සුහද එක්දින තරගය

රාජකීය විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත අන්තෝනි විද්‍යාලය – 254 (45.5): අසිත වන්නිනායක 92, චමිඳු වික්‍රමසිංහ 62, ට්‍රෙවින් මැතිව් 26*, දමිත කප්පෙගොඩ 3/26, ගිශාන් බාලසූරිය 3/27.

රාජකීය විද්‍යාලය – 180/9 (38): නිතෙල් පන්පිටිය 64, උවිඳු වීරසේකර 36, දසිස් මංචනායක 34, ට්‍රෙවින් මැතිව් 3/17.

පැරබෝලා ක්‍රමයට අනුව සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 54ක ජයක්.

පළමු දිනයට පැවැත්වුණු තරග සියල්ලම හෙට (5) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වනු ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<