නිපුන් සහ සංජුලගෙන් ශතක සබඳතාවක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

526

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ අවසන් දිනයේ කැපී පෙනෙන පිතිකරුවන් බවට පත්වූයේ කොළඹ කණ්ඩායමේ නිපුන් ධනංජය සහ ක්‍රිශාන් සංජුලයි.

ඔවුන්ගේ ශතක සබඳතා ඉනිම හේතුවෙන් මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමට කොළඹ ක්‍රීඩකයන් සමත් වුනා. තරගාවලියේ මෙතෙක් වාර්තා වූ ජයග්‍රහණ දෙකම වාර්තා කිරීමට කොළඹ ක්‍රීඩකයන් සමත් වූ අතර ඔවුන් මීට පෙර දඹුල්ල කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 132ක ජයග්‍රහණයක් වාර්තා කළා.

ඒ අනුව සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය තවදුරටත් කොළඹ ක්‍රීඩකයන් සතු වූ අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට මහනුවර ක්‍රීඩකයන් සමත් වුනා. ගාල්ල, යාපනය සහ දඹුල්ල අනෙක් ස්ථානවලට පිළිවෙළින් පත්ව තිබුණා.

දඹුල්ල සහ ගාල්ල

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අද (13) අවසන් වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයන් පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 418ක් රැස් කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 513ක් වාර්තා කරගත්තා. අනතුරුව තම දෙවන ඉනිමට පිවිසි දඹුලු ක්‍රීඩකයන් තම දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කරගත්තා. ජයග්‍රහණය සඳහා ගාලු ක්‍රීඩකයන්ට ලකුණු 206ක් අවශ්‍ය වූ අතර තරගය නතර කරන විට ඔවුන් රැස් කරගෙන සිටියේ කඩුලු 2ක් දැවී ලකුණු 80ක් පමණයි.

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වූයේ ගාලු ක්‍රීඩකයන්ගේ පළමු ඉනිමේ කඩුලු 7ක් දැවී ලකුණු 499ක් ව තිබිය දීයි. ඔවුන්ට අද රැස් කරගත හැකි වූයේ තවත් ලකුණු 14ක් පමණයි.

පළමු ඉනිමේ ලකුණු 95ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ දඹුලු ක්‍රීඩකයන් එවර කඩුලු 7ක් දැවී ලකුණු 300ක් වාර්තා කරගෙන තිබිය දී තම ඉනිම අත් හිටවූවා. එම ඉනිම වෙනුවෙන් පවන්ත වීරසිංහ පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් රැස් කරගත්තා.

ඔහු අශාන් ප්‍රියන්ජන් හා එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් එක් කළා. අශාන් ප්‍රියංජන් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් වාර්තා කරගත්තා.

ඊට අමතරව මිනෝද් භානුක පන්දු 63ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 49ක් රැස් කරගත්තා.

පසු පෙළින් පිටියට පිවිසි චමිඳු විජේසිංහ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 40ක් රැස් කරගත්තා.

පන්දු යැවීමේ දී නිමේෂ් විමුක්ති, අකිල ධනංජය සහ චානක රුවන්සිරි කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතරව සුමින්ද ලක්ෂාන්ට ද කඩුල්ලක් හිමි වුනා.

ලකුණු 206ක හඹා යන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු සංගීත් කුරේ. ඔහු තරගය නතර කරන විට පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටියා. ඔහුත් සමඟ නායක ධනංජය ලක්ෂාන් ද පිටියේ නොදැවී රැඳී සිටියේ ලකුණු 15ක් ලබා ගනිමින්.

පන්දු යැවීමේ දී දුශාන් හේමන්ත සහ පවන්ත වීරසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 418 (116.1): නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, මිනෝද් භානුක 163, ලහිරු සමරකෝන් 37, අකිල දනංජය 3/98, චානක රුවන්සිරි 4/62.

ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (146.4): සංගීත් කුරේ 32, පබසර වඩුගේ 34, හෂාන් දුමිඳු 167, ධනංජය ලක්ෂාන් 119, විශාද් රන්දික 51, සුමින්ද ලක්ෂාන් 46, ලහිරු සමරකෝන් 4/52, අශාන් ප්‍රියංජන් 3/84.

දඹුල්ල – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 300 (70): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, පවන්ත වීරසිංහ 76, අශාන් ප්‍රියංජන් 37, මිනෝද් භානුක 49, චමිඳු විජේසිංහ නොදැවී 40, ලහිරු සමරකෝන් නොදැවී 26, නිමේෂ් විමුක්ති 2/74, අකිල ධනංජය 2/66, චානක රුවන්සිරි 2/49.

ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 80 (20): සංගීත් කුරේ නොදැවී 47.

මහනුවර සහ කොළඹ

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කොළඹ ක්‍රීඩකයන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කළා.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 241ක් වාර්තා කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 218ක් පමණයි.

ඉන් අනතුරුව ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන් සියලුම දැවී ලකුණු 235ක් රැස් කරගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 259ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 260ක් වාර්තා කරගනිමින් එම ඉලක්කය සපුරා ගත්තා.

තරගයේ සිව්වැනි දිනය වූ අද කොළඹ කණ්ඩායම තම දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ පෙර දිනයේ කිසිවෙකු නොදැවී රැස් කරගත් ලකුණු 114ක් ද සමඟින්. ඒ අනුව ඔවුන්ට අද දවසේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් රැස් කරගත යුතුව තිබුණේ තවත් ලකුණු 145ක් පමණයි.

පෙර දිනයේ නොදැවී අර්ධ ශතක ලබා සිටි නිපුන් ධනංජය සහ ක්‍රිශාන් සංජුල අතුරින් පළමුවෙන්ම ඉනිම අතහැර ගියේ ක්‍රිශාන් සංජුල. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් රැස් කරගත්තා.

ඒ වන විට ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 122ක්. අනතුරුව පිටියට පිවිසියේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු සහ නිපුන් ධනංජය අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 76ක්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිපුන් ධනංජය පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 96ක් රැස් කරගත්තා.

නුවනිඳු ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව පන්දු 105ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක්.

පන්දු යැවීමේ දී අශේන් ඩැනියෙල් සහ සචිඳු කොළඹගේ කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 (71): ඕෂද ප්‍රනාන්දු 105, කසුන් විදුර 43, ප්‍රභාත් ජයසූරිය 3/47, ලක්ෂිත රසාංජන 3/59, කසුන් රාජිත 2/43, නිසල තාරක 2/61.

කොළඹ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (73.5): නිසල තාරක 24, ලහිරු මධුශංක 80, ලක්ෂිත මනසිංහ 53, ප්‍රභාත් ජයසූරිය 20, අසිත ප්‍රනාන්දු 3/38, අශේන් ඩැනියෙල් 3/51, සචිඳු කොළඹගේ 2/37.

මහනුවර – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 235 (71.2): කමිල් මිෂාර 25, කමිඳු මෙන්ඩිස් 114, සචිඳු කොළඹගේ 29, කසුන් රාජිත 5/48, ලක්ෂිත රසාංජන 3/79.

කොළඹ – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 260 (74): නිපුන් ධනංජය 96, ක්‍රිශාන් සංජුල 55, නුවනිඳු ප්‍රනාන්දු 60, සම්මු අශාන් 25, අශේන් ඩැනියෙල් 2/77, සචිඳු කොළඹගේ 2/52.

තරගාවලියේ සිව්වැනි සතියේ තරග මේ මස 17 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් යාපනය සහ ගාල්ල අතර තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද 8 වැනි තරගය ලෙසින් මහනුවර සහ දඹුල්ල අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<