බස්නාහිර පලාත් දකුණ කණ්ඩායමට පළමු ඉණිමක ජයක්

407

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් පළාත් මට්ටමින් පාසල් ක්‍රිකට් විශිෂ්ඨයින් සොයා යන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ (29) එස්. එස්. සී. පිටියේදී ආරම්භ වූ අතර, අද (30) එහි දෙවන දිනය ක්‍රියාත්මක විය. අද තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පළමු ඉණිමක ජයක් ලබා ගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: කවිඳුගෙන් සුපිරි ඇරඹුමක්

ඊයේ (29) දිනයට තරඟය නවතා දමන විට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 90ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබාගැනීමට සමත් විය.

තරගයේ දෙවන හා අවසන් දිනය ඉතා හොදින් ක්‍රියාත්මක වූ අතර බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම තවත් ලකුණු 3ක් ලබා ගනිමින් 9වන කඩුල්ල දැවීගිය පසු තම ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

බස්නාහිර පළාත් දකුණු පළමු ඉණිම302/09 dec (92.2): කවිදු උමයංග 122, කමිල් මින්හර 72, අශාන් දිල්හාර 29, ශෙරන් ලක්ෂිත 28, යසිරු කස්තුරිආරච්ච් 4/77

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල බස්නාහිර මධ්‍යම පළාත් කණ්ඩායමට සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ලහිරු මදුසංක ඉඩ ලබා නොදුන් අතර ඔහු ලකුණු 41කට කඩුලු 5ක් දවාලමින් බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම වෙනුවෙන්  විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. එම සුපිරි පන්දුකරණය හමුවේ යම් සටනක් ලබාදීමට චමත් යටවර සමත් විය. එම සටන්කාමී ඉණිමට 4 පහරවල් 5ක් ඇතුළත් වූ අතර ඔහු බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 41ක් ලබාගන්නා ලදි.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉණිම148/10 (48.1): චමත් යටවර 41, අමිත් දාබරේ 29*, පවන් රත්නායක 28, ලහිරු මදුසංක 5/41, විහඟ ගුණරත්න 2/11

පළමු ඉණිමේ ජයග්‍රහණය ද හා ලකුණු 154ක වාසියක් සමඟින් තම දෙවන ඉණිම ආරම්භ කල බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් කමිල් මින්හර පළමු ඉණිමේ ලබාගත් ලකුණු 72ක ඉණිමට ආරම්භ පිතිකරු ලෙස දෙවන ඉණිම තුලද, මනරම් 4 පහරවල් 5ක් සමඟින් ලකුණු 53*ක් නොදැවී ලබා ගන්නා ලදි.

ඔහු සමඟින් දෙවන කඩුල්ල සඳහා හොඳ සබඳතාවයක් ගොඩනංවමින් ක්‍රීඩා කල දුමිත් නිම්හාන 4 පහරවල් 3ක් සමඟ ලකුණු 33*ක් නොදැවී ලබා ගන්නා ලදි.

බස්නාහිර පළාත් දකුණු දෙවන ඉණිම 105/01 (32): කමිල් මින්හර 53*, දුමිත් නිම්හාන 33*

තරඟය ජය පරාජයෙන් තොරයි (බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමට පළමු ඉණිමක ජයග්‍රහණයක්)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට