ඉංග්‍රීසි භාෂාවෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ විශ්ලේෂණාත්මක සහ පැහැදිලි තොරතුරු ලබා ගැනීමට ඇති විස්තරාත්මකම වෙබ් අඩවිය ESPNcricinfo යැයි අපට නිර්ලෝභීව සඳහන් කළ හැකිය. එහි ශ්‍රී ලංකා නියෝජනය, එසේත් නැත්නම් ‘ශ්‍රී ලංකා හඬ’ වන්නේ ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු යි.

විටෙක ගඟක් සේ ගලා යන වදනිනුත්, විටෙක ව්‍යංගාර්ථයෙනුත්, විටෙක උද්වේගකර වදනිනුත්, විටෙක රළු වදනිනුත් ක්‍රිකට් ගැන ලොවට කියන ඇන්ඩෲ, මේ සියලුම ආකාරවලින් පාඨකයන් ඇද බැඳ තබාගෙන ඇති අතරම ඒ සෑම වදනකින්ම එළිවන්නේ ක්‍රිකට් ලොවේ යම් පැතිකඩකි.

ලෝක ක්‍රිකට් පාඨකයන් සියලු දෙනාම පාහේ හොඳින් හඳුනන ඇන්ඩෲව සාකච්ඡාවකට සම්බන්ධ කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවුනත්, ක්‍රීඩාවේ අපහසු පැතිකඩවල් පහසුවෙන් ස්පර්ශ කරන ThePapare.com අප විසින් ඔහුත් සමඟ සුහද පිලිසඳරක යෙදෙන්නට වේලාවක් වෙන්කර ගැනීමට සමත් විය. ඇන්ඩෲ ෆිඩෙල් ප්‍රනාන්දු, ThePapare.com ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූවේ මෙලෙසින්.

මුලින්ම අපි කතා කරමු ඔබේ “විශේෂ නම” ගැන. “ෆිඩෙල්” යන නම ඔබට ලැබෙන්නේ කොහොමද?

(සිනාසෙමින්) ඕක ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක්. මං හිතන්නේ මගේ දෙමාපියන් තමයි ඒකට උත්තර දිය යුත්තේ. ඔවුන් ඒ නමට කැමති වෙන්න ඇති. ඒත් මං හිතන්නෙ නෑ ඔවුන් කියුබානු විප්ලවයට සහය දක්වන්න ඇති කියලා.

ඔබ ක්‍රිකට් ගැන ඉතාම අගේට ලියන්නෙක්. ක්‍රිකට්වලට ආදරයක්, කැමැත්තක් ඇතිවුනේ කොතැනින් ද?

සෑම ලාංකික දරුවෙක් වගේම මමත් පොඩි කාලෙදී මගේ සීයා, ආච්චි, නෑදෑයෝ එක්ක වන් බම්ප් (One bump) ක්‍රිකට් ගැහුවා. ඉතින් පොඩි දරුවෙක් වුනාම ඔබට ඔබේ වාරය එනකම් බලන් ඉන්න වෙනවා. ගොඩක් වෙලා බලන් හිටියහම තමයි ඔබට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. ඒ කාලෙදිම තමයි 1996 ලෝක කුසලාන තරගාවලියත් පැවැත්වුණේ. ඉතින් පොඩි ළමයි හැටියට අපි හැමෝටම ඕන වුනේ මුරලි වගේ බෝල් කරන්නයි අරවින්ද, සනත් වගේ බැට් කරන්නයි. ඒ වගේම අපි පාරවල්වල ක්‍රිකට් ගැහුවා. ඒකට අම්මට තරහත් ගියා. හැම ලාංකිකයෙකුටම වගේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන හීනෙ මටත් තිබුණා. ඒත් වයසට යද්දී හැමෝටම වගේ මට තේරුණා මං එච්චර හොඳ නැති බව. එතනදි තමයි මං ලිවීමට පෙළඹුණේ. ඒක මට ඊළඟට පුළුවන් හොඳම වැඩේ නිසා.

කිව්වත් වගේ ඔබ මොන ක්‍රීඩකයා වගේ වෙන්නද උත්සාහ කළේ?

මුරලි වගේ බෝල් කරන්න තමයි මං උත්සාහ කළේ. ඒත් ඒකට අවශ්‍ය දේවල් මං ළඟ තිබුණේ නෑ. (සිනාසෙමින්) බැට් කරද්දි නම් අරවින්ද වගේ වෙන්න ඕන වුනා. ඒත් ඒක හරිගියේම නෑ.

හොඳයි, අපි ESPN ගැන කතා කරමු. කොහොමද ඔබ ඔවුන් හා එක්වුණේ?

ඒක ලොකු වාසනාවක්. මගෙ පවුලම ජීවත් වුණේ නවසීලන්තයේ. මම ඕක්ලන්ඩ් වල අධ්‍යාපන කටයුතු කරමින් හිටියේ. ඔවුන් (ESPN) නිදහස් මාධ්‍යවේදීන් සොයමින් හිටිය නිසා මම ඊට අයදුම් කළා. ඒත් ඒක එහෙමම යටගියා. නමුත් මාස දෙකකින් විතර මට ඊ මේල් පණිවිඩයක් ලැබුණා ඔවුන් වෙනුවෙන් යමක් ලියන්න කියලා. මම ලියපු දේට ඔවුන් කැමති වුනා. ඒක මාධ්‍යකරණයට අහම්බෙන් එක්වීමක් වගේ. පස්සේ මම ටිකක් එය ප්‍රගුණ කරලා සුදුසුකම් ලබා ගත්තා. නමුත් ESPN එකට ලියන්න පටන්ගනිද්දී මං මාධ්‍යකරුවෙක් වෙන එක ගැන හිතලවත් තිබුණෙ නෑ. ඒත් පස්සෙ මං තේරුම් ගත්තා මේක තමයි මං ආස කරන දේ කියලා.

ඔබව ලිවීමේ විෂයට වඩාත්ම පෙලඹුවේ මොකක් විසින් ද?

හොඳ ක්‍රිකට් රචකයන් බොහොමයක් ලෝකය තුළ ඉන්නවා. සමහරෙකුට කියන්න පුළුවන් මේක තමයි හොඳම ක්‍රිකට් රචකයන්ගේ යුගය කියලත්. ගොඩක් දෙනා බ්ලොග්ස් (Blogs) වලට ලියනවා. මමත් බ්ලොග් එකකින් තමයි පටන් ගත්තේ. මොකද, ලෝකෙම පුද්ගලයින් කරන දේක කොටස්කරුවෙක් වෙන්න මට උවමනා වුන නිසා. Cricinfo වෙබ් අඩවියෙත් හොඳ රචකයො ගොඩක් ඉන්නවා. මම වුනත් ඔවුන්ව අගය කරනවා. උදාහරණයක් හැටියට උස්මාන් සමියුද්දීන් වගේ. ඔහු දැන් ප්‍රධානියෙක් නිසා ඒ අගය කිරීම වැඩි වෙනවා. රාහුල් භාට්ටාචාර්ය වගේ අයත් උසස් රචකයින්. ඔවුන්ගේ දේවල් කියවද්දි හිතෙනවා මමත් ඒ වගේ ලියන්න ඕන කියලා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ ලියන්න තියෙන හොඳම මාතෘකාවක්. අපි ක්‍රීඩකයන්ට ගොඩාක් කැමති වුනත් අපි සමහර වෙලාවට ඒ කැමති අයව ඕනවට වඩා උලුප්පන්න හදන්නෙ නැති නිසා වෙලාවකට ඒක විනෝදයි. එය ලියන්නෙකුට බොහෝ අන්තයන් විවර කරනවා. ඔබට එහි කොටස්කරුවෙකු වෙන්න පුළුවන් විහිළුවෙන් වුනත්. ශ්‍රී ලංකාව කියන්නේ ඒ ගැන ලියන්න නියම ක්‍රිකට් රාජ්‍යයක්. ඒක තමයි පෙළඹවීම.

විවාදාත්මක කරුණු රචනයෙදීත් ඔබ ඉදිරියෙන් ඉන්න බව අප දැක තිබෙනවා. ආපසු හැරී බැලීමේ දී ඔබ වඩා සිත්ගත් රචනය මොකක්ද?

මට කිහිපයක් මතක් වෙනවා. අපේ වෙබ් අඩවියට අමතරව cricket monthly කියන වෙබ් සඟරාවත් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් ලියපු දේවල් නම් ක්‍රමයෙන් ගොඩනගන ලද ලිපි. 2014 දී විතර යාපනේ කරපු සංචාරයක දී ලියපු දෙයක් මට මතක් වෙනවා. 90 දශකයේ දී යාපනේ නගරය තහනම් වෙලා තිබුණු යුගයේ දී ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අපට මුණගැහෙන්න ලැබුණා. පැවති තත්වය යටතේ ඔවුන් ක්‍රීඩා කළේ කොහොමද, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තිබුණු අභියෝග මොනවා ද, යුද්ධය නිසා ඔවුන්ගේ සිහිනවලට සිදු වුන බලපෑම මොන වගේ ද කියන දේවල් ගැන ලියපු වාර්තාව මම ගොඩාක්ම විඳිමින් ලියපු එකක්. ගවේෂණයක් සමඟ ඒ වගේ දෙයක් ගැන ලියන්න ලැබුණු එකම ලොකු ගෞරවයක්.

තවත් එකක් තමයි 1996 ලෝක කුසලානය ගැන පසු සටහනක් ලියද්දි මං යම් ගවේෂණයක් සිදු කළා. ඒක කරගෙන යද්දී මට පෙර නොඇසූ පුදුමාකාර දේවල් අහන්න ලැබුණා. 96 දී තිබුණු සම්පත් එක්ක ඔවුන් ලබාගත් ජයග්‍රහණය ගැන කොහොම කියන්න ද කියලා මට හිතාගන්න බැහැ. මං පොඩි කාලේ නරඹපු ක්‍රීඩකයන් එක්ක හමුවෙලා කතාබහ කරන්න ලැබීමත් අත්දැකීමක් වුනා. මං හිතන්නේ ලංකාවේ ඕනෑම ක්‍රිකට් මාධ්‍යවේදියෙකුට 96 කතා පුවත කියන්නේ අත්දැකීම් අතර ඉහළින්ම තියන්න පුළුවන් එකක්.

ඒ කාලේ වගේ නොවෙයි, අද මාධ්‍යවේදීන්ට ලොව වටා ගොස් අලුත් අත්දැකීම් ලබන්න, ක්‍රීඩාංගණ ආසන්නයටම ගොස් කිට්ටුවෙන් තරග නරඹන්න අවස්ථාව ලැබෙනවා. මාධ්‍යයට සපයන පහසුකම් පදනම් කරගත්තොත්, ඔබ ගියපු ක්‍රීඩාංගණ අතරින් ඔබ වඩාත් කැමති මොන ක්‍රීඩාංගණයට ද?

ක්‍රිකට් තරගය හොඳ එකක් නම් මාධ්‍යයට ලැබෙන පහසුකම් මට එතරම් වැදගත් නැහැ. ඒත් මං විශ්වාස කරන දෙයක් තමයි ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ක්‍රිකට් නරඹන්න නම් ලෝකේ තියෙන හොඳම ක්‍රිකට් ක්‍රීඩාංගණය කියන එක. විදේශයන් ගැන හිතුවොත්, කේප් ටවුන්වල නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණය ඉතාම මනරම් එකක්. නවසීලන්තයේ ක්‍රීඩාංගණත් ඉතාම හොඳ ඒවා. මාධ්‍ය පහසුකම් අතින් ගොඩක්ම හොඳ නැතත් බංගලාදේශය, ඉන්දියාව වගේ රටවල් වලටත් මං ආසාවෙන් ගිහින් තියෙනවා. බංගලාදේශය ඒ අතින් වඩා හොඳයි. මොනවා වුනත් එහෙ මිනිස්සුන්ට තියෙන දැඩි ක්‍රිකට් ඇල්ම නිසා රචකයන් හැටියට ඒක අපට දැනෙනවා, බලපානවා. වැඩ ඉවර වෙලා ගිහින් රස බුරියානි එකක් හරි ව්‍යාංජන හරි කන්නත් පුළුවන්.

Andrew Fernando

ඔබේ වෘත්තියට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක් ළඟින් ඉන්න කෙනෙක් තමයි ඔබ. ඔවුන් හරියට ක්‍රීඩා කළේ නෑවගේ හේතුවකට ඔබට කණ්ඩායම ගැන කවදා හෝ තරහක් ඇතිවෙලා තියෙනවද?

පහුගිය අවුරුද්දේ ටෙස්ට් කණ්ඩායම ගැන එහෙම හිතුණු අවස්ථා තිබුණා. ඒත් හිතේ පැලපදියම් වෙලා තියෙන එකක් තමයි 2014 සාජාවල දී පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය තුළ ශ්‍රී ලංකාව 1-0ක් හැටියට ඉදිරියෙන් ඉඳලත් අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි සහ තෙවැනි දිනවල දී ඔවුන් ඕනැවට වඩා ආරක්‍ෂිත වෙන්න හැදුවා. පස්වෙනි දවසෙදි තවත් ආරක්‍ෂිත වෙන්න ගිහින් එදා සවස ලංකාව පැරදුණා. එදා මට හිතුණා අපි ලාංකිකයන් හැටියට ක්‍රීඩා කරන ක්‍රමය මේක නෙමෙයි, ලෝකේ අපිව දන්නේ මේ විදියට නෙමෙයි කියලා. ඒක තමයි වැඩියෙන්ම තරහ ගිය දවස. තව කිහිපයක් තියෙනවා.

ක්‍රිකට් රචනයක් හොඳින් අවසන් කිරීම සඳහා ඔබට ක්‍රීඩකයන් සමඟ කිට්ටුවෙන් වැඩ කරන්න සිදුවෙනවා. මාධ්‍යය සමඟ වඩාත් හොඳින් කටයුතු කරන ක්‍රීඩකයා කවුරුන් කියල ද ඔබ හිතන්නේ?

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වගේ ක්‍රීඩකයන් දෙන්නෙක් ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම වාසනාවන්ත වෙලා තියෙනවා. ඔවුන් ඕනෑම භාෂාවකින් හොඳින් සන්නිවේදනය කළ හැකි අය. සමහර වෙලාවට සංගක්කාර සහභාගී වෙන මාධ්‍ය හමුවක දී වචන 400කින් අවසන් කරන්න ඉන්න ලිපියක් වචන 2000කට විතර දික්වෙනවා. ඒ ඔහු කියන දේවල් වල වැදගත්කම නිසා. මුහුණට මුහුණ කතා කිරීමේ දී මා ගොඩක් කැමති වුන කෙනෙක් තමයි රංගන හේරත්. ඔහු හරිම සරලයි වගේම තාක්ෂණික දැනුමෙන් ද යුක්තයි. ක්‍රිකට් ගැන ලොකු දැනුමක් නැති මං වගේ කෙනෙකුව ක්‍රමානුකූලව තරගයක් අවබෝධ වෙන තැනට ගේන්න ඔහුට පුළුවන්. ක්‍රිකට්වල මං හිතලවත් නැති පැති ගැන ඔහු මට අඳුන්වලා දුන්නා. මං හිතන්නේ ක්‍රිකට් ගැන දැනුම ලබාගන්න කෙනෙකුට ඔහු මනා පිටුවහලක්.

එළඹෙන ICC ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකාව කෙසේ මුහුණ දෙයි ද?

මං හිතන්නේ ශ්‍රී ලංකාවට ජාතියක් වශයෙන් එසවීමක් අවශ්‍යයි. ඔවුන්ට යමක් කළ හැකි බව රඳාපවතින ප්‍රබල සාධකයක් වෙන්නේ මාලිංග යි. ඔහු මේ වසරේ පළවෙනි කාලෙදි විස්සයි-විස්ස කණ්ඩායමට නැවත ඇතුළත් වීමෙන් පස්සේ අපි දැක්කා ඉන් කණ්ඩායමට වුන බලපෑම. අපහසු පන්දු ඕවර ඔහු විසින් භාර ගෙන නුවන් කුලසේකර සහ අනෙක් පන්දු යවන්නන්ව තවත් දෙයක් වෙනුවෙන් නිදහස් කළා. අපි ඒ ගැන කලිනුත් අහලා තියෙනවා. ඔහු හොඳ තරගාවලියක් ගතකරොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයේ ස්ථානය ලබාගන්න පුළුවන්.

හොඳයි, අප ඔබව හඳුනන්නේ කර්තෘවරයෙකු හැටියට පමණයි. ඔබ එපමණක්මද?

ඉවුම් පිහුම් සහ ආහාර ගැන මං ටිකක් උනන්දුයි. අවාසනාවකට තායිලන්තය සහ මැලේසියාව තවමත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් නොවෙයි. ඒ රටවල් දෙකට ගිහින් ඔවුන්ගේ ආහාර රස විඳින්න මම කැමතියි. මේ රැකියාවේ දී ගොඩක් සංචාරය කරන්න ලැබෙනවා. ඒකත් මං ආස දෙයක්. ඉතිහාසය වගේ දේවල් ගැන පොත්ගුල්ලෙක් වගේ හොයන එක. ඒ දේවල් දෙක තමයි මම ක්‍රිකට් ගැන ලියනවාට වඩා කරන්නේ.

අවසන් වශයෙන්, නැගී එන රචකයන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

මුලින් ඔබ මඳක් කලබල වේවි. ඔබට ඉවතලීම් විඳින්නට සිදුවේවි. ඔබ ලියන ආකාරය එතරම් හොඳ නැති වේවි. මට වුනත් එහෙමයි. මේ රැකියාවට එන්නට පෙර මමත් ඔවුන්ගෙන් යැද්දා මාව ගන්න කියලා. ඒකත් බැනුම් අහමින්. ඒ නිසා ඔබ ඒ විවේචන විඳ දරා ගන්න උගත යුතුයි වර්ධනයට ලැබෙන අවස්ථාවක් ලෙස. ඔබේ වැරදි හදාගෙන ඔබට ලියන්න පුළුවන් මට්ටමට එන විට ඔබ ඉන් නොසෑහී තවත් හොඳ රචකයන් දිහා බලමින් ඔබව ඒ තැනට තල්ලු කළ යුතුයි. ඊළඟ තලයට ළඟා වීම කියන දේ ලැබෙන්නේ ගොඩක් ලියන එකෙන් නෙමෙයි, ඔබ ලියන දේ නැවත නැවත බලලා එහි වැරදි අඩුපාඩු බලාගෙන පිතිකරුවෙක් හෝ පන්දු යවන්නෙක් තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය නංවනවා වගේ, ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරනවා වගේ. ඉවතලීම දරාගන්න පුළුවන් වීම තමයි මට නම් පළමු දේ වුනේ. ඕනෑම අලුත් කෙනෙකු ඒ වගේ විය යුතුයි.

රචනයේ දී පමණක් නොව අදහස් ප්‍රකාශ කිරීමේ දී ද එක ලෙස දස්කම් පාන මේ ශ්‍රී ලාංකික තරුණයාට තවත් යා හැකි දුර පෙනේ. ඔහු ඒ දුර ගෙවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මාධ්‍ය තුළ රකිමින් ශ්‍රී ලංකාවේ අභිමානය ද රැක ගනු ඇතැයි ThePapare.com අපගේ තිර විශ්වාසයයි.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න