ත්‍රිත්ව ප්‍රහාරයෙන් රාජකීයයෝ අන්දමන්ද වෙයි!

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

517

කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 21-20ක් ලෙස පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කරන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (08) සමත් වුනා.

Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ පැවැත්වෙන එකම තරගය වන මේ තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. රටේ පවතින වත්මන් තත්වය නිසා A කාණ්ඩයේ අනෙක් තරග සියල්ල කල් දැමුණා.

මේ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර විනිසුරු විසින් රතු කාඩ්පතක් ආපසු හරවන සිදුවීමක් ද මේ තරගයේ දී දක්නට ලැබුණා. ත්‍රිත්ව ක්‍රීඩකයන් තරගයේ අවසන් මිනිත්තුවේ දී රාජකීයයන්ගෙන් ජයග්‍රහණය උදුරා ගැනීම කැපී පෙනුණා.

තරගයේ පළමුවෙන්ම ලකුණු රැස් කිරීමට සමත් වුනේ ත්‍රිත්ව විද්‍යාලයයි. ලැබුණු පළමු දඬුවම් පහර මඟහැරුනත් තෙවිඳු සපරමාදු හට කහ කාඩ්පතක් හිමි වීම නිසා ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගැනීමට කොවිද වික්‍රමසිංහ සමත් වුනා. (ත්‍රිත්ව 3 – 0 රාජකීය)

රාජකීය කණ්ඩායමට ක්‍රීඩකයෙක් අඩුවීමේ වාසිය ප්‍රයෝජනයට ගන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර 21 වැනි මිනිත්තුවේ දී අනුහස් කොඩිතුවක්කු රාජකීය ආරක්ෂක වළල්ල ඉක්මවා ගියා. වික්‍රමසිංහ අමතර ලකුණු ද එකතු කරන්නට සමත් වුනා. (ත්‍රිත්ව 10 – 0 රාජකීය)

නබිල් යහියා රාජකීයයන් වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ දඬුවම් පහරක් සාර්ථක කරගනිමිනුයි. ඒ අතර ත්‍රිත්ව ක්‍රීඩක ශාබිත් රෂිඩ් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වුනේ රාජකීයයන්ට අමතර වාසියක් ගෙනෙමිනුයි.

කෙසේ වෙතත් ඔවුන්ට එම වාසියෙන් ප්‍රයෝජන ගන්නට නොහැකි වූ අතර ත්‍රිත්වයින් වෙනුවෙන් වික්‍රමසිංහ තවත් දඬුවම් පහරක් ගෝල කණු අතරින් පා කර යවන්නට සමත් වුනා. (ත්‍රිත්ව 13-3 රාජකීය)

පළමු අර්ධය අවසන් වීමට මොහොතක් තිබිය දී අනුහස් කොඩිතුවක්කු හට කහ කාඩ්පතක් ලබා දෙන්නට විනිසුරු තීරණය කළා. ඒ රාජකීය ක්‍රීඩකයෙකුට ගුවනේ දී බාධා කළ බව පවසමිනුයි. පසුව විනිසුරු ඔහුට රතු කාඩ්පතක් ද ලබා දුන්නේ සියලු දෙනාම මවිත කරමිනුයි.

කොඩිතුවක්කු පිටියෙන් ඉවතට ගිය අතරතුර නබිල් රාජකීය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කරගත්තා.

පළමු අර්ධය අවසානයේ : ත්‍රිත්ව විද්‍යාලය 13 (1T, 2P, 1C) – 6 (2P) රාජකීය විද්‍යාලය

අර්ධ දෙක අතර විරාමයේ දී රතු කාඩ්පත පිළිබඳව ගැටලුව විසඳුණු අතර විනිසුරු කොඩිතුවක්කුගේ රතු කාඩ්පත කහ කාඩ්පතක් බවට පරිවර්තනය කර තිබුණා. ඒ විනිසුරු හට කොඩිතුවක්කු හා ඊට පෙර කහ කාඩ්පතක් ලබා ගත් රෂිඩ් අතර හුවමාරුවක් වී තිබුණු නිසයි.

දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 10 තුළ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට රාජකීය විද්‍යාලය සමත් වුනා. හංසක හිග්ගොඩ පන්දුව ලබාගෙන රහිල් විජේසේකර හට ලබා දුන් අතර ඔහු උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියා. යහියා අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනා. (ත්‍රිත්ව 13-13 රාජකීය)

වික්‍රමසිංහ ත්‍රිත්වයින් වෙනුවෙන් දඬුවම් පහරක් රැස් කරද්දී ත්‍රිත්ව කණ්ඩායමේ අතපසුවීම් කිහිපයක් උපයෝගී කරගනිමින් 62 වැනි මිනිත්තුවේ දී හංසක දෙවැනි රාජකීය උත්සාහක දිනුම රැස් කළා. යහියා එහි අමතක ලකුණු ද එකතු කළේ තරගය උද්වේගකර අවසානයකට ගෙන යමිනුයි. (ත්‍රිත්ව 16-20 රාජකීය)

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් උපයෝගී කරගනිමින් ඉවසීමෙන් ක්‍රීඩා කළ ත්‍රිත්ව ක්‍රීඩකයන් යසිරු ආරියවංශගේ සුරතින් ජයග්‍රාහි උත්සාහක දිනුම වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය – ත්‍රිත්ව විද්‍යාලය 21 (2T, 3P, 1C) – 20 (2T, 2P, 2C) රාජකීය විද්‍යාලය

  • NDB තරගයේ වීරයා – චමේන්ද්‍ර ධනපාල (ත්‍රිත්ව)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්;

  • ත්‍රිත්ව විද්‍යාලය – අනුහස් කොඩිතුවක්කු 1T, යසිරු ආරියවංශ 1T, කොවිද වික්‍රමසිංහ 3P, 1C.
  • රාජකීය විද්‍යාලය – රහිල් විජේසේකර 1T, හංසක හිග්ගොඩ 1T, නබිල් යහියා 2P, 2C.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<