අවසන් මොහොතේ අත්වැරැද්දෙන් සාන්ත ජෝසප් බලය බිඳ වැටේ

125

රවීන් තිසේරාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් තියුණු තරගයකට පසු සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 24-22ක් ලෙස පරාජය කරන්නට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා. ඒ සමඟම ජයතිලක ආර්යා පලිහ වසර තුනකට පසුව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් උදුරා ගන්නටත් තෝමසුවන් සමත් වීම විශේෂත්වයක්. තරගය අද (09) පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේ දීයි.

ත්‍රිත්ව ප්‍රහාරය හමුවේ සාන්ත තෝමසුවන්ට දැඩි අලාභ හානි

Canon ආර්. එස් ඩි සේරම් පලිහ අඛණ්ඩව සිව්වැනි වතාවටත් ජය……

කණ්ඩායම් දෙකම සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සමඟින් මේ තරගයට එක්ව තිබුණු අතර චේකා ජයවර්ධන මෙන්ම ග්‍රේශෝම් තංගරාජා ද සිය ස්ථානයන් වෙනස කර ක්‍රීඩා කරද්දී සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ජාන් ද සොයිසා ෆුල් බැක් ස්ථානයට යද්දී අරවින්ද රේකව Wing ස්ථානයට මාරු වී තිබුණා.

තරගය ආරම්භයත් සමඟ මිනිත්තු කිහිපයකින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. කිහිප වතාවක් උත්සහ කිරීමෙන් අනතුරුව චේක ජයවර්ධන ධවල රේඛාව ඉක්මවා ගියේ Rolling maul අවස්ථාවක සිටයි. රශෙන් ගුණවර්ධන හට අමතර ලකුණු එකතු කරන්නට හැකි වුනේ නැහැ. (සාන්ත ජෝසප් 05-00 සාන්ත තෝමස්)

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ඉක්මන් පිළිතුරක් ලබා දෙන්නට රවීන් තිසේරා සමත් වුනා. තරගයේ ලකුණු සම කරමින් ඔහු සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමඟ ධවල රේඛාව ඉක්මවා ගිය නමුත් යාන් ද සොයිසා අමතර ලකුණු එකතු කරන්නට සමත් වුනේ නැහැ. (සාන්ත ජෝසප් 05-05 සාන්ත තෝමස්)

කණ්ඩායම් දෙකේම ඉදිරිපෙළ ක්‍රීඩකයින් ප්‍රබල සටනක නිරත වුණු අතර සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් දිනා දුන් පන්දුව සාන්ත ජෝසප් සෙන්ටර් ක්‍රීඩක රිචිර ඒකනායක ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියේ තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙනෙමින්. එහි ප්‍රවර්තනය නම් සාර්ථක වුනේ නැහැ. (සාන්ත ජෝසප් 10-05 සාන්ත තෝමස්)

සාන්ත තෝමස් කණ්ඩායමට නැවත වතාවක් තරගයට ගෙන එමින් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක සකිත් පෙරේරා ක්ෂණිකව ක්‍රියාත්මක වුනේ සාන්ත ජෝසප් ආරක්ෂක වළල්ල විනිවිද යමින්. සොයිසා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (සාන්ත ජෝසප් 10-12 සාන්ත තෝමස්)

ඊට මිනිත්තු කිහිපයකට පසුව ටෙරාන් කරුණානායක කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කරන්නට විනිසුරු පියවර ගත්තා. එම වාසිය ලබා ගනිමින් ජෝසප් කණ්ඩායම ලකුණු රැස් කිරීමට ප්‍රබල උත්සහයක් ගත්තත් නායක ගුණවර්ධන පන්දුව අතහැරීමත් සමඟ ඔවුන්ගේ බලාපොරොත්තු ව්‍යර්ථ වුනා.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 10 (2T) – 12 (2T, 1C) සාන්ත තෝමස් විද්‍යාලය

සිය වරද නිවැරදි කර ගනිමින් ස්ක්‍රම් අවස්ථාවක සිට ගුණවර්ධන උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර මොහොමඩ් රිෆාන් අමතර ලකුණු එකතු කළා.  (සාන්ත ජෝසප් 17-12 සාන්ත තෝමස්)

රිචිර ඒකනායක හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කළේ කණ්ඩායම් දෙකම සිදු කළ අත්වැරදීම් රැසකට පසුවයි. එහි වාසිය මනාව උපයෝගී කර ගනිමින් සාන්ත තෝමස් කණ්ඩායම නැවතත් තරගයට පිවිසුණේ අලංකාර උත්සාහක දිනුමක් සමඟින්.

ඔවින් හෙට්ටිආරච්චි පිටියේ මැද සිට පිටියේ කොනට අලංකාර පා පහරකින් පන්දුව ගුවන් ගත කළ අතර පන්දුව හඹා ගිය රෙහාන් ඔලුගල පන්දුව රැකගෙන උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ සිය කණ්ඩායමේ තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කරමින්. දිනය පුරා පන්දුවට පා පහර දීමේ දී එතරම් සාර්ථක නොවුණු සොයිසා මේ ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තේ නැහැ. (සාන්ත ජෝසප් 17-17 සාන්ත තෝමස්)

ඉසිපතනය විද්‍යා පරීක්ෂණය සමත් වෙයි!

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක…..

ගෝල කණු ඉදිරියේ දී ම ලැබුණු දඬුවම් පහරක් උත්සාහක දිනුමක් බවට නොහරවා ලකුණු තුනක් සොරා ගන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් තීරණය කළා. කෙසේ වෙතත් එම පහසු දඬුවම් පහර සොයිසා සාර්ථක කර ගත්තේ නැහැ. සාන්ත තෝමස් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් ද බිය ගන්වමින් ගුණවර්ධනගේ අගනා ධාවනයකට පසුව මොහොමඩ් රිෆාන් ධවල රේඛාව ඉක්මවා ගියා. එහි ප්‍රවර්තනය ගුණවර්ධන නැවත වතාවක් අසාර්ථක කර ගත්තා.  (සාන්ත ජෝසප් 22-17 සාන්ත තෝමස්)

සාන්ත තෝමස් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක යෙදුණු අතර සෑහෙන වෙලාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව රවීන් තිසේරා ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කළේ තරගයට සුපිරි අවසානයක් ලබා දෙමින්. සකිත් අමතර ලකුණු එකතු කිරීමේ වගකීම භාරගත් අතර ඔහු පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් පා කළා. (සාන්ත ජෝසප් 22-24 සාන්ත තෝමස්)

අවසන් මිනිත්තු තුනේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක යෙදුණු නමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුනේ නැහැ. ඔවුන් ධවල රේඛාව පසු කර ගියත් පන්දුව බිම ස්පර්ශ නොවීම නිසා විනිසුරුගේ නලා නාදයෙන් තරගයේ ජය සාන්ත තෝමස් විද්‍යාලය දිනා ගත්තා.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 22 (4T, 1C) – 24 (4T, 2C) සාන්ත තෝමස් විද්‍යාලය

Dialog Viu Player තරගයේ වීරයා: චේක ජයවර්ධන (සාන්ත ජෝසප්)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

සාන්ත ජෝසප් විද්‍යාලය –  චේක ජයවර්ධන 1T, රුචිර ඒකනායක 1T ,රශේන් ජයවර්ධන 1T, මොහොමඩ් රිෆාන් 1T 1C.

සාන්ත තෝමස් විද්‍යාලය – රෙවංක තිසේරා 2T, සකිත් පෙරේරා 1T, 1C, රෙහාන් ඕලුගල 1T, යාන් ද සොයිසා 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <