සහිරා, සාන්ත පීතර සහ සාන්ත ජෝසප් ඉදිරි වටයට

Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය 2023

800

පාසල් රග්බි පිටියේ උණුසුම වැඩි කරමින් Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ පළමු සතියේ තරග පසුගිය දා පැවැත්වුණා.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සහිරා, සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම් සමත් වුනා.

සහිරා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය

අවසන් මොහොත දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසු ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ලකුණු 13-15ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සහිරා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයට හොඳ ආරම්භයක් ලබා දුන් DS ක්‍රීඩක ශෙහද උමගිලියගේ දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් පළමු ලකුණු සිය කණ්ඩායමට දිනා දුන්නා.

ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ සහිරා ක්‍රීඩක ආදිල් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාද් විසින් සාර්ථකව එල්ල කළා.

පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ DS ක්‍රීඩක පරම්මාන්න ලබා ගත් උත්සාහක දිනුම නිසා පළමු අර්ධය අවසන් වුනේ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධය ආරම්භයේ දී ම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ DS කණ්ඩායම වෙනුවෙන් පෙරේරා තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි.

නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ඉහළ දස්කම් පෙන්නුම් කළ සාද් සහිරා විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් සහ අවසන් මොහොතේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව අවසන් කළේ සිය කණ්ඩායමට පෙරළිකාරී ජයග්‍රහණයක් ලබා දෙමිනුයි.

ThePapare.com තරගයේ වීරයා – සාද් (සහිරා විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 15 (2T, 1C, 1P) – 13 (2T, 1P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සහිරා – සාද් (1T, 1C, 1P), ආදිල් (1T)
  •  ඩී. එස්. – පරම්මාන්න 1T, පෙරේරා 1T, උමගිලියගේ 1P.

 

සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

පාසල් රග්බි ලීගයේ ශූරයින් වූ පසුව සහභාගී වූ පළමු තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 25-13ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේ දී ම දෙපිලටම හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු ලබා ගැනීමට ආරම්භ කිරීමට ත්‍රිත්ව ක්‍රීඩක ශාන් අල්තාෆ්ට සහ සාන්ත පීතර ක්‍රීඩක යුමෙත් ශිහාර සමත් වුනා.

පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් සිය ආධිපත්‍ය නැවතත් පෙන්නුම් කිරීමට සාන්ත පීතර ක්‍රීඩක පසිඳු බණ්ඩාර සමත් වූවත් තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය සම කිරීමට අල්තාෆ්ට හැකි වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කුශාන් තරිඳු සමත් වූ අතර එහි ප්‍රවර්තන අවස්ථාව යුමෙත් ශිහාර විසින් සාර්ථකව අවසන් කළා.

සාන්ත පීතර ක්‍රීඩකයින්ගේ ප්‍රබලත්වය පෙන්නුම් කළ වින්ද්‍ය ද මෙල් සහ දිනෙත් රණසිංහ උත්සාහක දිනුම් දෙකක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේ තරගයේ සම්පූර්ණ ගෞරවය සිය කණ්ඩායමට දිනා දෙමිනුයි.

තරගය අවසන් වීමට කෙටි වෙලාවක් තිබිය දී ත්‍රිත්ව ක්‍රීඩක තෙනුක් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් වාර්තා කළත්, තරගයේ ප්‍රතිඵලය වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

ThePapare.com තරගයේ වීරයා – කුශාන් තරිඳු (සාන්ත පීතර විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 25 (4T,1C,1P) – 13 (1T,1C,2P) ත්‍රිත්ව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත පීතර – පසිඳු බණ්ඩාර 1T, කුශාන් තරිඳු 1T, වින්ද්‍ය ද මෙල් 1T, දිනෙත් රණසිංහ 1T, යුමෙත් ශිහාර 1C &1P.
  •  ත්‍රිත්ව – තෙනුක් ප්‍රනාන්දු 1T, යුමෙත් ශිහාර 1C & 2P.

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

පාසල් ලීග් රග්බි තරගාවලියේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් හමුවේ ලැබූ පරාජයෙන් පසුව මෙම තරගයට පිවිසි සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 57-00ක් ලෙස තරගය ජයග්‍රහණය කළා.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, එහි ප්‍රවර්තන අවස්ථාව ඉතා සාර්ථකව එල්ල කිරීමට Ivano White සමත් වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 8ක් ගත වෙද්දී නැවතත් ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනේ ප්‍රතිවාදීන්ට දැඩි පීඩනයක් ආරම්භයේ ම එල්ල කරමිනුයි.

තරගයේ තෙවැනි උත්සාහක දිනුම ජෙහාන් අතුකෝරළ විසින් සහ සිව්වැනි උත්සාහක දිනුම Ivano White විසින් වාර්තා කිරීමට සමත් වූ අතර Ivano White විසින් ප්‍රවර්තන අවස්ථා දෙකම සාර්ථකව අවසන් කළා.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ කැපී පෙනෙන තරග රටාවක් පෙන්නුම් කළ සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් පස්වැනි උත්සාහක දිනුම නායක නවීන් මාරසිංහ විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද Ivano White සාර්ථකව අවසන් කළා.

දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වේලාවක් ගත වෙද්දී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් හයවැනි උත්සාහක දිනුම විහඟ රන්දීප විසින් වාර්තා කළ අතර හත්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ අශේන් කුමාරයි.

කෙටි වේලාවක් තුළ නැවත ක්‍රියාත්මක වූ අශේන් සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද Ivano White සාර්ථකව එල්ල කළා.

සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් අවසන් උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායමට දැවැන්ත ජයක් ලබා දීමට නායක නවීන් මාරසිංහට හැකි වුනා.

ThePapare.com තරගයේ වීරයා: බීශ්ම ජයසේකර (සාන්ත ජෝසප් විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 57 (9T 6C) – 00 සාන්ත අන්තෝනි විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

· සාන්ත ජෝසප් – Ivano White 1T & 6C, නවීන් මාරසිංහ 2T, අශේන් කුමාර 2T, ජෙහාන් අතුකෝරල 1T, චමෝද් මලින්ද 1T, විහඟ රන්දීප 1T, චමෝද් කාවින්ද්‍ය 1T.

2023 පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීම තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<