ඇතුලත ගිනි පිටතට දුන් අය ගැන ICCය තීරණයක් ගනී

78

තම සංවිධානය තුල සිටින ඉහළ කළමනාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීමට සිදුව ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කොට තිබුණි.

T20 කුසලානය කල් යන කතාවට ICCයෙන් උත්තර

ඒ අනුව එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ සංවිධානයෙහි මුල් පෙළ නිළධරයින් අතරේ පමණ සංසරණය විය යුතු වැදගත්, එමෙන්ම රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු කරුණු සහ දත්ත කිහිපයක් බාහිර පාර්ශවයන් අතට පත් වී ඇති බවයි. එවැන්නක් සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශන කණ්ඩායමක් පත් කිරීමට ද ICCය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙවැනි වාතාවරණයක් පැවතිය දී කමිටු රැස්වීමක් සඳහා සාමාජිකයින් කැඳවීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් ඊයේ දිනට යෙදී තිබූ වීඩියෝ දුරකථන ඇමතුම් සාකච්ඡාව ජුනි මස 10 වැනිදා තෙක් කල් දැමීමට සභාපති ශෂන්ක් මනෝහර් මහතා තීරණය කොට තිබේ. ඔහු ප්‍රකාශ කොට සිටියේ මෙය තම සාමාජිකයින් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පොදු එකඟතාවකට අනුව ගත් සාමූහික තීරණයක් බවයි.

“කමිටුවේ ඉහළ පෙළ සාමාජිකයින් කිහිප දෙනෙක්ම  මේ සම්බන්ධයෙන් අපෙන් කරපු ප්‍රශ්න කිරීම් නිසා අපි කල්පනා කළා ඉක්මනින් මේ ගැටලුවට නිසි පිළියමක් සොයා ගත යුතුයි කියලා. සම්මත ක්‍රමවේදයකට අනුව පාලනය වෙන සංවිධානයක් විදියට අපි හැම වෙලාවෙම බැඳිලා ඉන්නවා විශේෂයෙන්ම අභ්‍යන්තරයේ සිදු වන සිදුවීම් සම්බන්ධයෙන් උපරිම රහස්‍යභාවය රකින්න. ඊට එරෙහිව ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියෙ දී දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා.”

කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පණිවිඩයක්

ඒ අනුව කමිටු සාමාජිකයින් සියලු දෙනාගේ පොදු එකඟතාවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ICC ආචාර ධර්මයන් පිළිබඳ හසල දැනුමක් ඇති පීටර් නිකෝල්සන් මහත්මා ඇතුළු සහයක නිලධාරීන් පිරිසක් නම් කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

අන්තර්ජාතික අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලොව පිළිගත් ආයතනයන් රැසක සේවය කර ඇති නිකොල්සන් මහතාගේ සහයට මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල තවත් ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ දායකත්වය හිමි වීමට නියමිතය.

ජුනි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත රැස්වීමේ දී නිකොල්සන් මහතා ඇතුළු කණ්ඩායම අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවට ද ICC ප්‍රධාන විධායක නිලධාරි මනූ සෝව්නි මහතා පවසා තිබුණි.

එංගලන්ත වේගපන්දු යවන්නා ටෙස්ට් තෝරාගනී

මනෝහර් සහ සොව්නි යන මහත්වරුන් දෙදෙනා හැරුණු කොට ටෙස්ට් ක්‍රීඩා කරන, පූර්ණ කාලීන සාමාජික රටවල ක්‍රිකට් පාලක ආයතනයන් සහ ටෙස්ට් තත්වය හිමි නොවූ නියෝජිත රටවල් ත්‍රිත්වයක ක්‍රිකට් ආයතනයන් මෙම ICC ප්‍රධාන කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

තවද මේ වන විට Covid-19 වසංගතයේ ව්‍යාප්තිය තරමක වෙනස් ආකාරයකින් සිදු වීමට පටන් ගෙන ඇති නිසාවෙන් ඊට අනුකූලව හැඩ ගැසෙමින් අවශ්‍ය කරන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ අනෙකුත් තීන්දු තීරණ සැලසුම් කරන ලෙස සාමාජික ක්‍රිකට් ආයතනයන් විසින් ICC කළමනාකාරිත්වයෙන් ඉල්ලීමක් සිදු කොට ඇති බව වාර්තා වේ.

මෙම වසරේ ඔක්තෝබර් මස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය දින නියමයකින් තොරව කල් දමා ඇති බව පැතිර ගිය කට කතාව සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවත් එවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට මත්තෙන් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත විය යුතු බව ද ICCය ප්‍රකාශ කර සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<