පොලිස් ක්‍රීඩා සමාජය අසරණ කරමින් මහනුවරට විශිෂ්ට ජයක්

495

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතිය අවසන් කරමින්, මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී අද (11) තරග වැදුණු අතර එහි දී ලකුණු 43-11ක්  ලෙස තරගය පහසුවෙන් ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වූ තිලිණ විජේසිංහ උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට  සමත් විය.

තියුණු සටනකින් පසු අගනුවර බලය යුද හමුදාව යටතට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතිය ආරම්භ කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, CH & FC කණ්ඩායමත් අද (10) තුරඟ තරග..

ප්‍රබල මහනුවර ක්‍රීඩක ෆාසිල් මරිජා අද තරගය ක්‍රීඩා නොකිරීම කැපී පෙනුනි. පසුගිය තරගයේ දී තරග තහනමකට ලක්වීම හේතුවෙන්, මහනුවර ක්‍රීඩා සමාජයේ ෂෙහාන් පතිරණ හට මෙම තරගය අහිමි විය.

පොලිස් කණ්ඩායමේ සන්දේශ් ජයවික්‍රමගේ පාදයේ පන්දුව ගැටීමත් සමඟ තරගය ආරම්භ වූ අතර ආරම්භයේ දී ම ප්‍රබල ලෙස  පොලිස් අන්තය ආක්‍රමණය කළ මහනුවර ක්‍රීඩා සමාජය, තරගයේ තුන්වන මිනිත්තුවේ දී ඉතා පහසුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.

අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසුව තිලිණ විජේසිංහ විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි. එහි ප්‍රවර්තනය තිලිණ විජේසිංහ හට සාර්ථක කර ගැනීමට නොහැකි විය (මහනුවර 5-0පොලිස්).

අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය මහනුවර ක්‍රීඩා සමාජයට අභියෝගයක් වෙමින් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ අතර 10 වැනි මිනිත්තුවේ පොලිස් ක්‍රීඩා සමාජයට හිමි වූ පහසු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට පොලිස් පිලේ සන්දේශ් ජයවික්‍රම අසමත් විය.

හැව්ලොක් ප්‍රහාරය හමුවේ ගුවන් ක්‍රීඩකයෝ දණ නමයි

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තියුණු හා උණුසුම් තරගයක් අද (10) හැව්ලොක් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය…

තරගයේ පළමු භාගයේ පොලිස් කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල වේගවත් පසු පෙළ ක්‍රීඩකයින් වන අනුරුද්ධ විල්වර, තිලින විජේසිංහ හට  කිසිදු ඉඩ පහසුවක් ලබා නොදී ක්‍රීඩා කිරීමට උත්සහ කළත්, පොලිස් පසු පෙළ අතරින් ඉතා පහසුවෙන් ගමන් කළ තිලිණ විජේසිංහ තරගයේ 17 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථකව ප්‍රවර්තනය කරන ලදි (මහනුවර 12 -00 පොලිස්).

අනතුරුව පොලිස් පිල වෙනුවෙන් අසාර්ථක වූ දඬුවම් පහර රාශියකට තරගයේ 20 වැනි මිනිත්තුවේ පසු සිය පළමු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සන්දේශ් ජයවික්‍රම සමත් විය (මහනුවර 12 -03 පොලිස්).

අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම උත්සාහක දිනුමක් කරා මහනුවර අන්තය ආක්‍රමණය කළ ද, උත්පල එදිරිසිංහගේ පාදයෙන් වාර්තා වූ ගෝල දිනුමකින් ඔවුන්ට සෑහීමට පත්වන්නට සිදු විය (මහනුවර 12-06 පොලිස්).

අනතුරුව නැවතත් ක්‍රියාත්මක  වූ තිළිණ විජේසිංහ සිය තෙවන උත්සාහක දිනුම 27 වැනි මිනිත්තුවේ දී වාර්තා කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද අලංකාර ලෙස ඔහු විසින්ම ප්‍රවර්තනය කරන ලදි (මහනුවර 19 -6 පොලිස්).

ගයාන් වීරරත්නගේ අලංකාර පන්දු යොමු කිරීමකින් වේගවත් ධාවනයක නිරත වූ රිචඩ් ධර්මපාල මහනුවර පිල වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිළිණ විජේසිංහ අසමත් විය (මහනුවර 24-06 පොලිස්).

පොලිස් පිලට කිසිම අනුකම්පාවක් නොදැක්වූ මහනුවර කණ්ඩායමේ නායක ගයාන් වීරරත්න ඉතා අලංකාර ලෙස රිචඩ් ධර්මපාලට යොමු කළ පන්දුව රිචඩ් ධර්මපාල විසින් ජේසන් දිසානායකට යොමු කරනු ලදුව ජේසන් දිසානායක විසින් අලංකාර ලෙස උත්සාහක දිනුම් සීමාවෙන් එපිටට පන්දුව ගෙන යාමත් සමඟම මහනුවර පිල සිය පස්වන උත්සාහක දිනුම වාර්තා කර ගන්නා ලදි (මහනුවර 31-06 පොලිස්). තිලිණ විජේසිංහ එම උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන ලදි.

ක්‍රීඩක විනය සම්බන්ධයෙන් රග්බි බලධාරීන් තදින්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ තරගවල දී වාර්තා වූ නුසුදුසු සිදුවීම් කිහිපයක් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා…

අනතුරුව මහනුවර පිලේ ප්‍රබල ක්‍රීඩක රිචඩ් ධර්මපාල හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීම විනිසුරුගේ මතභේදයට ලක්වූ තීරණයක් විය. මහනුවර පිලේ නායක ගයාන් වීරරත්න උත්සාහක දිනුම් සඳහා දක්ෂ ලෙස අවස්ථා නිර්මාණය කර දීම පළමු අර්ධයේ දී කැපී පෙනුනි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 31 (5T 3C) : පොලිස් ක්‍රීඩා සමාජය 06 (1P  1DG)  

දෙවන අර්ධයේ ආරම්භයේ සිටම පොලිස් පිල මහනුවර අර්ධය ආක්‍රමණය කිරීමට උත්සහ කළත්, ප්‍රබල මහනුවර පසුපෙළ ඔවුන්ට උත්සාහක දිනුමක් කරා යාමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ.

තරගයේ මෙන්ම මහනුවර කණ්ඩායමට දෙවන කහ කාඩ්පත ලබා දෙමින් තරගයේ 50 වන මිනිත්තුවේ අනුරුද්ධ විල්වර පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කරන ලදි.

අනතුරුව පොලිස් පිලට තරගයේ 54 වන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වුවත් දඬුවම් පහර අසාර්ථක කර ගැනීමේ  සුපුරුදු ක්‍රීඩා විලාසය දිගටම පවත්වා ගත් පොලිස් කණ්ඩායම එම දඬුවම් පහර ද අසාර්ථක කර ගන්නා ලදි .එම දඬුවම් පහර ද ප්‍රවර්තනයට උත්සාහ දැරුවේ සන්දේශ් ජයවික්‍රම විසිනි.

නැවතත් ක්‍රියාත්මක වූ මහනුවර කණ්ඩායමේ ධනුෂ්ක රන්ජන් පොලිස් පිලේ ක්‍රීඩකයින් මැඩලමින් තනිව ධාවනයේ යෙදෙමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නා ලදි. එහි ප්‍රවර්තනය ද තිලිණ විජේසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි (මහනුවර 38 -06 පොලිස්).

දෙවන අර්ධය පුරාම ද පොලිස් පිලේ පන්දුවට පා පහර දීම ද පන්දුව යොමු කිරීම ද උත්සාහක දිනුම් සඳහා අවස්ථා සාදා ගැනීම ද ඉතා දුර්වල මට්ටමක පැවතුනි.

අනතුරුව ක්‍රියාත්මක වූ මහනුවර පිල පොලිස් පිලට උත්සාහක දිනුම් වරුසාවක් වස්සමින් සිය 7 වන උත්සාහක දිනුම තරගයේ 63 වන මිනිත්තුවේ දී සාර්ථක කර ගන්නා ලදි. නයිජල් රත්වත්තගේ අලංකාර පන්දු යොමු කිරීමකින් ලවංග පෙරේරා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමත් සමඟ මෙම උත්සාහක දිනුම වාර්තා විය. එහි ප්‍රවර්තනය අර්ශාඩ් ජමල්ඩීන් විසින් ප්‍රවර්තනයට උත්සහ කළ අතර එම උත්සාහය අසාර්ථක විය (මහනුවර 43-06 පොලිස්).

තරගයේ 69 වන මිනිත්තුවේ පොලිස් පිලට සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කළේ හෂාන් ප්‍රනාන්දු විසිනි (මහනුවර 43-11 පොලිස්).

සුපුරුදු දුර්වලතාවම පෙන්නුම් කරමින් පොලිස් පිල එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට අසමත් විය. තරගය අවසාන වන විට ලකුණු 43-11 ක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 43 : 11 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ගයාන් වීරරත්න (මහනුවර)

ලකුණු ලබා ගැනීම

  • මහනුවර ක්‍රීඩා සමාජය: තිලිණ විජේසිංහ (3T 4C), රිචඩ් ධර්මපාල (1T), ජේසන් දිසානායක (1T), ධනුෂ්ක රන්ජන් (1T), ලවංග පෙරේරා (1T)
  • පොලිස් ක්‍රීඩා සමාජය: සන්දේශ් ජයවික්‍රම (1P), හෂාන් ප්‍රනාන්දු (1T), උත්පල එදිරිසිංහ (1DG)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට