පොලිස් බලය වැස්සට දිය වෙද්දී, චරිත් ගුවන් හමුදාවට ජය ගෙනෙයි

1145
Air Force vs Police SCAir Force vs Police SCAir Force vs Police SCAir Force vs Police SCAir Force vs Police SCAir Force vs Police SC

චරිත් සෙනෙවිරත්න තමන්ට ලැබුණු අවස්ථා හයේදීම ගෝල කණු අතරින් පන්දුව යොමු කරද්දී, පොලිස් කණ්ඩායමේ දියාරු ක්‍රීඩා විලාශයෙන්ද උපරිම ප්‍රයෝජන ගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තුන් වන සතියේ පැවති තරගය ජය ගන්නට සමත් විය.

පසුගිය ලිපි: ඩයලොග් ලීග් රග්බි තරගාවලිය තෙවන සතිය – උණුසුම් වන සටන් බිම

සැලකිය යුතු මට්ටමේ පොද වැස්සක් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයට ඇද වැටෙද්දී තරගයේ ආරම්භක පා පහර එල්ල කලේ ගුවන් හමුදා ක්‍රීඩක ගයාන් ඉද්දමල්ගොඩයි.

මීට පෙර පොලිස් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු තරග දෙකේදී සිදුවූවාක් මෙන්ම මෙවරද සත්කාරක පොලිස් ක්‍රීඩකයන් ප්‍රතිවාදින්ට මුල්ම ලකුණු පූජා කරන ලදී. ඔවුන්ගේ විනය විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් පිරිනැමීමට විනිසුරුවරයා කටයුතු කලේ පොලිස් ගෝල  සීමාවෙන් මීටර් 40ක් පමණ එපිට ස්ථානයකදීයි. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයන් පුදුමයට පත් කරමින් එම පන්දුව කෙලින්ම ගෝලය වෙතට එල්ල කිරීමට තීරණය කල චරිත් සෙනෙවිරත්න ඔවුන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ නිවැරදි ඉලක්කයට පන්දුව යොමු කිරීමට සමත් විය. (පොලිසිය 00 – 03 ගුවන් හමුදාව)

මේ අතර කාලගුණ තත්ත්වය කෙමෙන් කෙමෙන් අයහපත් තත්ත්වයක් දක්වා වර්ධනය වූ අතර එමගින් තරගය පවත්වාගෙන යාමටද බාධා එල්ල විය.

කෙසේ වෙතත් පළමු අර්ධය තුල ගුවන් හමුදාවට හිමි වූ තවත් දඬුවම් පහර දෙකක් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කිරීමට චරිත් සෙනෙවිරත්න වර්ෂාව බාධාවක් කර ගත්තේ නැත. මේ අනුව ගුවන් භටයන් ලකුණු 9ක වාසියක් සමඟ විවේක කාලයට පිවිසි අතර පොලිස් කණ්ඩායමට පළමු අර්ධය තුල ලකුණු රැස් කිරීමට නොහැකි වූ දෙවන තරගය මෙය විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 00 – 09 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භ වූයේ පොලිස් කණ්ඩායමට ඔවුන්ගේ පුහුණුකරුගෙන් ලැබුණු වාග් ප්‍රහාරයකින් ද අනතුරුවයි. පොලිස් පුහුණුකරු තම ක්‍රීඩකයන් හට ආවේගශීලීව ලබා දුන් උපදෙස් වැඩි වෙලා ගතවන්නට මත්තෙන් ඵල දැරූ බවක් දක්නට ලැබුණි. ඔවුන් ගුවන් හමුදා මීටර් 22 සීමාව වෙත පන්දුව රැගෙන එන්නට සමත් වූ අතර ගුවන් හමුදා කණ්ඩායමෙන් දිගින් දිගටම සිදුවූ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් (පෙනල්ටි ට්‍රයි) පිරිනමන්නට ප්‍රධාන විනිසුරුවරයා කටයුතු කරන ලදී. රජිත සන්සෝනි පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ තරගය ලකුණු දෙකක පරතරයක් දක්වා ගෙන එමිනුයි. (පොලිසිය  07 – 09 ගුවන් හමුදාව)

පොලිස් පුහුණුකරුගේ උණුසුම් වචන පුපුරා ගියේ ඔවුන්ගේ විඟර් ක්‍රීඩකයා නියමිත කාලයෙන් පසු සිදු කල ආක්‍රමණයක් (ලේට් ටැකල්) හේතුවෙන් ඔහුට කහ කාඩ්පතක් ලබාදී තාවකාලිකව පිටියෙන් ඉවත් කරන්නට විනිසුරුවරයා තීරණය කිරීමත් සමඟයි. ඒ සමඟ ලැබුණු දඬුවම් පහර පොලිස් කණ්ඩායමේ මීටර් 22 සීමාව තුලට යොමු කර ඉන් ලද නිදහස් විසිකිරීම ද මනාව සිදු කල ගුවන් හමුදා ක්‍රීඩකයන් පන්දුව ගෝල සීමාව අසලටම ගෙන යාමට සමත් විය. ඉදිරි දෙවන පෙළ ක්‍රීඩා කරන උස ක්‍රීඩකයෙක් වන තිලින බණ්ඩාර උත්සාහක දිනුම සම්පූර්ණ කලේ සියලු පොලිස් ක්‍රීඩකයන් මගහැර යන්නටද සමත්කම් දක්වමිනුයි. චරිත් තම පා පහරේ 100% ක නිරවධ්‍යතාව තවදුරටත් ආරක්ෂා කරගනිමින් එය ප්‍රවර්ථනය කල අතර එමගින් ගුවන් හමුදා කණ්ඩායමට ආරක්‍ෂිත මට්ටමේ ලකුණු වාසියක්ද හිමිවිය. (පොලිසිය  07 – 16 ගුවන් හමුදාව)

අවසන් මිනිත්තු 20 තුල තරගයේ වේගවත් බව අතිශයින් ඉහල ගියේ පොලිස් කණ්ඩායම ගුවන් හමුදා ලකුණු සංඛ්‍යාව පසුපස හඹා යාම දැඩි කිරීම හේතුවෙනුයි. මේ අතර තරගයේ වැඩි පාලනයක් අත්පත් කර ගැනීමට වර්ෂාව සමත්ව සිටින ලදී.

ද්වේශ සහගතව සිදු නොකළ බව පැහැදිලිව පෙනුනත් අනතුරුදායක ආක්‍රමනයක නිරතවූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිෂාන් සූර්යාව ද වරදකරුවන්ගේ පුටුවට යොමු කරන්නට විනිසුරුවරයා පියවර ගන්නා ලදී.

ක්‍රීඩකයෙක් අඩු වුවත් ගුවන් හමුදා ආක්‍රමණය ලිහිල් නොවූ අතර නොනවතින ආක්‍රමණශීලී තරග රටාවට හසුවූ පොලිස් ක්‍රීඩකයන් තවත් දඬුවම් පහරක් ලබා දුන් අතර චරිත් සෙනෙවිරත්න මෙම තරගයේ 5 වන වරටත් සාර්ථක ලෙස පන්දුව ගෝල කණු අතරින් යොමු කලේ තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම සතු බවට තහවුරු කර ගනිමිනුයි. (පොලිසිය  07 – 19 ගුවන් හමුදාව)

ගුවන් හමුදා කණ්ඩායම තව දුරටත් උත්සාහ කලේ පොලිස් කණ්ඩායමේ පරාජය තවත් තහවුරු කරන්නටයි. ඒ අනුව ඔවුන් ප්‍රබල ආක්‍රමනයක නිරත වූ අතර පෙර පරිදිම එම පීඩනය හමුවේ පොලිස් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය නීතිවිරෝධී තත්ත්වයට ඇද වැටුණි. මේ අනුව චරිත සෙනෙවිරත්න හට පහසු සීමාවේ හිමිවූ තවත් දඬුවම් පහරක් ඔහු සාර්ථක කර ගත්තේ තරගය තුල සිය පෞද්ගලික ලකුණු තත්ත්වය 17ක් දක්වා ඉහල දමා ගනිමිනුයි. මේ අනුව තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදීම ජය පැන් සාදය ආරම්භ කිරීමට ගුවන් භටයන් හට හැකියාව ලැබුණි. (පොලිසිය 07-22 ගුවන් හමුදාව)

තවදුරටත් මෙම තරගයෙන් තමන්ව පරාජය කල නොහැකි බව තහවුරු කරගත් ගුවන් හමුදා ක්‍රීඩකයන් තම විවේකය කලින්ම ආරම්භ කිරීමට සූදානම් වෙද්දී එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පොලිස් භටයන් තරගය ජය ගන්නට නොහැකි වුවත් අවසන් ලකුණු තම කණ්ඩායමට එකතු වන බව තහවුරු කර ගත්තේ අවසන් මිනිත්තුවේදී ලිහිල් වූ ගුවන් හමුදා ආරක්ෂක පෙළ අතරින් රිංගා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එම උත්සාහක දිනුමේ අයිතිය නායක උදාර සූරියප්පෙරුම සතු වූ අතර රජිත සන්සොනි එහි ප්‍රවර්තනය නිවරදිව එල්ල කිරීමට සමත් නොවීය. මේ අනුව පොලිස් කණ්ඩායමට මෙවර 2016/17 තරග වාරයේ පළමු සති තුනම අවසන් කරන්නට සිදු වූයේ ජයග්‍රහනයක අභිමානය විඳීමෙන් තොරවයි.

අවසන් ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 12 (2T, 1C) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 22 (1T, 1C, 5P)

ThePapare.com තරගයේ වීරයා – චරිත් සෙනෙවිරත්න  (ගුවන් හමුදාව)

ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු ග්ලෙනාඩ් ද සිල්වා තරගයෙන් අනතුරුව ThePapare.com වෙත මෙලෙස අදහස් දැක්වීය. ”තරගය පැවැත්වුණු තත්ත්වයන්ට අවශ්‍ය අයුරින් හැඩ ගැහෙන්නට ක්‍රීඩකයන් සමත් වුනා. පන්දුව අපේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් ඉතා ලඟින් රඳවා ගනිමින් සහ පුළුල් හුවමාරු වලින් තොරව පාලනය කිරීමත්, ලැබුණු අවස්ථා සියල්ලෙන් ප්‍රයෝජන ගනිමින් දඬුවම් පහර සහ ප්‍රවර්ථන සියල්ලම සාර්ථක කර ගැනීමත් මඟින් තරගයේ පාලනය දිගටම රඳවා ගැනීම තමයි මේ ජයග්‍රහණයට හේතුව.”

මෙම තරගය සඳහා තිබු සැලසුම් පිලිබඳ කල විමසීමකට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්. ” තරග සැලසුමක් ක්‍රීඩකයන්ට ලබා දුන්නා නමුත් මේ තරගය පැවති (කාලගුණ සහ පිටියේ) තත්ත්වය මත වැදගත් වන්නේ තමන් ඉදිරියේ සිදු වන දෙයට හැඩ ගැසීමයි. එමනිසා අවස්ථාවට අනුව කෙටි හුවමාරු සහ ඉතා ලඟින් ක්‍රීඩකයන් ස්ථානගත වෙමින් සහ ඔවුන්ගේ ඉදිරි පෙළ සහ ත්‍රී ක්වාටර් ක්‍රීඩකයන් වඩාත් ඉදිරියට ඇදෙන විට පා පහර මගින් පන්දුව ප්‍රතිවාදී කලාපය වෙත යොමු කර එම අන්තයේ ක්‍රීඩාව පවත්වන්නට අපි සමත් වුනා.”

අවසන් වශයෙන් ThePapare.com විමසා සිටියේ ”ඉදිරි තරග සඳහා සූදානම් වීමේදී නිවැරදි කර ගත යුතු ස්ථාන කිසිවක් මෙම තරගයේදී දක්නට ලැබුණාද?” යන්නයි ගුවන් හමුදා පුහුණුකරු ඊට මෙලෙස පිළිතුරු දෙන ලදී. ”තරග අවසානය දියුණු කර ගැනීමට අපේ අවධානය යොමු විය යුතුයි. අදත් තරගයේ අවසන් කොටසේදී අපි උත්සාහක දිනුමක් ලබා දුන්නා. ඉතින් අපි කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයන්ගේ දක්ෂතා පිලිබඳ වඩාත් ඉහල අවධානයක් යෙදිය යුතුයි.”

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට