2016 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ නවවැනි සතියේ තරග කිහිපයක් පසුගිය 06 වැනිදා සහ 07 වැනිදා පැවැත්විනි.

එම තරගවලදි සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය, මීගමුව යූත් ක්‍රීඩා සමාජය, සොලිඩ් ක්‍රීඩා සමාජය, ජාවා ලේන් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ මාතර සිටි ක්‍රීඩා සමාජය ප්‍ර‍තිවාදීන් පරදා ජයග්‍ර‍හණය වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: මීගමුව යූත් සහ සුපර් සන් ක්‍රීඩකයින්ට ජය

පොලිස් ක්‍රී.ස සහ සෝන්ඩර්ස් ක්‍රී.ස

පසුගිය 06 වැනිදා පොලිස් ක්‍රීඩා පිටියේදි පැවති මෙම තරගයෙන් ගෝල 01-00 ලෙස ජය වාර්තා කිරීමට සෝන්ඩර්ස් කණ්ඩායමට හැකි විය. වාර්තා වූ එම ගෝලය තරගයේ 26වැනි මිනිත්තුවේදි මොහොමඩ් ශහීල් විසින් වාර්තා කිරීමට සමත් විය.

තරගයේදි නිලන්ත පතිරණ සහ ජනිත තුෂාර සම්පත් යන පොලිස් ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 00 – 01 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය


මීගමුව යූත් ක්‍රී.ස සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රී.ස

ප්‍ර‍තිවාදීන් හට ලකුණක් හෝ වාර්තා කිරීමට අවකාශය සලසා නොදුන් මීගමුව ක්‍රීඩකයින් ගෝල 08-00 ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගය පසුගිය 06 වැනිදා කැළණිය පාපන්දු සංකීර්ණයේදි පැවැත් විය.

මීගමුව ක්‍රීඩක අබ්දුල් මුමුනි ගෝල තුනක් වාර්තා කිරීමට සමත් විය. ඒ තරගයේ 45+3, 51 සහ 19 වැනි මිනිත්තුවලදීය. එස්චන් ඇකූටි ගෝල දෙකක් වාර්තා කලේ 15වැනි මිනිත්තුවේදි සහ 45+1 යන මිනිත්තුවේදීය. එස්චන්ට සහය වෙමින් දිලීප් පීරීස් ද 85වැනි සහ 90+2 මිනිත්තු වලදි ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් විය. 40වැනි මිනිත්තුවේදි ඩී. ධර්මලිංගම් විසින්ද මීගමුව සමාජයට ගෝලයක් රැස් කිරීමට සමත් විය.

තරගය අතරතුර මීගමුව ක්‍රීඩා සමාජ ක්‍රීඩක මොහොමඩ් නුස්කි හට කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු: මීගමුව යූත් ක්‍රීඩා සමාජය 08 : 00 අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය


සොලිඩ් ක්‍රී. ස සහ කොළඹ පා. ස

ඉකුත් 07වැනිදා අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩා පිටියේදි ගෝල 04-02 ලෙසින්, කොළඹ සමාජය පරදවා තියුණු ජයක් වාර්තා කිරීමට සොලිඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගාරම්භයේ සිටම උද්යෝගි ක්‍රීඩා විලාසයක් පෙන්වු කණ්ඩායම් දෙකෙන්ම මුල්ම ගෝලය රැස් කරනු ලබන්නේ 13වැනි මිනිත්තුවේදි සොලිඩ් ක්‍රීඩක ඝනරුබන් විනොද් විසිනි. ඔහු විසින් තරගයේ 71වැනි මිනිත්තුවේදි ද ගෝලයක් රැස් කිරීමට සමත් විය. ඉතිරි ගෝල ද්විත්වය පිලිවෙලින් තක්ෂිල දනෝජ් විජේතුංග විසින් 89වැනි මිනිත්තුවේදී ද, ඔයි. අයි. අබුමෙර් විසින් 90+3 මිනිත්තුවේදි ද සොලිඩ් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කරන ලදි.

කොළඹ සමාජය වෙනුවෙන් රැස් කල ගෝල ද්විත්වය සර්වාන් ජොහාර් විසින් 42වැනි මිනිත්තුවේදී සහ දනුෂ්ක මදුශංක විසින් 85 වැනි මිනිත්තුවේදී ද වාර්තා කිරීමට සමත් විය.

90+3 මිනිත්තුවේදි සොලිඩ් ක්‍රීඩක ඔයි. අයි. අබුමෙර් ට රතු කාඩ්පතක් නිකුත් කරන ලදි.

තරගය අතරතුර සොලිඩ් ක්‍රීඩක ඒ. ඒ. ටන්ඩ් හට කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු: සොලිඩ් ක්‍රීඩා සමාජය 04 : 02 කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය

තරගාවලියේ සියළු තොරතුරු සඳහා පිවිසෙන්න – DCL Hub එකට


ජාවා ලේන් ක්‍රී.ස සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රී.ස

කොළඹ සිටි පාපන්දු පිටියේදි පැවති තරගයෙන් කිසිදු ලකුණක් රැස් කරගැනීමට ගුවන් භටයින්ට නොහැකි වු අතර ජාවා ලේන් ක්‍රීඩකයෝ ගෝල 02ක් වාර්තා කරමින් ජයග්‍ර‍හණය සිය කණ්ඩායම සතු කර ගැනීමට සමත් විය.

ජාවා ලේන් වෙනුවෙන් 24වැනි මිනිත්තුවේදි නවීන් ජූඩ් විසින් සහ 82වැනි මිනිත්තුවේදි මොහොමඩ් අබ්දුල්ලා විසින් ගෝල රැස් කිරීමට සමත් විය.

තරගය අතරතුර ගුවන් හමුදා ක්‍රීඩක රුවන් අරුණසිරි ට සහ ජාවා ලේන් ක්‍රීඩකයින් වන ජනක චමින්ද සහ යාපි යොපො යන ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු: ජාවා ලේන් ක්‍රීඩා සමාජය 02 : 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය


යුද හමුදා ක්‍රී.ස සහ ක්‍රිස්ටල් පැලස් පා.ස

අතිශය තියුණු තරගයකින් පසුව එක් ලකුණකින් ජයග්‍ර‍හණය හිමි වූයේ යුද හමුදා කණ්ඩායමටයි. 07වැනිදා කැළණිය පාපන්දු ක්‍රීඩා පිටියේදි පැවති තරගය නිමා වන විට ලකුණු පුවරුව 03-02 ලෙස දැක්විය.

යුද හමුදා සමාජය වෙනුවෙන් මදුශාන් ද සිල්වා 10වැනි මිනිත්තුවේදී ද, මොහොමඩ් ඉසඩීන් 42වැනි මිනිත්තුවේදී ද, බණ්ඩාර වරකාගොඩ 85වැනි මිනිත්තුවේදී ද ගෝල වාර්තා කෙරිනි. ක්හලීඩ් අස්මි 29වැනි මිනිත්තුවේදී සහ අයිසැක් අබා 57වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටල් පැලස් වෙනුවෙන් ගෝල රැස් කිරීමට සමත් විය.

යුද හමුදා ක්‍රීඩකයින් වන අසිකුර් රහුමාන් සහ ඩිලාන් උදයංග යන ක්‍රීඩකයින් දෙදෙනාටත් ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩක ජෝන් ෆ්‍රැන්සිස්කො යන ක්‍රීඩකයින්ට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු : යුද හමුදා ක්‍රීඩා සමාජය 03 – 02 ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය


නාවික හමුදා ක්‍රී.ස සහ රිනවුන් ක්‍රී.ස

ගෝල 02-01 ලෙසින් ජය වාර්තා කිරීමට සමත් වූයේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි. තරගය 06වැනිදා වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

රිනවුන් සමාජය වෙනුවෙන් වාර්තා වු ගෝලය තරගයේ 55වැනි මිනිත්තුවේදි ජොබ් මයිකල් විසින් වාර්තා කිරීමට සමත් විය. නාවික හමුදා ක්‍රීඩකයින් වන චමීර ක්‍රිශාන්ත (29වැනි මිනිත්තුවේදි), ඩබ්. එම්. ජේ. ෆර්නැන්ඩෝ (74වැනි මිනිත්තුවේදි) නාවික හමුදාව වෙනුවෙන් ගෝල රැස් කරන ලදි.

තරගයේදි ජෙරාන් ෆර්නැන්ඩෝ යන නාවික හමුදා ක්‍රීඩකයාට  සහ හකීම් කමිල්, මොහොමඩ් අස්ලාම් යන රිනවුන් ක්‍රීඩකයින්ටත් කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු : නාවික හමුදා ක්‍රීඩා සමාජය 02 : 01 රිනවුන් ක්‍රීඩා සමාජය


නිව් යන්ග්ස් ක්‍රී. ස සහ තිහාරිය යූත් ක්‍රී. ස

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පිරීස් ක්‍රීඩාංගණයේදි පැවති මෙම තරගයෙන් 02-00 ලෙස ජයග්‍ර‍හණය වාර්තා කිරීමට නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

නිව් යන්ග්ස් වෙනුවෙන් අන්කමහ් ජෝර්ජ් විසින් ගෝල ද්විත්වයම වාර්තා කිරීමට සමත් වූ අතර ඒ තරගයේ 9වැනි මිනිත්තුවේදි සහ 79වැනි මිනිත්තුවේදී ය.

තරගය අතරවාරයේදි රතු කාඩ්පතක් මොහොමඩ් ෆවුසාන් (47වැනි මිනිත්තුවේදි) හට නිකුත් කරන ලදි.

අවසන් ලකුණු : නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය 02 – 00 තිහාරිය යූත් ක්‍රීඩා සමාජය


බ්ලු ස්ටාර් ක්‍රී. ස සහ මාතර සිටි ක්‍රී. ස.

බ්ලු ස්ටාර් ක්‍රීඩකයින් හමුවේ මාතර ක්‍රීඩකයින් මෙම තරගය ජයග්‍ර‍හණය කරනු ලැබුවේ ගෝල 01-00 ලෙසිනි. වාර්තා වූ එම ගෝලය ඔචුකෝ ෆ්‍රැන්ක් විසින් වාර්තා කිරීමට සමත් විය.

තරගය අතරතුර ඒ. ආරෝන්, ඒ. ආර්. ලක්ෂාන්, කේ. ඩබ්. පී. ඒ. නිර්වින්ද සහ එස්. එස්. කේ. ආරච්චි යන මාතර ක්‍රීඩකයින් හට සහ මොහොමඩ් ෆර්සීන් යන බ්ලු ස්ටාර් ක්‍රීඩකයා හටත් කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

තරගය 06වැනිදා වර්නොන් ෆර්නැන්ඩෝ ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

අවසන් ලකුණු : බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය 00 – 01 මාතර සිටි ක්‍රීඩා සමාජය

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට