ඉන්දීය නායකයා ලෙස Dhoni ගත්ත සුපිරි තීරණ 5ක්

11978

තරගවල තීරණාත්මක අවස්ථාවන් හිදී දැඩි අවදානමකින් යුතු තීරණ ගන්නා තරුණ නායකයෙකුගේ සිට ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ තියුණුම සහ උපායශීලීම බුද්ධියකින් යුතු නායකයෙකු දක්වා Mahendra Singh Dhoni පැමිණි ගමන්මග ඉන්දීය ක්‍රිකට් වංශ කතාව තුළ ඇති අපූර්වතම කතාන්දරවලින් එකකි. 

‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් Dhoniගේ ක්‍රිකට් ආගමනය මේ වන විට වසරකට ආසන්න කාලයකින් ප්‍රමාද වී ඇති අතර ඒ අතරතුර ඔහුගේ රසිකයින් ඔහු පසුගිය අවුරුදු කිහිපය පුරාවට දැක්වූ වික්‍රමයන් නරඹමින් සහ ඒවා පිළිබඳව කියවමින් කාලය ගත කරන බව නොරහසකි. 

මෙම වසංගත තත්වය අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වී Dhoni නැවතත් ක්‍රීඩා කරනු දැකීමට අප සැම නොඉවසිල්ලෙන් බලා සිටින අතරතුර ඔහුගේ තීරණ හේතුවෙන් තරගවල තීරණය මෙන්ම ක්‍රීඩකයින්ගේ ඉරණම් ද වෙනස් වූ අවස්ථාවන් පහක් පහතින් දක්වා ඇත. 

Joginder Sharma හට අවසන් පන්දුවාරය ලබාදීම

2007 පන්දුවාර 20 ලෝක කුසලාන අවසාන මහා තරගයේ අවසාන පන්දුවාරය යොමුකිරීම සඳහා Dhoni විසින් Joginder වෙත පන්දුව පිරිනමන විට Harbhajan Singh හට තවත් එක් පන්දුවාරයක් ඉතිරිව තිබූ අතර ඒ හේතුවෙන් බොහෝ දෙනා ඔහුගේ මෙම තීරණය පිළිබඳව දැඩි සැකයකින් පසුවන්නට විය. 

ප්‍රතිවාදී පාකිස්තානයට ලොව පළමු පන්දුවාර 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැලඳීම සඳහා එම පන්දුවාරය තුළ ලකුණු 13ක් පමණක් අවශ්‍යව තිබූ අතර අනෙක් පසින් ප්‍රබල ක්‍රීඩක Misbah-ul-Haq පන්දු 35ක දී ලකුණු 37ක් වාර්තා කරගනිමින් ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නට විය. 

Harbhajan විසින් යොමු කළ එම ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී Misbah විසින් ඔහුට හයේ පහරවල් 3ක් එල්ල කිරීම මේ ආකාරයට Dhoni විසින් අවසාන පන්දුවාරය යොමුකිරීමේ වගකීම Joginder හට පවරන්නට හේතු විය. 

අවසාන පන්දුවාරයේ ඔහු යොමු කළ පළමු පන්දුව ‘wide’ පන්දුවක් ලෙස සංඥා වූ අතර ඒත් සමඟම බිලියනයක පමණ වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ තිබූ සැකය තව තවත් ඉහළ යන්නට විය. Joginder යොමු කළ ඊළඟ පන්දුවේ දී කිසිදු ලකුණක් වාර්තා කරගන්නට Misbah අසමත් වුවත් එහි දී අනතුරුව යොමු වූ දෙවන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් පාකිස්තානය ජයග්‍රහණයේ ආසන්නයට රැගෙන යන්නට ඔහු සමත් විය. 

ඉන්දියාවේ ජයග්‍රහණ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් පහව යමින් තිබිය දී මීළඟ පන්දුවට Misbah විසින් short-fine legට ඉහළින් ‘paddle’ පහරක් එල්ල කරන්නට උත්සාහ දැරූ නමුත් එම උත්සාහය අසාර්ථක වෙමින් එහි දී පන්දුව Sreesanthගේ සුරක්‍ෂිත දෑත මත පතිත වූයේ ඉන්දියාව ලොව පළමු පන්දුවාර 20 ලෝක ශූරයින් ලෙස අභිසෙස් ගන්වමිනි. 

ඒ අනුව ඓතිහාසික ශූරතාවයක් ද සමඟින් දකුණු අප්‍රිකාවේ Johannesburg නුවර දී Dhoniගේ අපූරු නායකත්වයේ කතාන්දරයේ ආරම්භය සනිටුහන් වන්නට විය. 

Sourav Ganguly සහ Rahul Dravid එක්දින කණ්ඩායමෙන් අත්හැරීම

ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති දැවැන්ත නාමයන් අතර තවත් සමහරෙක් අපට ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයින් ලෙස ද හඳුනා ගත හැක. Ganguly සහ Dravidගේ නාමයන් ඒ අතරින් පතාක යෝධයින් ගණයට ඇතුළත් වන බවට කිසිදු සැකයක් නොමැත. Dhoniට පෙර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරා ඇති ඔවුන් දෙදෙනාම එක්ව සිය සාර්ථක එක්දින ක්‍රිකට් ක්‍රීඩා දිවි තුළ සමස්ත ලකුණු 23,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරගෙන තිබුණි. 

කෙසේ නමුත් 2008 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Dhoni විසින් ඔවුන් දෙදෙනාව කණ්ඩායමට ඇතුළත් කර නොගන්නට තීරණය කරනු ලැබීය. 

කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ මෙම තීරණය පිළිබඳව විමසා සිටි විට එවකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Niranjan Shah පවසා සිටියේ ඔවුන් එම තරගාවලියට අදාළව පන්දු රැකීමේ හැකියාවට විශේෂ අවධානයක් ලබා දුන් බවත්, ඒ හේතුවෙන් තරුණ ක්‍රීඩකයින්ගෙන් යුතු සංචිතයක් එම තරගාවලිය සඳහා රැගෙන යාමට තේරීම් කමිටුවට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට අවශ්‍ය වූ බවත් ය. 

ඉතිහාසය දෙස හැරී බැලූ කළ ඉන්දීය කණ්ඩායම තුළ පිතිකරණය හා පන්දු යැවීමට සමානවම පන්දු රැකීම ද වැදගත් වන්නට ආරම්භ වන්නේ මෙම අවස්ථාවේ සිටයි. මෙම සිදු වූ වෙනස්කමේ අවසාන ප්‍රතිඵලය වූයේ නුදුරු අනාගතයේ දී ම ඉන්දියාව පන්දු රැකීම අතින් ලොව සිටින හොඳම කණ්ඩායමක් ලෙස වර්ධනය වීමයි. 

ඊට අමතරව එම තුන්කොන් තරගාවලිය ද ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම ඒ අනුව ඕස්ට්‍රේලියාවේ දී ඔවුන් වාර්තා කරගත් ඉතිහාසයේ ප්‍රථම තුන්කොන් තරගාවලි ජයග්‍රහණයට ද එහි දී හිමිකම් කියන්නට විය. 

2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ඔහු අංක 5 ස්ථානය දක්වා උසස් වීම

ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඇති දැවැන්තම වේදිකාව තුළ ලකුණු 275ක අසීරු ඉලක්කයක් හඹා යන අතරතුර තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 161ක් අවශ්‍යව තිබිය දී කණ්ඩායමේ සිටින ප්‍රබලම පිතිකරුවන් තිදෙනෙක් වන Virender Sehwag, Sachin Tendulkar සහ Virat Kohli දැවී ගොස් සිටිය දී අනෙක් පසින් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සිය උපරිම දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් පන්දු යවමින් සිටින්නට විය. 

2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී Dhoni අංක 5 ස්ථානයට උසස් වීමක් ලබා ගනිමින් Wankhede ක්‍රීඩාංගණය මැදට පැමිණෙන විට තරගය පැවතියේ එවන් දුෂ්කර තත්වයකි. 

ඒ වන විටත් ඉන්දියානුවන්ගේ ලෝක කුසලාන සිහිනය නපුරු සිහිනයක් බවට පරිවර්තනය වෙමින් තිබුණි. 

අවශ්‍යම මොහොතක දී ඉදිරියට පැමිණ අභියෝග බාර ගැනීම සැබෑ නායකයෙකු සතු ඉතා අගනා ගති ලක්‍ෂණයකි. ඒ අනුව එදා විශේෂඥ පිතිකරු Yuvraj Singhට ඉදිරියෙන් Dhoni පිතිකරණයට පිවිස සිය නායකත්ව වගකීම් අකුරටම ඉටු කරන්නට සමත් විය. 

එහි දී ඔහු නොදැවී ලකුණු 91ක විශිෂ්ට නායකත්වීය ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාවට ඔවුන්ගේ සිය දෙවන එක්දින ලෝක කුසලාන ශූරතා ජයග්‍රහණය හිමිකර දෙන්නට සුවිශාල දායකත්වයක් ලබා දෙන්නට සමත් විය. Gautam Gambhir ලකුණු 97ක් වාර්තා කරගනිමින් ඉන්දියාව ස්ථාවර තත්වයකට රැගෙන එන්නට සමත් වුවත් තීරණාත්මක ඉනිමක් අවසානයේ දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ඔවුන්ව ඓතිහාසික ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත් වූයේ Dhoni වීම මෙහි දී කැපී පෙනෙන්නට විය. 

ඒ අනුව ලෝක කුසලාන අවසාන මහා තරගයක තරගයේ වීරයා සම්මානයක් ද ඒ සමඟින් ඔහු දිනා ගත් කුසලාන ගොන්නට එකතු වන්නට වූ අතර එවන් ගෞරවයක් කිසිවෙකුට ලබා දිය හැකි දෙයක් නොවන අතර එය තමන් විසින්ම උපයා ගත යුතු දෙයක් වන බව අවිවාදයෙන් ම පිළිගත යුතු කරුණකි. 

Tendulkar, Sehwag සහ Gambhir 2012/13 CB Series තරගාවලියේ දී මාරුවෙන් මාරුව යොදාගැනීම

ඉන්දියාවේ ජනතාව ක්‍රීඩාවටත් වඩා එම ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩා තරු අදහන ප්‍රවණතාවයක් අපට දැක ගත හැක. එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළ සිටින සමහරක් ක්‍රීඩකයින් හට දෙවියන්ට සමාන තත්වයක් හිමි වී ඔවුන්ට කණ්ඩායම තුළ සුවිශේෂී වරප්‍රසාද හිමිවන්නට ඉවහල් වී ඇත්තේ ද එම ප්‍රවණතාවය යි. 

කෙසේ නමුත් Dhoni නායකත්වය දරන කාලය තුළ එම සංස්කෘතිය වෙනස් කිරීමට ඔහු වගබලා ගන්නට විය. එහි ආරම්භය සිදු වූයේ 2008 වසරේ දී හොඳ පන්දු රකින්නන්ට අවස්ථාව ලබා දීමට ඔහු ගත් පියවරත් සමඟයි. 

අනතුරුව ඕස්ට්‍රේලියාවේ දී ම පැවති 2012 CB Series තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ඊට අදාළව තවත් පියවරක් ඉදිරියට තැබුවේ Tendukar, Sehwag සහ Gambhir යන ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනාව මාරුවෙන් මාරුවට පමණක් කණ්ඩායම තුළ යොදා ගනිමිනි. 

ඔවුන් තිදෙනාම එක්දින තරගවල දී ඉන්දියානු ඉදිරිපෙළ විශිෂ්ට දක්‍ෂතා දක්වා තිබුනත්, මෙහි දී Dhoni විසින් ඔවුන්ව මාරුවෙන් මාරුවට යොදාගැනීමට ගත තීරණය හේතුවෙන් මෙම තරගාවලිය පුරාවටම ඔවුන් තිදෙනා හට එකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැත. 

කෙසේ නමුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නොලැබුණු අතර එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් ප්‍රදර්ශනය කළ දුර්වල දක්‍ෂතාවයන් හරහා ඔවුන්ගේ ඉදිරිපෙළ සැලකිය යුතු වෙනසක් සිදු විය යුතු බව පසක් වන්නට විය. 

තවත් කියවන්න;

Rohit Sharma හට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස් වීමක් ලබා දීම

2013 වසර Dhoni හට සුවිශේෂී වන්නේ එම වසරේ දී ඔහු පන්දුවාර 20 ලෝක කුසලානයක්, එක්දින ලෝක කුසලානයක් සහ ශූරයින්ගේ කුසලාන තරගාවලියක් යන තරගාවලි තුනම ජයග්‍රහණය කළ ලොව පළමු සහ එකම නායකයා බවට පත්වීමත් සමඟයි. 

කෙසේ නමුත් මෙම වසරේ දී සිදු වූ තවත් විශේෂ සිදුවීමක් වන්නේ කණ්ඩායම තුළ අඛණ්ඩව දක්‍ෂතා දැක්වීමට අපොහොසත්ව සිටි, කණ්ඩායමේ සිය ස්ථානය ස්ථාවර නොවූ ක්‍රීඩකයෙකුගේ අනාගත ඉරණම Dhoni විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි.  

ඒ අන් කවරෙකුවත් නොව, එරට සුපිරි පිතිකරු Rohit Sharma ය. Rohit 2007 වසරේ සිට ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබුනත්, ඔහු කණ්ඩායම තුළ සිය ස්ථානය ස්ථාවර කරගන්නට තරම් අඛණ්ඩ දක්‍ෂතාවන් දක්වන්නට සමත්ව තිබුණේ නැත. ඒ අනුව Dhoni පළමුව ඔහුට ආරම්භක පිතිකරුවෙකු ලෙස උසස් වීමක් 2011 වසරේ දී පැවති දකුණු අප්‍රිකානු සංචාරයේ දී ලබා දෙනු ලැබුවත් එහි දී ඉනිම් 3ක දී ඔහු වාර්තා කරගැනීමට සමත් වූයේ ලකුණු 29ක් පමණි. 

අනතුරුව 2013 ජනවාරි මාසයේ දී Mohali හිදී Dhoni විසින් Rohit හට ආරම්භක පිතිකරුවෙකු ලෙස දක්‍ෂතා දක්වන්නට නැවතත් අවස්ථාවක් ලබා දීමට තීරණය කළ අතර එහි දී එංගලන්තයට එරෙහිව ලකුණු 83ක වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Rohit කෙමෙන් කෙමෙන් එම ස්ථානයේ ස්ථාවර වෙමින් සුපිරි දක්‍ෂතා දක්වමින් මේ වන විට ලොව සිටින ප්‍රබලම හා ප්‍රවේගකාරීම ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගන්නට සමත්ව සිටී. 

ඒ අනුව ඉහළ දක්‍ෂතා අතර නොසිටි සාමාන්‍ය මැදපෙළ පිතිකරුවෙකුගේ සිට ලොව සිටින විශිෂ්ටම පිතිකරුවෙකු දක්වා Rohit මේ වන විට දීර්ඝ ගමනක් පැමිණ ඇත.  

අවස්ථාවන් කිහිපයක දීම දුර්ලභ එක්දින ද්විත්ව ශතක ද වාර්තා කරගෙන සිටින Rohit සිය ක්‍රිකට් අනාගතය වෙනස් කිරීම වෙනුවෙන් Dhoniට ණයගැති වන බව නොඅනුමාන ය. 

Hindustan Times ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<