සුනිල සංග්‍රාමයේ පළමු ඉනිමේ ජය ධර්මාශෝකයට

54 වැනි සුනිල සංග්‍රාමය

107
Dharmasoka College vs Sri Devananda College

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවති 54 වැනි සුනිල සංග්‍රාමය අද (02) නිමාවට පත් වුනේ ජය පරාජයෙන් තොරවයි.

අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කරමින් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හැකි වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පළමු ඉනිම පන්දුවාර 57.1ක් අවසානයේ ලකුණු 194කට සීමා වුනා.

දේවානන්දය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ විහඟ මලිත් පන්දු 77ක් තුළ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා.

කණ්ඩායම් නායක කවීෂ කළුපහන පන්දු 24ක් තුළ හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමඟ ලකුණු 33ක් ලබා ගනිද්දී, කවීෂ හංසක ලකුණු 24ක් සහ සිතුම් විහඟ ලකුණු 22ක් ලබා ගත්තා.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් සෙනිත හැලඹගේ සහ පැතුම් මලිත් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර චානක ජනංගන ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ධර්මාශෝක ක්‍රීඩකයින් පන්දුවාර 45.3ක් අවසානයේ ලකුණු 225කට සීමා වුනත්, දේවානන්ද ක්‍රීඩකයා අබිබවා පළමු ඉනිම ජය ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ධර්මාශෝක කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චානුක ජයශ්‍රී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වූ අතර මානස ද සිල්වා ලකුණු 42ක් රැස් කළේ පන්දු 45ක් තුළයි.

එම ක්‍රීඩකයින්ට අමතරව රන්දුල් සමරහේවා පන්දු 19ක් තුළ ලකුණු 32ක් සහ නායක සෙනිත හැලඹගේ ලකුණු 28ක් ලබා ගෙන සිය කණ්ඩායමට දායකත්වය සැපයුවා.

දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී මිතිල ප්‍රනාන්දු ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර මයුර මල්ෂාන් සහ කවීෂ කළුපහන අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ශ්‍රී දේවානන්ද ක්‍රීඩකයින් සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 41.4ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටවීමට තීරණය කළේ ධර්මාශෝක ක්‍රීඩකයින්ට ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනුයි.

දේවානන්දය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කවීෂ කළුපහන පන්දු 42ක් තුළ ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූ අතර මයුර මල්ෂාන් පන්දු 58ක් තුළ ලකුණු 36ක් ලබා ගත්තා.

ධර්මාශෝකය වෙනුවෙන් දෙවැනි ඉනිමේත් අගනා පන්දු යැවීමක නිරත වූ සෙනිත හැලඹගේ ලකුණු 40ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර ඉශාන් අනුරුද්ධ සහ අමිල අගස්ති කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය ධර්මාශෝක ක්‍රීඩකයින් දිනය අවසන් වන විට පන්දුවාර 4ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

  • ශ්‍රී දේවානන්ද පළමු ඉනිම – 194/10 (57.1) – විහඟ මලිත් 54, කවීෂ කළුපහන 33, පැතුම් මලිත් 3/41.
  • ධර්මාශෝක පළමු ඉනිම – 225/10 (45.3) – චනුක ජයශ්‍රී 47, මනස ද සිල්වා 42, මිතිල ප්‍රනාන්දු 3/27.
  • ශ්‍රී දේවානන්ද දෙවැනි ඉනිම – 146/8d (41.4) – කවීෂ කළුපහන 55, මයුර මල්ෂාන් 36, සෙනිත හැලඹගේ 4/40.
  • ධර්මාශෝක දෙවැනි ඉනිම – 36/2 (04)

තරගය ජය පරාජයෙන් තොරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<