ගුරාට අකුරු වැරැද්දූ “වාසි”

311

ඔබ වැඩි කල් ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන්නේ නැහැ”

MRF ක්‍රිකට් ඇකඩමියේ දී ඔහුගේ පන්දු යැවීමේ ගුරුවරයා වූ ඩෙනිස් ලිලී ඔහු ගැන සිතූ ආකාරයයි.

ටෙස්ට් තරග 111යිකඩුලු 355යි. එක්දින තරග 322යි, කඩුලු 400යි.

ඒ ඔහු ජාත්‍යන්තර තරග දිවියෙන් සමුගන්නා දිනය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්වා තිබූ දක්ෂතාවයයි.

වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසෆ් චමින්ද වාස්….

නැතිනම් රොමේෂ් කළුවිතාරණ කඩුල්ල පසුපස සිට ඔහුව හැඳින්වූ පරිදි “වාසි”

පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමේ විශේෂඥයෙකු වූ වාස්, ක්‍රිකට් පිටියේ ප්‍රබලයන් වූ සචින් තෙන්දුල්කාර්, ස්ටීවන් ෆ්ලෙමින්, ඇලෙස්ටෙයාර් කුක් වැනි විශිෂ්ට පිතිකරුවන්ව තම ග්‍රහණයට හසුකරගත්තේ එක්වරක් දෙවරක් නොවේ. පිතිකරුවාටවත් නොදැනෙන්නට සූක්ෂම අයුරින් කඩුලු දඩයමේ යෙදුණ නිසා එකල විචාරකයන් වාස්ව හඳුන්වනු ලැබූවේ Doctor Death (මරණයේ වෛද්‍යවරයා) යන අන්වර්ථ නාමයෙනි.

ඔහුගේ සුවිශේෂී හැකියාවන් නිසා එකල එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ කණ්ඩායම් හතරක්ම වාස්ව තම කණ්ඩායමට එක් කරගැනීමට තීරණය කිරීම විශේෂය. එම කණ්ඩායම් වන්නේ  Hampshire,  Middlesex, Northamptonshire හා Worcestershire යන කණ්ඩායම් හතරයි. එසේ කණ්ඩායම් හතරක්ම තමා තෝරාගැනීම ගැන වාස් දක්වන්නේ මෙවැනි අදහසකි.

මගෙ පන්දු දෝලනය කිරීමේ හැකියාව, එක එල්ලයකට පන්දු යැවීම වගේ හේතු නිසා ඔවුන් මාව තෝරාගන්න ඇති. ප්‍රාන්ත තරගවල ක්‍රීඩා කරන කාලයේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. වෘත්තීමය ක්‍රීඩකයෙක් විදිහට එයාල මගෙන් 100%ක් බලාපොරොත්තු වෙනවා. එහේදි මම ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් තමයි එක දවසට ඕවර් 30ක් 35ක් දාන්නෙ කොහොමද කියන එක. සතියෙ දවස් හතෙන් දවස් හයක්ම අපි කළේ තරග සෙල්ලම් කරන එක. 

වේගපන්දු යවන්නෙකුට කවදාවත් ශාරීරික යෝග්‍යතාවය 100%ක් තියාගෙන ගහන්න බෑ. අනිවාර්යයෙන් ඇඟේ කොහෙ හරි වේදනාවක්, කැක්කුමක් තියෙනවා. ඒ වේදනා, අමාරුකම් තියාගෙන සෙල්ලම් කරන්න වේගපන්දු යවන්නෙක් පුරුදු වෙන්න ඕන.

වාස් ටෙස්ට් වරම් ලබන්නේ 1994 වසරේ දී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ය. එම තරගයේ දී වාස් සමඟින් රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ සංජීව රණතුංග යන දෙදෙනා ද ටෙස්ට් වරම් දිනා ගන්න ලදි. වාස් සහ පුෂ්පකුමාර යන දෙදෙනාම ඉන්දියාවේ මදුරාසි නුවර පවත්වන ලද MRF වේගපන්දු පුහුණු ඇකඩමියේ පුහුණුව ලැබූ ක්‍රීඩකයන් වන අතර එහි දී ඔවුන් ලෝක පූජිත වේගපන්දු යවන්නෙකු වූ ඩෙනිස් ලිලී යටතේ පුහුණුව ලැබීමට සමත් වූහ. 

ලිලීගේ අදහස අනුව ඒ වකවානුවේ පුෂ්පකුමාර ඉතා හොඳ වේගපන්දු යවන්නෙකු වූ අතර වාස්ට එහි දී එතරම් පිළිගැනීමක් ලැබී තිබුණේ නැත.

ලිපිය ආරම්භයේ සටහන් කර ඇති ලිලීගේ ප්‍රකාශය වෙනත් ක්‍රීඩකයෙකු හට පැවසූවා නම් බොහෝ විට ඔහු මානසිකව ඇද වැටී ක්‍රිකට් දිවිය හමාර කරගන්නට ඉඩ තිබුණි. නමුත් වාස් එම ප්‍රකාශය ආශීර්වාදයක් බවට පෙරලාගත්තේය. ඒ ප්‍රකාශය පිළිබඳවත්, පුෂ්පකුමාර ගැන ඔහු දරන අදහසත් පිළිබඳව ඔහු සඳහන් කරන්නේ මෙසේයි.

පුෂ්පකුමාර හැකියාව අතින් 100%ක් මට වඩා ඉදිරියෙන් හිටියේ. ඔහු ලංකාවෙ හිටපු දක්ෂතම පන්දු යවන්නෙක්. අපි MRF එකේ ඩෙනිස් ලිලී එක්ක පුහුණු වීම් කටයුතු කරන කොට ඔහුට ඒ කාලෙ ලිලී කියන ඕනෑම පන්දුවක් යවලා පෙන්නන්න පුළුවන්. හැකියාව කියන එක ඔහුට උපරිම තිබුණා. 

නමුත් මට හැකියාවට වඩා උනන්දුව තිබුණා. මම හැමවෙලාවකම ඩෙනිස් ලිලී ගාවට ගිහින් කතා කරල ඉගෙන ගන්නවා. 

මට මතකයි එක අවස්ථාවක දී අපි පන්දු යවලා ඉවර වුනාම අපේ පන්දු යැවීමේ ඉරියව් පරිගණකයට දාලා විශ්ලේෂණය කරල බැලුවා. ඒ පන්දු යැවීමේ ඉරියව් බලන ගමන් මගෙ එක දැකපු හැටියෙම එකපාරට ඩෙනිස් ලිලී මට කිව්වා ඔයාට වැඩිකල් ලංකාවට ගහන්න බෑ කියල. 

නමුත් එදා මට ඇති වෙච්ච දුක මම ඩෙනිස් ලිලී එක්ක චැලෙන්ජ් එකක් හැටියට ගත්තා. ඩෙනිස් ලිලී කියපු එක වැරදියි කියල පෙන්නන්න තමයි මට ඕන වෙලා තිබුනෙ. එදා ඉඳල මම හිතුවා මං මහන්සි වෙනවා, මං කැපවෙනවා, හැකියාවයි මහන්සියයි දෙකම තියෙනවා නම් ගොඩක් දුර යන්න පුළුවන් කියලා”

එසේ තම ගුරුවරයාගේ ප්‍රකාශය අභියෝගයක් වශයෙන් භාර ගත් වාස් තම ක්‍රීඩා දිවිය අවසන් කළේ ටෙස්ට් තරග 100කට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කර අවසානයේ ය. මේ සඳහා වාස්ට උපකාර වූයේ අදිසි බලවේගයක් හෝ වෙනත් කිසිවක් නොව ඔහුගේම උනන්දුව හා කැපවීම නිසාය.

චමින්ද වාස්ගෙ සාර්ථකත්වයට හේතුව චමින්ද වාස්මයි.”

වාස් එසේ පවසන්නේ මද සිනහවක් ද සමඟිනි.

තමාගේ සාර්ථකත්වය ගුරුවරයා හා බෙදා ගත් අයුරුත්, එයට ගුරුවරයා දැක්වූ ප්‍රතිචාරයත් වාස් සිහි කරන්නේ මෙලෙසිනි.

ඊට පස්සෙ මට ඩෙනිස් ලිලීව තුන් වතාවක් මුණගැහිල තියෙනවා. එක් වතාවක් මම ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කළාට පස්සෙ. මං එතකොට ගිහින් කතා කළාම ඔහු කිව්වා බොහොම හොඳයි, ඔහොම කරගෙන යන්න කියලා.

ඊට පස්සෙ ටෙස්ට් තරග 60ක් ක්‍රීඩා කළාමත් මට හම්බුනා. එදා ඔහු මගෙ පිටට තට්ටුවක් දාල කිව්වා ගොඩක් හොඳයි. ඔයාව අගය කරන්න ඕන කියලා. 

ටෙස්ට් මැච් 100ක් ගැහුවමත් මං ගිහින් හම්බුණා. එදා ඔහු මාව බදාගෙන කිව්වා ඔයාගෙ මහන්සිය, ඔයාගෙ කැපවීම නිසා ඔයාට ඒක ලැබුණා. ඔයා විශේෂිත ක්‍රීඩකයෙක් කියලා. මං කිව්වා සර්, මං එදා ඒ කතාව සර්ගෙන් ගත්තෙ චැලෙන්ජ් එකක් හැටියට. තරහවකට නෙවෙයි කියලා. මට ඕන වුනේ හැකියාවයි, මහන්සියයි, කැපවීමයි එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් කියල පෙන්නන්න. ඉතින් මං ඒක කළා.

 

කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ඔහුය. දැඩි හිරුරැස් පතිත වන පරිසරයක …….

වසර 49ක් පැරණි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ද චමින්ද වාස් ය. ඒ 2001 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් දවා ගැනීමේ වාර්තාවයි. එම තරගයේ දී වාස්ට යවන්නට හැකි වූයේ පන්දුවාර 8ක් පමණි. ඒ පිළිබඳව වාස් සිහි කරන්නේ මෙසේය.

මං හිතන්නෙ මං ඕවර් 8ක් දාල හිටියෙ. විශේෂයෙන්ම මං කඩුලු 10ක් ගන්නවට වඩා අපි බැලුවෙ ප්‍රතිවාදී කණ්ඩායම ඉක්මනින් දවා ගැනීම. මට තව ඕවර් දෙකක් ඉතුරු වෙලා තිබුණා. 

නමුත් මුරලි අනිත් පැත්තෙන් ඇවිත් දාපු පලවෙනි බෝල දෙකේම කඩුලු දෙකක් ගත්තා. ඒක වෙනස් වෙන්න තිබුණා මම ඕවර් දහයම දැම්මා නම්. මට විකට් දහයම ගන්න තිබුණා. 

නමුත් මං හිතන්නෙ විකට් 10ට වඩා අපි තරගයක් ජයග්‍රහණය කිරීමත්, ඒ වගේම අඩු ලකුණු ගණනකට දවා ගැනීමත් තමයි මං එහි දකින විශේෂත්වය.”

මුරලි සහ වාස් යන දෙදෙනාම සමකාලීනයන් ය. ඔවුන් ක්‍රීඩා කරන අවධියේ වාස් පන්දු යවන බොහෝ අවස්ථාවල මුරලි  හා කලාප ආසන්නයේ රැඳී සිටිමින් වාස් හා නිතරම කතාබස් කරන ආකාරය එකල සුලබව දකින්නට තිබූ දසුනකි. මුරලිට ඇතැම් අවස්ථාවල තදින් කේන්ති යන නිසා ඔවුන් දෙදෙනා අතර වාද විවාද හෝ බහින්බස් වීම් ඇති වී තිබේ ද? ඒ පිළිබඳව වාස් මෙසේ පවසයි.

ගොඩක් වෙලාවට බහින් බස් වෙලා නෑ. එයා මගෙ ළඟමයි ඉන්නෙ ඇවිල්ලා. විශේෂයෙන්ම ඉන්දීය තරග ක්‍රීඩා කරද්දි, ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව් තරග ක්‍රීඩා කරද්දි. මොකද ඒ රටවල ක්‍රීඩකයන් ගත්තොත් මං හිතන්නෙ ඉන්දියාවෙ සචින් ටෙන්ඩුල්කාර්, ශෙවාග් වගේ පිතිකරුවන් පිටියේ ඉන්න වෙලාවට මුරලි මගේ ළඟට ඇවිත් මගෙ කන කන එකමයි කරන්නෙ. 

(සිනාසෙමින්) කියන්නෙම අවුට් කරන්න, අවුට් කරන්න කියන එක. මුරලි කියන පුද්ගලයට ලකුණු පුවරුවෙ ලකුණු 300ක් තිබුනත් මදි. ඔහු හැමවෙලේම කියන්නෙ සචින්ව අවුට් කරල දෙන්න, ශෙවාග්ව අවුට් කරල දෙන්න කියලා. 

ඉතින් වේගපන්දු යවන්නෙක් හැටියට මගෙ පළවෙනි කාර්යය තමයි පළවෙනි පන්දුවාරය යවන එක. ගොඩක් අවස්ථාවල දී මම සචින්ව, ශෙවාග්ව අවුට් කරල තියෙනවා. මං හිතන්නෙ ඒ ගැන මුරලි ගොඩක් සන්තෝස වෙනවා. මොකද මුලින් කඩුලු ගත්තම ඔහුට පන්දු යවන්න තියෙන පීඩනය අඩු වෙනවා. ඉතින් ඒක තමයි ඔහු හැම වෙලේම ළඟටම ඇවිදින් මාත් එක්ක කතා කර කර කියන්නෙ හොඳ පිතිකරුවො ඉද්දි මට අවුට් කරල දෙන්න කියලා.  

ටෙස්ට් තරග 100කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ද ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාවක් වාස්ට හිමි වූයේ නැත. 2006 වසරේ කුසලාන තරගාවලිය තුළ දී එක් තරගයක් වෙනුවෙන් නායකත්වය දැරීමේ අවස්ථාව වාස්ට හිමි වුවද ඉන් අනතුරුව ඔහුව නායකත්වයෙන් ඉවත් කරන ලදී. තමාට ටෙස්ට් නායකත්වය නොලැබීම පිළිබඳව වාස් දරන්නේ මෙවැනි අදහසකි.

අපි කියනවා රටේ නායකයෙක් වෙන්න නම් කැම්පේන් කරන්න ඕන කියලා. මගෙ ජීවිතේට මම කැම්පේන් කරල නැහැ. 

මට මතකයි 2000 වර්ෂයෙදි ඒකාලෙ හිටපු නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරිය මහත්මයා මගෙන් අහනවා ඔයා ලෑස්ති ද රටේ නායකත්වය දරන්න කියලා. මං කිව්වා ඔව් මම ලෑස්තියි නායකත්වය දරන්න කියලා. ඊළඟට එතුමා මගෙන් අහනවා ඔයා මොනවද ලංකාවෙ ක්‍රිකට්වලට කරල තියෙන්නෙ කියලා. මං උඩ ගියා එක පාරටම. මං ඇහුවා ඔබතුමා මොකක්ද ඒකෙන් අදහස් කළේ කියලා. එතකොට එතුමා ආයෙත් ඇහුවා නෑ ඔබතුමා මොනවද ක්‍රිකට්වලට කරල තියෙන්නෙ කියලා. මං කිව්වා ක්‍රීඩකයෙක් හැටියට පන්දු යවලා විකට් අරන් තියෙනවා. පන්දුවට පහර දීලා ලකුණු අරන් මැච් දිනවලා තියෙනවා. තවත් මොනවද කියලා.

එදා තමයි එතුමා මට කිව්වෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට නායකයෙක් වෙන්න නම් ඔය දේවල් මදි. රටේ නායකත්වය දරනවා නම් කැම්පේන් කරන්න ඕන කියලා. මට එදා තමයි ජීවිතේ පළවෙනි වතාවට මේ කැම්පේන් කියන වචනෙ ඇහුනෙ. 

ඊට පස්සෙ එතුම මගෙන් ඇහුව මට සහෝදරයෝ ඉන්නව ද කියල. මං කිව්ව ඔව් මට සහෝදර සහෝදරියො ඉන්නවා කියලා. පස්සෙ එතුමා කිව්වා ඔවුන්ට කියන්න කැම්පේන් එක පටන් ගන්න කියලා. මං එතුමට එදා කිව්වා මගෙ ජීවිතේටවත් මං කැම්පේන් කරන්නෙ නෑ කියලා. එතකොට තමයි එතුමා කිව්වෙ ඔයාට නායකත්වයෙ සුදුසුකම ලැබෙන්නෙ නෑ කියලා. ඒ වෙනකොට අනෙකුත් ක්‍රීඩකයෝ ඔය කියන කැම්පේන් මාලාවට සැරසිලා හිටියෙ. 

නමුත් 2006 දී මට නායකත්වය ලැබුනම මම මහින්ද බාලසූරිය මහත්මයාට කතා කරල කිව්වා මට නායකත්වය ලැබුණා කියලා. එතකොට එතුම මට කිව්වෙ ඕක වැඩිකල් තියෙන එකක් නෑ කියලා. ඒක මම දැනගෙන හිටියෙ නෑ. 

ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම එක දෙයක් දන්නවා. නායකයෝ ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් පිටිය ඇතුළට ගියාම තමන් තමයි හොඳම නායකයා. මම තමයි තරගයේ පළමු පන්දුව යවන්නෙ. මම තමයි තරගයේ ස්වභාවය වෙනස් කරන්නෙ. තරගයට රිද්මයක් ලබා දෙන්නෙ. ඉතින් මම හිතන්නෙ මම තමයි හොඳම නායකයා කියලා. 

නමුත් නායකයෝ ගොඩක් එක්ක මම ක්‍රීඩා කරල තියෙනවා. මට එහෙම ලොකු ආසාවක් තිබුනෙ නෑ නායකත්වය දරන්න. නමුත් මම ඒ ක්‍රීඩා කරපු විලාශය, කඩුලු ගත්ත විදිහ, ලකුණු ගත්ත විදිහ එක්ක වගකීමක් ලැබුණ නම් ඊට වඩා සෑහෙන්න යමක් කරන්න තිබුනා. මට දැන් හිතෙන්නෙ එහෙම. නමුත් මම ඒවා පැත්තකින් තියලා ක්‍රීඩකයෙක් හැටියට මගෙ දායකත්වය කණ්ඩායමට ලබා දුන්නා.

 

වාස්ට නායකත්වය නොලැබීමට එක් හේතුවක් වූයේ ඔහු වේගපන්දු යවන්නෙකු වීම නිසායැයි ඇතැම් පුද්ගලයන් පැවසූ අතර එහි සත්‍යතාවය පිළිබඳව වාස් දරන්නේ මෙවැනි මතයකි.

ලංකාවෙ ගොඩක් අය හිතන්නෙ වේගපන්දු යවන්නෙක් වුනාම ඔළුවක් නෑ, වැඩියෙ හිතන්නෙ නෑ කියලා. පිතිකරුවන්ට තමයි නායකත්වය දුන්නෙ. ඒක මිනිස්සු හිතන විදිහ. නමුත් අපි දැකල තියෙනවා ලෝකය ගත්තොත් හොඳම නායකයෝ ඉඳල තියෙනවා වේගපන්දු යවන්නො. ඉතින් මං දන්නෙ නෑ අපේ රටේ විතරක් ඕක වෙනස් වෙන්නෙ කියන එක.

වාස් ක්‍රීඩා කළ අවධිය හා සසඳා බලන විට වර්තමානයේ වේගපන්දු යවන්නන් වැඩි වශයෙන් ආබාධයට ලක්වීම ඉතා සුලබ කරුණකි. ඒ පිළිබඳව වාස්ගේ අදහස මෙසේය.

අද වේගපන්දු යවන්නො පුහුණු වීම් වල පන්දු යවන ප්‍රමාණය ගොඩක් අඩුයි. අද ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂඥ පුහුණුකරුවෝ ගොඩක් ආදේශ වෙලා තියෙනවා. ඔවුන්ගේ උපදෙස් එක්ක තමයි දැන් අපි වේගපන්දු යවන්නෙක්ව බලාගන්නෙ. භෞත චිකිත්සක කියන විදිහට තමයි අද අපිට පන්දු යවන්න වෙලා තියෙන්නෙ. 

ඉස්සර ඔය දේවල් තිබුණේ නෑ. ඉස්සර අපිට හිටියෙ ඇලෙක්ස් කුන්ටෝරි. එයා ඉන්න කොට අපි කළේ පන්දු යවපු එක තමයි. 

 

මම ඔහුට ගරු කළා; ගේල් අපේ නම්වලට කැළලක් ඇති කළා

හිටපු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැමෙයිකා …….

මට මතකයි 94 මම කණ්ඩායමට එද්දි ඒ කාලෙ පුහුණු වීම් කරන කොට මම පුහුණු දැල් ඇතුලෙ මුලින්ම පිතිකරුවන් හය දෙනෙකුට හත් දෙනෙකුට පැය එක හමාරක් විතර එක දිගට පන්දු යවනවා. ඊට පස්සෙ ටික වෙලාවක් පිතිකරණයේ යෙදිලා ආයෙමත් තවත් අය පන්දුවට පහර දෙන්න පුහුණු වෙනවා නම් ඒ අයටත් පන්දු යවනවා. ඕකම තමයි ක්‍රීඩා සමාජෙට ගියාමත් කරන්නෙ. 

වේගපන්දු යවන්නෙක්ගෙ හැමදේම තියෙන්නෙ මාංශ පේෂි තුළ තැන්පත් කළ මතකය (Muscle Memory) ඇතුලෙ. එහෙම තියෙන කොට ආබාධයට ලක්වෙන එක අවම වෙනවා. දැන් වෙලා තියෙන්නෙ අපි ඕවර් පහක් හයක් දාල විවේක ගන්නවා. හැබැයි තරගයට ගියාම අපිට ඊට වඩා පන්දු යවන්න වෙනවා, ටෙස්ට් තරගයක් නම් පන්දුවාර 25ක් 30ක් යවන්න වෙනවා. ඒකයි එංගලන්තෙ ප්‍රාන්ත තරග ක්‍රීඩා කරන කොට ලැබෙන හොඳම දේ. ඕවර් 20ක් 25ක් දාල නවත්තන්න බෑ. දවසට ඕවර් 35ක් දාන්න වෙනවා. ඒ අත්දැකීමෙන් තමයි වේගපන්දු යවන්නෙක්ට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්නෙ. 

අපි ලෝකෙ ගත්තොත් හොඳින්ම පන්දු යවල තියෙන වේගපන්දු යවන්නො පුහුණු වීම් වලදි වැඩි ප්‍රමාණයක් පන්දු යවපු නිසා තමයි ඔවුන් සාර්ථක වෙලා තියෙන්නෙ.

වාස් ක්‍රීඩා කරන සමයේ පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් හා ඉතා සමීප සබඳතාවයක් පැවැත්වූ බව සියලු දෙනා හොඳින් දන්නා කරුණකි. වාස්ට පන්දුව දෝලනය කිරීම, පන්දු යැවීම වැනි කුසලතා දියුණු කරගැනීම සඳහා වසීම් අක්‍රම් උපකාර කරන ලදී. දෙදෙනාම වමත් වේගපන්දු යවන්නන් වීම ද මෙහි දී වාස්ට වාසිදායක අයුරින් බලපෑම් එල්ල කරන්නට ඇත. වසීම් අක්‍රම් සමඟ තිබූ සබඳතාවය පිළිබඳව වාස් මෙනෙහි කරන්නේ මෙසේය.

වසීම් අක්‍රම්ගෙන් මට ගොඩක් උපදෙස් ලැබුණා. ඔහු මට නිතර කියපු දෙයක් තමයි පුහුණුවීම් වලදි අඩුගානෙ ඕවර් තුනක්, හතරක් තමන්ගෙ 100%ක උපරිමය දෙන්න කියන එක. එතකොට තමයි ඒ පුහුණුව තමන්ගෙ එකට යන්නෙ. පුහුණුවීම් වල කරන දේ තරගය ඇතුලට ගෙනියන්න කියන එක තමයි ඔහු කිව්වෙ. ඒක තමයි මම ඔහුගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නා වන චමින්ද වාස් ජාත්‍යන්තර තරග බිමේ වසර 15ක් රැඳී සිටිමින් ජාත්‍යන්තර කඩුලු 761ක් දවා ගැනීමට සමත් විය. ඒ අතරේ දී කිසිදා නොබිඳෙන ලෝක වාර්තා කිහිපයක්ම තමාගේ නම ඉදිරියෙන් සටහන් කරගන්නට ඔහුට හැකියාව ලැබුණි. 

වාස්ගේ ක්‍රීඩා දිවිය දෙස හැරී බලන්නෙකුට ඉන් තම ජීවිතයට එකතු කර ගත හැකි වැදගත්ම කරුණ වන්නේ ඔහු තමා ඉදිරියේ ඇති අභියෝග හා ඉලක්ක ඉටු කර ගැනීමට අප්‍රමාණ වශයෙන් වෙහෙසීම හා ඒ වෙනුවෙන් ඔහු කැප වූ ආකාරයයි. 

එසේ තම මහන්සියත් කැපවීමත් නිසා ලෝකයක් ජයග්‍රහණය කර ගුරුන්ටත් අකුරු වැරැද්දූ මේ විශිෂ්ටයා හට ThePapare.com අපි දීර්ඝායුෂ පතන්නෙමු..

වාස්.. ඔව් ඔහු පුරාවෘතයක්!

(චමින්ද වාස් ThePapare.com සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.)

 

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<