Commonwealth Games ක්‍රිකට් තරග සඳහා දින තීන්දුයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

138

2022 වසරේ එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ (Commonwealth Games) ක්‍රිකට් තරග ඉසව්වට අදාළ තරග පැවැත්වෙන දින මේ වන විට එහි සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා කාන්තා විස්සයි විස්ස ඉසව්වක් පමණක් ඇතුළත් කර ඇති අතර, එම තරග ලබන වසරේ ජූලි 29 වැනිදා සිට අගෝස්තු 7 වැනිදා දක්වා Edgbaston ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

මේ සඳහා සත්කාරක එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව යන රටවල් 6 කණ්ඩායම් සෘජුවම සුදුසුකම් ලබාගෙන තිබෙන අතර තවත් රටවල් දෙකක් මේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තරග වදිනු ලබනවා.

පසුගිය අප්‍රේල් 1 වැනිදා වන විට ICC කාන්තා පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසු වූ බැවින්, ඔවුන් ඒ සඳහා සෘජුව සුදුසුකම් ලබා ගෙන නැහැ.

කෙසේ නමුත් ඒ සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනු කොදෙව් දූපත්වලට අයත් නොවන කණ්ඩායම් වෙනුවෙන් එක් තරගාවලියක් සහ කොදෙව් දූපත්වලට අයත් රටවල් වෙනුවෙන් තවත් තරගාවලියක් ලෙස සුදුසුකම් ලබා ගැනීමේ තරගවලි දෙකක් පවත්වා එහි ශූරතාව දිනා ගන්නා කණ්ඩායම් දෙක 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයගතහොත් පමණක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.

එම සුදුසුකම් ලබා ගැනීමෙන් තරගාවලි දෙක ලබන වසරේ ජනවාරි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු නමුත්, එය පැවැත්වෙන රටවල් හෝ දින වකවානු පිළිබඳව එහි සංවිධායකයින් විසින් තවමත් නිල දැනුම් දීමක් සිදු කොට නැහැ.

රටවල් 8ක් සහභාගී වන මේ තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 29 වැනිදා සිට අගෝස්තු 4 වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග අගෝස්තු 6 වැනිදා ද, අවසන් තරගය සහ ලෝකඩ පදක්කම සඳහා වන තරගය අගෝස්තු 7 වැනිදා ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

22 වැනි වරට පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ලබන වසරේ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<