කසුන් ගුණවර්ධන අතින් පයින් “හොඳ” වැඩ

302

ජුනි 22-25 දිනවල ඉතාලියේ වැනීසියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බොක්සිං සංගමයේ මුආයි තායි ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ශ්‍රී ලාංකික තරගකරුවන් තෝරා ගැනීමේ ආධුනික තරග පසුගිය ඉරිදා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ආධුනික තරගවල දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නටාලි ද සිල්වා තේරී පත්වූ අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස කසුන් ගුණවර්ධන (හඟුරන්කෙත මුආයි තායි සංගමය) තේරී පත් වුනා. “මුආයි තායි පොඩ්ඩා” යන නමින් ජනප්‍රිය කසුන් ගුණවර්ධන මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබලතම යොවුන් මුආයි තායි ක්‍රීඩකයායි.

Milco ආයතනය මගින් අනුග්‍රහය ලබන කසුන් ගුණවර්ධන ඉතාලියේ පවත්වනු ලබන WBC මුආයි තායි ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඔහුට වසර දෙකක කාලයක් පුරා Highland අනුග්‍රහය ලැබී ඇති අතර 2018 තායිලන්තයේ පැවති යොවුන් ලෝක ශූරතා මුආයි තායි බොක්සිං තරගාවලියේ රිදී පදක්කම දිනා ගත්තේ ඔහුයි.

2021 වසරේ තායිලන්තයේ පැවති ජාත්‍යන්තර ලෝක ශූරතා තායි බොක්සිං තරගාවලිය සඳහා ඉදිරිපත් වූ කසුන් ගුණවර්ධන එහි දී ලෝකඩ පදක්කමක් දිනූ අතර ඒ සඳහා අනුග්‍රහය දැක්වූයේ ද Milco ආයතනයයි. මෙතෙක් ජාත්‍යන්තර ජයග්‍රහණ වැඩිම ප්‍රමාණයක් දිනා ගත් ශ්‍රී ලංකා මුආයි තායි ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

ඔහුගේ පුහුණුකරු ජමිත ගයාන් පවසන්නේ ඒ සියලු ජයග්‍රහණ වෙනුවෙන් මිරාන් නිලංගන මැතිතුමාටත්, Highland සන්නාමයටත් ස්තුතිවන්ත වන බවයි.

මීට අමතරව Milco ආයතනය මගින් නිමේෂා ලසන්ති ක්‍රීඩිකාවට ද අනුග්‍රහය දක්වනවා. ඇය මෙම තරගාවලියේ රන් පදක්කම ලබා ගැනීමට සමත් වුවත්, මෙතෙක් ඇය ඉතාලියේ පවත්වනු ලබන ජාත්‍යන්තර WBC ශූරතාව සඳහා සුදුසුකම් ලබා නැහැ.

මීළඟ තේරීම් වටය සඳහා පිරිමි සහ කාන්තා විවිධ කාණ්ඩ යටතේ රන් පදක්කම් ලාභීන් 16 දෙනෙකු තෝරා ගැනුණා. ඔවුන් අතරින් ජාත්‍යන්තර තරගවලට සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වීමට පස් දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මුආයි තායි නියෝජිත රොෂාන් දුමින්ද පැවසුවේ මෙතෙක් කලක් නොපැවැත්වූ මෙම තරග ආධුනික මට්ටමින් පවත්වන්නේ අනුග්‍රාහකයින්ගෙන් තොරව බවයි.

මෙය දැනට මෙලෙස පැවැත්වීමට තමන්ට හැකියාව ලැබී ඇතත් අනුග්‍රාහකයන්ගේ සහභාගීත්වය ඇත්නම් තවත් පියවරක් ඉදිරියට තැබීමට ඔහු සූදානම් බව ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවට මෙවර ජාත්‍යන්තර සම්මානයක් හිමිකර ගැනීමට අවස්ථාවක් ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<