ආසියානු බොක්සිං සම්මේලනයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක්

172
3 Sri Lankans in Asian Boxing Confederation

ආසියානු බොක්සිං සම්මේලනයේ (ASBC) කොමිසම් තුනකට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු තේරී පත්වී තිබෙනවා.

හේමන්ත වීරසිංහ විනිසුරුවරයෙකු සහ තීරකවරයෙකු වශයෙනුත්, ශ්‍යාමලී ප්‍රබුද්ධිකා ලොකුයද්දෙහිගේ කාන්තා අංශය වෙනුවෙනුත්, වෛද්‍ය තරංග අරුග්ගොඩ, වෛද්‍ය කොමිසම වෙනුවෙනුත් තේරී පත්වුනා.

හේමන්ත වීරසිංහ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ උප සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇති අතර ආසියානු බොක්සිං සම්මේලනයේ විනිසුරු සහ තීරක කොමිසමේ සහභාගීත්වය ලබා තිබුණේ 2015 වර්ෂයේ සිටයි. 1986 දී සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ද නියෝජනය කළ ඔහු Boxing Lion පදක්කම් ලාභියෙක්.

ශ්‍යාමලී ප්‍රබුද්ධිකා, ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) තරු දෙකේ විනිසුරුවරියක වන අතර 2021 සිට ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ කාන්තා කොමිසමේ සභාපතිවරියයි. ඇය ලේටන් කුසලාන ජයග්‍රාහිකාවක මෙන්ම කරාටේ කළු පටි ලාභිනියක ද වනවා. ජාත්‍යන්තර තරගාවලි රැසක දී විනිසුරුවරියක වශයෙන් කටයුතු කර ඇති ඇය මේ වන විට ව්‍යාපාරිකාවක්.

වෛද්‍ය තරංග අරුග්ගොඩ, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ වෛද්‍ය කොමිසමේ සාමාජිකත්වය දැරුවේ 2018 සිටයි. නාවික හමුදා බොක්සිං සමාජයේ විනය කමිටුවේ සභාපතිවරයා ද ඔහුයි.

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ජාත්‍යන්තර බොක්සිං සංගම් තරගාවලියේ දී සහ තරගාවලි රැසක දී බොක්සිං වළල්ල අසල වෛද්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කරනවා.

ඔවුන් සියලු දෙනාටම ශ්‍රී ලංකා නම බබළවන්නට ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<