ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වඩාත්ම උණුසුම් වනු ඇතැයි බලාපොරොත්තුවක් තැබිය හැකි සහ ඉතාමත් තීරණාත්මක තරගයක් හෙට (12) ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන්නේ වේල්සයේ කාර්ඩිෆ් නුවර, සොෆියා ගාර්ඩ්න් පිටියේ දී යි. මේ එම තරගයේ පෙර විමසුමයි.
ශ්‍රී ලංකාව හා පකිස්තාන කණ්ඩායම රැඳී සිටින මූලික කාණ්ඩය B කාණ්ඩය වන අතර, මෙම කාණ්ඩයේ ඉතාමත් ප්‍රබල කණ්ඩායම් 4ක් සිටියි. පසුගිය 8 වන දා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර, දකුණු අප්‍රිකාව හා පකිස්තානය අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට පකිස්තානු කණ්ඩායම සමත් විය. ඒ අනුව ජයග්‍රාහී මානසික මට්ටමකින් යුතුව ශ්‍රී ලංකාව හා පකිස්තානය යන කණ්ඩායම් ද්විත්වයම මෙම තරගයට අවතීර්ණ වෙනු ඇත.
ඉන්දු – ශ්‍රී ලංකා තරගයට මොකක් වෙයි ද?
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩාලෝලීන් අපේක්ෂාවෙන් පසුවන “ඉන්දු – ශ්‍රී ලංකා තරගය” හෙට (8) එංගලන්තයේ ලන්ඩන් නුවර, ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත යි.
මුහුණට මුහුණ
ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 147කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 84ක ජය පකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 58ක් පමණි. තවද එයින් තරග 4ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වන විට, තවත් එක් තරගයක් ලකුණු සම වී අවසන්ව ඇත.
දැනට නිමා වී ඇති ශූරයින්ගේ කුසලාන තරගාවලි 7 තුල දී ම පකිස්තානය හා ශ්‍රී ලංකාව එකිනෙකා මුණ ගැසී ඇත්තේ, තරග තුනක දී පමණක් වන අතර, ඉන් එක් තරගයක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී පකිස්තානය තරග දෙකක් ජයග්‍රහණය කර ඇත. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම 2002 වර්ෂයේ දී ශූරයින්ගේ කුසලානයේ සමශූරතාවය ජයග්‍රහණය කර ඇති අතර, පකිස්තානය කිසිදු අවස්ථාවක දී ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයකට මෙතෙක් සුදුසුකම් ලබාගෙන නොමැත.
[rev_slider ct17-dsccricket]
දෙපිලේ ප්‍රහාරාත්මක තරු
මොහොමඩ් හෆීස්

ඇන්ජලෝ මැතිව්ස්

ශොයිබ් මලික්

දිනේෂ් චන්දිමාල්

ප්‍රබල පන්දු යවන්නන්
ලසිත් මාලිංග

ජුනෙයිඩ් කාන්

තිසර පෙරේරා

හසන් අලී

කාර්ඩිෆ් තණතීරුව, පිටිය හා කාළගුණය
ප්‍රේක්ෂකයින් 16,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයක දී මෙම පිටියේ දී මුණ ගැසී නොමැත.
තවද ශ්‍රී ලංකාව මෙම තණතීරුවේ දී ජාත්‍යන්තර එක්දින තරග 3කට මුහුණ දී තිබුණ ද කිසිදු තරගයක් ජයග්‍රහණය කර නැත. පකිස්තානය ද මෙම පිටියේ දී තරග 3කට සහභාගි වී ඇති අතර, ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර, තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට සවිමත් පිතිකරණයක් සතු නිසා මෙන්ම පසුගිය දා නිමා වූ ඉන්දීය තරගයේ ප්‍රතිඵලය දෙස බලන විට, මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත් පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.
කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කළ විට වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීමට ඇති සම්භාවිතාව ඉතාමත් අවම මට්ටමක පවතියි. තවද 15°C -17°C පමණ තරමක සීතල උෂ්ණත්වයක් කාර්ඩිෆ් අවට ප්‍රදේශය තුල තිබේ.
වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානු කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පකිස්තානුවන් දැනට (ජුනි 10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 3409ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 90ක් හිමි කර ගෙනයි. 7 වන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4513ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම වර්ෂ 2015ට පසුව එකදු ජාත්‍යන්තර එක්දින තරගයක දී හෝ එකිනෙකා මුණ ගැසී නොමැත. එබැවින් දෙපිලටම මෙය නවමු අත්දැකීමක් වන අතර, දෙපිලේ බොහෝමයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයන් දෙපිලේම ක්‍රීඩකයින් මනාව හඳුනා ගෙන නොමැත. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම මට්ටමක පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. තවද ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන අතර, ඒ කියමනට හොඳම නිදසුන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සාක්ෂි සහිතව පෙන්වා අවසන්ය.
අපේක්ෂිත සංචිතය
ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග.
පකිස්තානය – ශෆ්රාස් අහමඩ් (නායක), අසාර් අලී, ෆක්හාර් ස්මාන්, මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික්, බාබර් අසාම්, ඉමෑඩ් වසීම්, මොහොමඩ් අමීර්, හසන් අලී, ජුනයිඩ් කාන්, ශදබ් කාන්
පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තියුණු හා උණුසුම් තරගය හෙට (12) වේල්සයේ කාර්ඩිෆ් නුවර, සොෆියා ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වේ. එම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම මෙවර ශූරයින්ගේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට






















