වාර්තා අලුත් කරමින් රුමේෂ් සහ පසිඳු අවසන් වටයට

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය

258
Rumesh Tharanga Advanced the Finals

කොලොම්බියාවේ Cali හී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සහ පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් පිළිවෙළින් රුමේෂ් තරංග සහ පසිඳු මල්ෂාන් සහ මීටර් 400 කඩුලු පැනීම අවසන් පූර්ව තරගය නියෝජනය කරමින් ධනුක දර්ශන තරග බිමට පිවිසියා.

සිය ඉසව්වේ මූලික වටයේ පළමු තේරීම් තරගයට සහභාගී වූ රුමේෂ් මීටර් 70.68ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර ඔහුට එම තේරීම් තරගයේ දී හිමි වුනේ තෙවැනි ස්ථානයයි.

එම දස්කම සමඟින් රුමේෂ්, පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ මීටර් 69.93ක දස්කමක් දක්වමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ හෙල්ල විසි කිරීම ජාතික කනිෂ්ඨ වාර්තාව නැවත ලියවීම විශේෂත්වයක්.

තරංග සිය පළමු උත්සහයේ දී මීටර් 69.47 වාර්තා කළ අතර දෙවැනි උත්සහයේ දී මීටර් 70.68ක දුරක් වාර්තා කරමින් සිය හොඳම දක්ෂතාවය අලුත් කරන්නට සමත් වුනා. ඔහුට තෙවැනි උත්සහයේ දී වාර්තා කිරීමට හැකි වුනේ මීටර් 70.17ක දුරක් පමණයි.

රුමේෂ් මූලික වටයේ දැක්වූ දස්කම් මත ඔහු මූලික වටයේ තේරීම් තරග දෙක අවසානයේ සහභාගී වූ ක්‍රීඩකයින් අතර හයවැනි ස්ථානයේ රැඳෙමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

රුමේෂ්ගේ තරගයෙන් පසුව තුන් පිම්ම මූලික වටයේ පළමු තරගයට සහභාගී වූ පසිඳු එම මූලික තරගය මීටර් 15.73ක දස්කමක් දක්වමින් අවසන් කළේ පස්වැන්නා ලෙසයි.

එම දස්කම පසිඳු මෙතෙක් තුන් පිම්ම ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම දස්කම ලෙස සටහන් වීම ද විශේෂත්වයක්.

පිරිමි තුන් පිම්ම ඉසව්වේ අවසන් වටයේ පරිසාධන සීමාව වූ මීටර් 15.85ක දුර පසු කිරීමට පසිඳුට එහි දී නොහැකි වූවත් සමස්ත ක්‍රීඩකයින් අතරින් හයවැන්නා බවට පත් වෙමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට පසිඳුට හැකි වුනා.

එම තරගයන්ගෙන් පසුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) අලුයම පිරිමි මීටර් 400 කඩුලු පැනීම  ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා ධනුක දර්ශන සහභාගී වුනා.

පළමුවැනි අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වූ ධනුක හට මූලික වටයේ දැක්වූ දස්කමට පැමිණීමට නොහැකි වූ අතර තත්පර 51.59ක කාලයකින් තරගය අවසන් කළ ඔහුට හිමි වුනේ හත්වැනි තැනයි.

එම නිසාවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයින් 08 අතරට එකතු වීමට ඔහුට නොහැකි වූ අතර සමස්ත ක්‍රීඩකයින් අතර 18 වැනි ස්ථානය ලබා ගනිමින් ඔහු තරගය අවසන් කළා.

ඒ සමඟින් තරගාවලියේ ඊයේ (04) දිනට නියමිත තරග අවසන් වූ අතර ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (06) අලුයම රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම අවසන් තරගයට සහ පසිඳු මල්ෂාන් තුන් පිම්ම පැනීම අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<