ලොවක් බලා සිටි තරගයේ ජය ඉන්දියාවට

323
ESPN Cricinfo

ආසියානුකරයේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් දෙදෙනා වන ඉන්දියාව සහ පකිස්තානය අතර සීතල යුද්ධය අද (04) එංගලන්තයේ බර්මිංහැම් නුවර දී දිවා තරගයක් ලෙසින් ආරම්භ විය. කෙසේ වෙතත් තරගාවලිය ඇරඹීමටත් පෙර සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වුනු මෙම උණුසුම් ක්‍රිකට් සටන පහසුවෙන්ම ජය ගත්තේ ඉන්දියානු කණ්ඩායමයි. තරගයේ වීරයා සම්මානය වමත් පිතිකරු යුවරාජ් සිංට හිමි විය.

>>අම්ලා සහ තහීර් සිංහ බලාපොරොත්තු බොඳ කරයි

කාසියේ වාසිය ජය ගත් පකිස්තානු නායක සෆ්රාස් අහමඩ් බර්මිංහැම් තණතිල්ල ප්‍රථමයෙන්ම භාවිතා කිරීමේ අවස්ථාව ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායමට ලබා දුන්නේය. කෙසේ වෙතත් වරින් වර ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාව හේතුවෙන් ඉන්දියානු ඉනිම අද පන්දුවාර 48කට සීමා විය. නමුත් ඒ අතරතුර දී සුපිරි පිතිහරඹයක් ප්‍රදර්ශනය කළ ඉන්දියානුවන් කඩුලු 3කට ලකුණු 319ක් රැස් කරමින් පකිස්තාන කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් ලබා දීමට සමත් විය.

අද ඉන්දියානු ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම ද සුවිශේෂී සිදුවීමක් විය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පිටියට පිවිසි රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ලකුණු 136ක විශිෂ්ට ආරම්භයක් ඉන්දියානු කණ්ඩායමට ලබා දුන් අතර ධවාන් ඊට ලකුණු 68කින් දායක විය. තම 18 වැනි අර්ධ ශතකය ලෙසින් ඔහු ක්‍රීඩා කළ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය. මීට අමතරව යුවරාජ් සිං හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 53ක් රැස්කර ගත්තේය.

අද ඉන්දියානු ඉනිමේ නැංගුරම බවට පත්වුණු රෝහිත් ශර්මා පන්දුවාර 36ක් පුරාවට පිටියේ රැඳෙමින් ලකුණු 91ක් වාර්තා කළේය. පොයින්ට් හි සිට විදුලි වේගයෙන් පන්දුව කඩුලු රකින්නා වෙත යොමු කළ බාබර් අසාම්ගේ දක්ෂතාව නිසා දුවද්දී දැවී යාමකට හසු වුවද ඔහු ඒ වන විටත් ඉන්දියානු ඉනිමට දැවැන්ත ශක්තියක් එක්කොට තිබුණි. ඒ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි. කවදත් ඉන්දියානු කණ්ඩායමට තම උපරිමය ලබා දෙන නායක විරාත් කෝලි නොදැවී ලකුණු 81ක් රැස් කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 319ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. පන්දු 68කදී වාර්තා වුනු ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම කල්යල් මැන එල්ල කළ හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.

බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදි ‘සුපිරි’ තත්වයේ පන්දු යැවීමක් අද පකිස්තානු පන්දු යවන්නන්ගෙන් දකින්නට නොලැබුණු අතර ඉන් ප්‍රයෝජන ගත් හාර්දික් පාණ්ඩ්‍යා පන්දු 6ක දී නොදැවී ලකුණු 20ක් වාර්තා කර ගන්නට සමත් විය. පන්දු යැවීමේ දී ශදාබ් කාන් සහ හසන් අලි එක් කඩුල්ල බැගින් බිඳ දැමූහ. ඉන්දියානු මුල්පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා අද දෝනි, ජාදෙව් සහ ජඩේජාට වැනි ක්‍රීඩකයින්ට පිත්ත අතට ගැනීමටවත් අවශ්‍ය වූයේ නැත.

[rev_slider ct17-dsccricket]

පකිස්තානු ඉනිම ආරම්භ කර පන්දුවාර 5ක් ගත වීමටත් මත්තෙන් නැවතත් බර්මිංහැම් ක්‍රීඩාංගණයට වැසි වැටුණු නිසා දෙවැනි ඉනිම පන්දුවාර 41කට සීමා කිරීමට විනිසුරුවරුන් පියවර ගත්හ. ඒ අනුව ජයග්‍රහණය සඳහා පකිස්තානු කණ්ඩායමට හිමිවුණු ඉලක්කය 289කි. නමුත් නිරන්තරයෙන්ම කඩුලු බිඳ වැටීමත්, කිසිදු පිතිකරුවෙකු දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වීමත් නිසා පකිස්තානුවන්ට මෙම අභියෝගය ජය ගැනීමට හැකි නොවීය.

ඒ අනුව පකිස්තානු කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 4ක් අවසානයේ ලකුණු 164කට සීමා වූයේ මෙවර ශූරයින්ගේ කුසලානය ජය ගැනීමට ඇති අවස්ථාව අවම කර ගනිමිනි. පකිස්තාන ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වුණු අසාර් අලි පන්දු 65කින් ලකුණු 50ක් රැස් කළ ද එය මෙවන් දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යාමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. මොහොමඩ් හෆීස් ලකුණු 33යි. පකිස්තානු ඉනිමේ අවසන් කොටස උඩ පන්දු රැක ගැනීමේ පුහුණු සැසියක් ලෙසින් දිස්වුනු අතර දැවැන්ත සටනකින් තොරවම ලකුණු 124ක විශිෂ්ට ජයක් ඉන්දියාවට හිමි විය.

පන්දු යැවීමේ දී උමේෂ් යාදෙව් ලකුණු 30කට කඩුලු 3ක් බිඳ හෙලද්දී හාර්දික් පාණ්ඩ්‍යා සහ රවින්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. සමස්තයක් වශයෙන් ඉන්දියානු කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම පකිස්තානු කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසුවුනු අතර ඔවුන් මීළඟට මුහුණ දීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ ඕවල් හිදී පැවැත්වෙන තරගයටයි. එහි දී මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා සූදානම් වන ඉන්දියාව සහ තරගාවලියේ සජීවීව රැඳී සිටීමට පොර බදින ශ්‍රී ලංකාව අතර උණුසුම් සටනක් ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇත.

ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 319 (පන්දුවාර 48): රෝහිත් ශර්මා 91, විරාත් කෝලි 81*, ශිකර් ධවාන් 68, යුවරාජ් සිං 53, හාර්දික් පාණ්ඩ්‍යා 20*, ශදාබ් කාන් 1/52, හසන් අලි 1/70.

පකිස්තානය – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 33.4): අසාර් අලි 50, මොහොමඩ් හෆීස් 33, ශොයිබ් මලික් 15, සෆ්රාස් අහමඩ් 15, උමේෂ් යාදෙව් 3/30, හාර්දික් පාණ්ඩ්‍යා 2/43, රවින්ද්‍ර ජඩේජා 2/43.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට