ඩිල්ශාන් ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට ජය

345
Sri Lanka's Tillakaratne Dilshan raises the bat to celebrate the team's win after the World T20 cricket tournament match between Afghanistan and Sri Lanka at the Eden Gardens in Kolkata on March 17, 2016. / AFP / Dibyangshu SARKAR
තිළකරත්න ඩිල්ෂාන් සහ කණ්ඩායම අැෆ්ගනිස්තනය සමඟ පැවති තරගෙයන් පසු තම 20-20 ජය සමරමින් ©AFP

ඉන්දියාවේ පැවැත්වෙන 6 වන ලෝක කුසලාන පන්දුවාර 20 -20 තරඟාවලියේ 4 වන තරඟය අද (17) කොල්කටා නුවර දී  ශ්‍රී ලංකා  කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පළමු කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්විණි. කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ප්‍රථමයෙන් පිටියට පිවිස නූර් අලී හා මොහොමඩ් ශෙසාඩ් ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 12 ක සබඳතාවක් ගොඩනැගු අතර මොහොමඩ් ශෙසාඩ් ලකුණු 8 කට දවාලීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. පසුව පිවිසි අස්ගහර් සටන්කාසී හා නූර් අලී පිටියේ තරමක් ස්ථාවර වුවද පන්දුවාර 6 කට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගත හැකි වුයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 36 ක් පමණි.

අනතුරුව නූර් අලී ලකුණු 23 කට දැවී ගියේ රංගන හේරත් යැවූ විශිෂ්ට පන්දුවක් හමුවේය. ඔවුන්ට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ පිත්ත හසුරුවන අයුරු සිතා ගැනීමට අපහසු විය. 3 වන කඩුල්ල ලෙස තිසර පෙරේරා යැවූ පන්දුවකට කරීම් සාඩික් ලකුණු නොලබා දැවී යන ලදි. පන්දුවාර 10 ක් අවසානයේ ඔවුන්, කඩුළු 3 ක් දැවී ලකුණු 47 ගෙන අසීරු තත්ත්වයක පසුවිය. යළිත් ක්‍රියාත්මක වූ රංගන හේරත් තරඟාවලියේ ලකුණු අතර සිටි  මොහොමඩ් නබී ලකුණු  3 කට, කඩුල්ල මුවා කිරීමකට හසු කරමින් දවාලීමට සමත් විය. අනතුරුව පිටියට පිවිසි සමුයුල්ලා ශේන්වාරී සමඟ එක්වූ අස්ගහාර් සටන්කාසී ලකුණු 61 ක  සබඳතාවක් ගොඩනංවමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරඟකාරී ලකුණකට ගෙන ඒමට සමත් විය.

නුවන් කුලසේකර යැවූ පන්දුවකට සමුයුල්ලා ශේන්වාරී දැවි ගියේ පන්දු 14 කදී ලකුණු 31 ක් ගැනීමට 4 පහරවල් 3 ක් හා 6 පහරවල් 2ක් එල්ල කරමිනි. පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී සිටි අැෆ්ගනිස්තානුවන් ලකුණු  124 ක් ලබා සිටි අතර නායක අස්ගහාර් සටන්කාසී ශ්‍රී ලංකා පන්දුවලට වැරෙන් පහර පිට පහර එල්ල කරන ලදි.

තිසර පෙරේරා යැවූ පන්දුවකට සෆියුල්ලා ෂාෆික්, ලහිරු තිරිමාන්න අතට උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 5 ක් ලබා 6 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. වේගවත් පිතිහරඹයක නිරත  වූ අස්ගහාර් සටන්කාසී පන්දු 47 කදී ලකුණු 62 ක් ගැනීමට 4 පහරවල් 3 ක් හා 6 පහරවල් 4 ක් එල්ල කරන ලදි. පන්දුවාර 20 අවසානයේ අැෆ්ගනිස්තානුවන් කඩුළු 7 කට ලකුණු 153 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී තිසර පෙරේරා පන්දුවාර 4 කදී ලකුණු 33 කට කඩුළු 3 ක්, රංගන හේරත් පන්දුවාර 4 කදී ලකුණු 24 ට කඩුළු 2 ක්, නුවන් කුලසේකර හා ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ලක් බැඟින් ද දවා ගන්නා ලදි. දුෂ්මන්ත චමීර පන්දුවාර 4 කදී ලකුණු 19 ක් ලබා දෙන ලදි.

Afghanistan's Noor Ali Zadran(L)is clean bowled as Sri Lanka's wicketkeeper Dinesh Chandimal looks on during the World T20 cricket tournament match between Sri Lanka and Afghanistan at The Eden Gardens Cricket Stadium in Kolkata on March 17, 2016. / AFP / Dibyangshu SARKAR
අැෆ්ගනිස්තාන ක්‍රීඩක නූර් අලි දැවි යමින් ©AFP

ලකුණු 154 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් හා තිලකරත්න ඩිල්ශාන් වේගවත් ලකුණු 41 ක සබඳතාවක් ගොඩනැගු අතර පළමු කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් පන්දු 17 කදී ලකුණු 18 කට දැවී යන ලදි. පන්දුවාර 6 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 41 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අනතුරුව පිටියට පිවිසි ලහිරු තිරිමාන්නට ද සාර්ථක වීමට අවස්ථාවක් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ලබා දුන්නේ නැත. ඔහු පන්දු 13 කදී එක්  4 පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටිය දී දැවී යන ලදි.

අනතුරැව තිසර පෙරේරා  පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබමින් පිටියට පිවිසීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ දි කඩුළු 2 ක් දැවී ලකුණු 71ක් ලබා ස්ථාවර තත්ත්වයකට ගැනීමට ඔහු සහ තිලකරත්න ඩිල්ශාන්ට හැකිවිනි. ඔවුන් දෙපල ලකුණු 27 ක සබඳතාවක් ගොඩනංවන ලදි. තිසර පෙරේරා පන්දු 8 කදී එක් 6 පහරක් සමඟ ලකුණු 12 ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය.

ඒත් සමඟින් පැමිණි චාමර කපුගෙදර 4 වන කඩුල්ල සඳහා ලකුණු 28 ක සබඳතාවක් ගොඩ නංවන ලදි. තිලකරත්න ඩිල්ශාන් එල්ල කර පහරක් මොහොමඩ් නබී ගේ අතෙහි වැදීමෙන් පසු ප්‍රතිවිරුද්ධ කඩුල්ලේ වැදීම නිසා චාමර කපුගෙදර පන්දු 9 කදී එක් 4 පහරක් සමඟ ලකුණු 10 ක් ලබා අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. ඇෆ්ගනිස්තාන පන්දු රැකීමද තරමක් දුර්වල මට්ටමක තිබෙනු දැකගත හැකිවිනි .අනතුරුව පිත්ත අතට ගනිමින් තිලකරත්න ඩිල්ශාන් සමඟ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 42 ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගු අතර තිලකරත්න ඩිල්ශාන් පන්දුවාර 20 ම කඩුල්ලේ රැදී සිටිමින් නොදැවී පන්දු 56 කදී ලකුණු 83 ක් ලබා ගැනීමට 4 පහරවල් 8 ක් හා 6 පහරවල් 3 ක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන එන ලදි .එයට සහය වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 10 කදී වේගවත් ලකුණු 21ක් ලබා ගැනීමට නොදැවී 4 පහරවල් 3 ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි. පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුළු 4 ක් දැවී ලකුණු 155 ගෙන තරඟය කඩුළු 6 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිනි.

පන්දු යැවීමේදී මොහොමඩ් නබී පන්දුවාර 4 කදී ලකුණු 25 කට එක් කඩුල්ලක්ද, රෂීඩ් කාන් පන්දුවාර 4 කදී ලකුණු 27කට එක් කඩුල්ලක්ද දවාලීමට සමත් විය.

තරඟයේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ශාන් සම්මාන දිනා ගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරඟය ලබන ඉරිදා (20) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතය.