ඕස්ට්‍රේලියාවට එරෙහිව දකුණු අප්‍රිකාවෙන් ICCයට පැමිණිල්ලක්

293
(DNA india)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ලබන මාසයේ පැවැත්වීමට තිබුණු දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කිරීම නිසයි.

දකුණු අප්‍රිකාවේ මේ වන විට පවතින COVID-19 වාතාවරණය අනවශ්‍ය අවදානමක් බව පවසමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබුණා. දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳව සිය අප්‍රසාදය පල කරමින් පසුගිය සතියේ ICCයට හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිපියක් ද යොමු කර තිබුණා. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි Pholetsi Moseki, ICC වෙත ගොනු කළ පැමිණිල්ලේ ලෝක ටෙස්ට් ශූරතාවයට අත්සන් කළ ගිවිසුම මෙන්ම FTP (Future Tours Programme) ගිවිසුමට ද අදාළ කරුණු දක්වා තිබුණු බව ESPNcricinfo වාර්තා කරනවා. තරගාවලිය පැවැත්වීමට නොහැකි වුනොත් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකාවට ලකුණු ලබා ගන්නට තිබෙන අවස්ථාවක් ද මඟහැරී යනවා.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ සංචාරය අවලංගු කරන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ගෙවිය යුතු මුදල ලෝක ටෙස්ට් ශූරතාවයේ ගිවිසුමට අදාලව සාධාරණ ද, අසාධාරණ ද යන්න ICC විසින් සොයා බැලිය යුතු බවයි. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග අවසන් වන අප්‍රේල් 30 වැනිදා වන විට දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා තරගාවලිය නැවත පැවැත්විය නොහැකි බව ද දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය එම ලිපියේ සඳහන් කර ඇති අතර දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය තත්වය ගැන වාර්තාවක් ලබාගෙන ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවේ සංචාරය නොකිරීමෙන් අදාළ ගිවිසුම්වල කොන්දේසි කඩ කළා ද යන සොයා බලන ලෙසත් දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICCයෙන් ඉල්ලා සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2004 වසරේ සිට ක්‍රියාත්මක ICCයේ FTP ගිවිසුමට අනුව විශේෂ බාධකයක් නොමැති නම් සියලු සාමාජික රටවල් ගිවිස ගන්නා තරගාවලි අනිවාර්යයෙන්ම ක්‍රීඩා කළ යුතු වෙනවා.  2007 වසරේ දී ඕස්ට්‍රේලියානු රජය දේශපාලනික හේතු මත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේ හි සංචාරය නොකරන ලෙස නියම කර තිබුණු අතර ICCය එම තරගාවලිය නීති කඩ කිරීමක් නොවන බවට පිළිගත්තා. එලෙසම 2008 වසරේ දී ඉන්දියාව සිය රජයේ උපදෙස් මත පාකිස්තානයේ සංචාරය නොකිරීම ද ICCය පිළිගත්තා. එම කණ්ඩායම් දෙකටම ICCය විසින් දඬුවම් නියම කළේ නැහැ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබුණේ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත දකුණු අප්‍රිකාවේ සංචාරය අතහැර දමන බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවයේ කොන්දේසියක් වන “ස්වාධීන විශේෂඥයින්” පිළිබඳව Moseki සිය ලිපියේ සඳහන් කර තිබුණා. ඔහු පවසා තිබුණේ දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය තත්වය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සංචාරය නොකිරීමට තරම් නුසුදුසු ද යන්න පිළිබඳව ගවේෂණය කිරීමට ස්වාධීන විශේෂඥයින් යොදා ගත යුතු බවත්, එම විශේෂඥයින් දකුණු අප්‍රිකාවෙන්ම ඉදිරිපත් වන විශේෂඥයින් විය යුතු බවත්ය.

දකුණු අප්‍රිකාව මේ වන විට COVID-19 දෙවන රැල්ලකට මුහුණ දී සිටින අතර එරට තුන්වැනි මට්ටමේ රට වසා දැමීමක පවතිනවා. පෙබරවාරි පළමුවැනි දා සිට එරට COVID නීති ලිහිල් කෙරුණු අතර ඉන් දිනකට පසුව ඕස්ට්‍රේලියාව තමන් දකුණු අප්‍රිකාවේ සංචාරය නොකරන බව නිවේදනය කළා.

CricInfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<