ආසියාවේ රන්-රිදී දිනූ යොවුන් මලල ක්‍රීඩක‍යෝ මවුබිමට

106

දෝහා කටාර්හී පැවැති පළමු ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවී රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජුලි මස 15දා කොළොම්බියාවේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබාගත්හ.

 

පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ රාත්‍රි 8.15ට QR 656 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

අඹගමුව මධ්‍ය මහා විදුහලේ යමානි දුලංජලී විනාඩි 1:01.27කින් මීටර් 400 කඩුලු පැනීමේ රන් පදක්කම දිනාගත් අතර ලෝක ශූරතාවලියට අවශ්‍ය පරිසාධන මට්ටම වූයේ විනාඩි 1:02.00ක කාලයකි. තුම්පිම්ම ඉසව්ව මීටර් 15.39කින් නිමකළ මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ චමල් කුමාරසිරි රිදී පදක්කම දිනාගත් අතර ලෝක ශූරතාවලියට අවශ්‍ය පරිසාධන මට්ටම මීටර් 14.80කි.

මීටර් 400කඩුලු පැනීමේ තරගය තත්පර 52.88කින් නිමකරමින් රිදී පදක්කමක් දිනා දක්ෂතා දැක්වූ මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලේ දර්ශන කුමාර ලෝක ශූරතාවලියට යෑම සඳහා ලබාගත යුතුව තිබූ පරිසාධන මට්ටම තත්පර 55.00කි.

උස පැනීමේ ඉසව්ව මීටර් 2.12කින් නිමකරමින් කුලරත්න මධ්‍ය මහා විදුහලේ රොෂාන් ධම්මික රණතුංග රිදී පදක්කමක් දිනාගත් අතර එම ඉසව්වේ ලෝක යොවුන් ශූරතාවලි පරිසාධන මට්ටම මීටර් 2.06කි.පදක්කම් දිනාගත් සිවුදෙනාගේම පෞද්ගලික හොඳම දක්ෂතා වර්තා වීම විශේෂත්වයකි.

මේ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවු ගේට්ටේ ජාත්‍යන්තර පාසලේ ආසිරි ජීවන්ත මීටර් 200 තරගය තත්පර 22.21කින් නිමකොට සිවුවැනි ස්ථානයට පත්වූ අතර මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගිවූ මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත චන්ද්‍රසේන තත්පර 53.15කින් සිවුවැනි ස්ථානයට පත්විය. උස පැනීමේ ඉසව්ව මීටර් 2.06කින් නිමකළ මීගමුව මාරිස්ටෙලා විදුහලේ උෂාන් තිවංක පස්වැනි ස්ථානයට පත්විය.

ආසියාවේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමේ අදහසින් ආසියානු මලල ක්‍රීඩා සංගමය මේ යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ ක‍ළේය.

මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකාවට හා ක්‍රීඩකයන් තිදෙනාට වැඩිදුර පුහුණුවක් ලබාදීමට ඉදිරි කාලයේ හැකියාව ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාවට පදක්කම් දිනාගත හැකි අනාගතයක් උදාවන බව විචාරකයෝ පවසති. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ හා මලල ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු වේ.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 35ක වයස අවුරුදු 18ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.