ලෝක කුසලානයට යන ගමනේ සූදානම ගැන සනත් කනස්සල්ලෙන

124

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අසි.සී.සී) විසින් මෙතෙක් පවත්වන ලද ලෝක කුසලාන තරගාවලි දහය තුළදී වරින් වර සහභාගි වූ කණ්ඩායම් සලකා බැලීමේදී මේ වන විට නියෝජනය කළ මුළු කණ්ඩායම් සංඛ්‍යාව 19කි.

ඒ අනුව මෙවර 11 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නවකයන් ලෙස එක්වන ඇෆ්ගනිස්තාන කණ්ඩායම අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන 20 වැනි කණ්ඩායම ලෙස සැලකේ.

වත්මන් ක්‍රිකට් ලෝක ශූරයන් ලෙස සැලකෙන ඉන්දීය කණ්ඩායම මේ වන විට ලෝක ශූරතා දෙකකට (1983 – 2011) හිමිකම් කියන අතර වැඩිම වාර ගණනක් ලෝක ක්‍රිකට් කිරුළට උරුමකම් කී රට ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවයි. එනම් ලෝක කුසලාන ඉතිහාසයේ සිවුවතාවක්ම (1987, 1999, 2003, 2007) ඕස්ට්‍රේලියානු කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වී ඇති අතර ඔවුන් නොකඩවා වාර තුනකදීම එසේ කිරුළ රැකගෙන සිටීමද තවත් විශේෂත්වයකි.

සැලසුම් සහගතව 1975 වසරේ සිට මේ දක්වා පියවර දහයක් පසුකරමින් පවත්වාගෙන එන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළව දත්ත හා සංඛ්‍යාලේඛන ඇතුළත් අතීත වාර්තා නිසි ලෙස සකස්කර තිබීමද විශේෂත්වයකි. එකී වාර්තා මඟින් ක්‍රිකට් අතීත කතා වදන් චිත්‍ර ලෙස නිර්මාණය වීම නිසාම ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද ජනප්‍රියත්වයට පත්වී ඇති අතර පිරිමි ලෝක කුසලානයට අදාළ අතීත දක්‍ෂතා ඒ අතර විශේෂ මාතෘකා බවටද පත්වී ඇත.

ඒ අනුව මෙතෙක් සාර්ථකම කණ්ඩායම ඕස්ට්‍රේලියාවෙන් බිහිවූවා සේම අතීත දක්‍ෂතා තුළ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වාර්තා වන්නේද ඕස්ට්‍රේලියාවෙනි. එනම් ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැග්‍රා ලෝක කුසලාන තරග 39කට සහභාගි වී කඩුලු 72ක් ලබා මෙතෙක් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටී. එසේම මෙතෙක් වැඩිම ලකුණු ලබා ඇති පිතිකරුවා වන්නේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ලෝක කුසලාන තරග 45කට ක්‍රීඩා කොට ශතක 6ක් සමගින් මුළු ලකුණු 2278 (සාමාන්‍ය 56.95)ක් ලබාගෙන ඇත.

එසේම කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් 1975 වසරේ පැවැති මංගල ලෝක කුසලානයේදී තරග ප්‍රමාණය 15කට පමණක් සීමා වූ අතර තරගයක් නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂකයන් සංඛ්‍යාවේ සාමාන්‍ය 10,533ක් ලෙස වාර්තා විය. ඒ අනුව 1975 ලෝක කුසලාන තරග සියල්ලම නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ගේ මුළු එකතුව එක්ලක්‍ෂ පනස්අටදහසක් (1,58,000) ලෙස වාර්තා වන අතර එම පළමු තරගාවලියේදී වැඩිම ලකුණුලාභියා වෙමින් ජනප්‍රියත්වයට පත්වූයේ නවසීලන්තයේ ග්ලෙන් ටර්නර්ය. ඔහු තරග 4කදී ලකුණු 333ක් (සාමාන්‍ය 166.50) ලබා තිබූ අතර 1975 තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වූයේ ඕස්ට්‍රේලියාවේ ගැරී ගිල්මර්ය. ඔහු තරග 2කට සහභාගි වී කඩුලු 11ක් ලබාගෙන තිබුණි. කෙසේ වෙතත් ඉයන් චැපල්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු පිල පරදා ක්ලයිව් ලොයිඩ්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව්වන් මංගල කිරුළ හිමිකර ගන්නා විට අවසාන මහා තරගයේදී ශතකයක් ලැබූ ක්ලයිව් ලොයිඩ් තරගයේ වීරයා විය.