රිච්මන්ඩ් සහ සාන්ත පීතර අවසන් ක්‍රිකට් සංග්‍රාමය

699
Singer U19 Schools Cricket 2017/18

ක්‍රිකට් පිටියේ පෙළහර පාන යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එක්ව තමන්ගේ හැකියාවට ජවය එක් කරන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය මේ මස 28දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. අවසාන මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටින්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ය.

අවසන් හතරට ප්‍රබල හා සමබර කණ්ඩායම් හතරක්

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න්..

රිච්මන්ඩ් විද්‍යාලය

ධනංජය ලක්ෂාන් රිච්මන්ඩ්වරුන්ට නායකත්වය ලබා දෙමින් අවසාන මහා තරගයට පිවිසෙනුයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් තමන් සන්තක කර ගනිමිනි. එබැවින් අවසාන මහා තරගය තවත් තරගයකට වඩා හාත්පසින් ම වෙනස් තරගයක් බවට පත් කිරීමට ඔවුන් සූදානම් වෙති.

“අපි කොහොමටත් තරගයක් සැලසුම් කරන්නේ ඒ තරග පැවැත්වෙන දිනයේ දී. පෙර පුහුණුවීමේ දී ප්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණුකරුවන් කණ්ඩායම අපිට යන්න ඕන ගමන ගැන ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. අපි ජයග්‍රහණය කළ සෑම තරගයක දී ම වැඩි ලකුණු ප්‍රමාණයකට ගියා. එහෙම නැත්නම් ප්‍රතිවාදීන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් අඩු කඩුලු ප්‍රමාණයක් වැය කරමින් අදාළ ඉලක්කය කරා ගියා. මම විශ්වාස කරනවා අවසන් තරගයේදීත් අපිට ඒ ක්‍රියා මාර්ගයම අනුගමනය කරන්න පුළුවන් වේවි.” රිච්මන්ඩ් විද්‍යාලයීය නායක ධනංජය ලක්ෂාන් ThePapare.com වෙත පැවැසුවේය.

ඔවුන් මෙතෙක් ආ ගමනේ දී පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ මහානාම විද්‍යාලයට ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ද සහ අවසන් පූර්ව වටයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ද එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් මේ ගමන පැමිණිය හ.

ඒ ගමන් මගත් සමඟින් තරගයේ උද්වේගකර අවසානයකට තමන් වඩාත් කැමති බැව් පවසන ධනංජය “අපි ප්‍රතිවාදී කණ්ඩායම කුමන ආකාරයකටවත් අවතක්සේරු කරන්නේ නැහැ. ඔවුන්ගේ තරග සැලසුම්, ඒවා පිටියේ දී ක්‍රියාත්මක වෙන්නේ කුමනාකාරයෙන් ද කියන එකයි අපිට වැදගත්. ඊට මුහුණ දීමට සුදුසු ඉතාම විශ්වාසවන්ත කණ්ඩායමක් මට සිටිනවා. පසුගිය අපි දිනාගත් කුසලානය මෙවරත් දිනා ගැනීමටයි අපේ බලාපොරොත්තුව.” බැව් ද ප්‍රකාශ කළේය.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්තම ක්‍රීඩකයන් වී සිටින්නේ සඳුන් මෙන්ඩිස් සහ දිලුම් සුධීර ය. දකුණත් සහ වමත් දඟපන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ඔවුන් ප්‍රතිවාදීන් වඩාත් හොඳින් මෙල්ල කරනු ඇතැයි නායකයාගේ ද විශ්වාසය යි. ඊට අමතරව තවීෂ අභිෂේක්, කමිඳු මෙන්ඩිස්, උපනායක අවිඳු තීක්ෂණ, ආදිත්‍ය සිරිවර්ධන, දුවින් කලංසූරිය සමඟින් නායක ධනංජය ලක්ෂාන් ද අවසන් තරගයේ දී ප්‍රතිවාදීන් හමුවන සැබෑ සටන්කරුවෝ ය.

රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම;

ධනංජය ලක්ෂාන් (නායක), අවිඳු තීක්ෂණ (උපනායක), කමිඳු මෙන්ඩිස්, තවීෂ අභිෂේක්, සඳුන් මෙන්ඩිස්, ආදිත්‍ය සිරිවර්ධන, දුවින් කලංසූරිය, විශ්මිත විජේසිරි, චමත් දිල්සර, සුගීත් නිමන්ද, විමුත් සප්නක, ආකාශ් කාවින්ද, විනුජ කිරිඇල්ල, දිලුම් සුධීර, අම්සි ද සිල්වා, චමත් දිල්සර

නිලධාරීන්; ධම්මික සුදර්ශන (පුහුණුකරු), ලක්මාල් ද සිල්වා (සහාය පුහුණුකරු), එස්. ආර්. නානායක්කාර (ක්‍රිකට් භාර ආචාර්ය සහ ක්‍රීඩා භාර ආචාර්ය)

සාන්ත පීතර විද්‍යාලය

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සාමාජික සංතුශ් ගුණතිලක විසින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලැබේ. ඉතා සමබර කණ්ඩායමක් ලෙසින් අවසන් මහා තරගයට පිවිසෙන තම කණ්ඩායම සම්බන්ධයෙන් සංතුශ් ThePapare.com වෙත පැවසුවේ මෙවැන්නකි.

“අපි මේ තරගය තෙක් ආ ගමන ඉතා තරගකාරී තරග කිහිපයක්ම නිමා කරමින් ආ ගමනක්. මේ තරගය දක්වා එන්න ලැබීමත් අපිට සතුටක්. අපේ කණ්ඩායමේ කිසිදු කෙනෙක් කිසිම මොහොතක කිසිම තරග අත්හැරියේ නැහැ. අවසන් පිතිකරුවා පවා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පුදුමාකාර විදිහේ දායකත්වයක් දැක්වූවා. ඒ නිසා මම විශ්වාස කරනවා, අපි සතුව ඉතාම හොඳ කණ්ඩායමක් සිටිනවා. අපිට මේ තරගයේ දී විශාල වෙනසක් කරන්න පුළුවන් වේවි. ”

සාන්ත පීතර විද්‍යාලය අවසාන තරගය දක්වා පැමිණෙද්දී පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය ද සහ අවසන් පූර්ව වටයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය ද පරාජය කරන්නේ ය.

‘’අවසන් තරගය වෙනුවෙන් වෙනම ම යමක් කරන්නේ නැහැ. අපි කොහොමටත් සුපුරුදු රිද්මයෙන් ඉන්නේ. ප්‍රතිවාදීන් කුමන සැලසුමක් සමඟ පිටියට පිවිසියත් අපිට ඊට අභියෝගාත්මක මුහුණ දීමේ ශක්තියකින් පිරි කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට වසර කිහිපයක් පුරා අහිමිව තිබූ එක්දින ශූරතාව දිනා ගන්න පුළුවන් වෙයි කියලා.“ සංතුශ් නැවත පැවසුවේය.

සංතුශ් ගුණතිලක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කණ්ඩායමට එක්ව සිටින අතර පිතිකරුවන් ලෙසින් ශාලිත් ප්‍රනාන්දු සහ රන්මිත් ජයසේන කණ්ඩායමේ වැඩි විශ්වාස දිනා සිටී. කණ්ඩායමේ විශ්වාසවන්තම පන්දු යවන්නා වී ඇත්තේ මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී කඩුලු 100ක් වාර්තා කර සිටින උප නායක මිෆ්ලාල් අමීන් කෙරෙහි ය. එමෙන්ම දකුණතින් පිට දඟපන්දු යවන සචින් සිල්වා ද ඔවුන්ගේ බලාපොරොත්තුවකි.

සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම;

සංතුශ් ගුණතිලක (නායක), මිෆ්ලාල් අමීන් (උපනායක), රන්මිත් ජයසේන, ශාලිත් ප්‍රනාන්දු, සචින් සිල්වා, ශිවාන් පෙරේරා, සුලක්ෂණ ප්‍රනාන්දු, දිනිත් අංජුල, නිපුනක ෆොන්සේකා, පබසර හේරත්, ලශේන් රොද්‍රිගෝ, කනිශ්ක මධුවන්ත, භානුක ද සිල්වා, හිම්සර රන්දෙණි, නිරෝෂ් අර්ශන, ෂැනෝන් ප්‍රනාන්දු, තාරික් සබූර්, රුවින් සෙනෙවිරත්න, හෂිත් කිරිඇල්ල, ලක්මිණ පෙරේරා, ෂෙනාල් සිල්වා

නිලධාරීන්; මලින්ද වර්ණපුර (ප්‍රධාන පුහුණුකරු), ශානක ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), සනත් චින්තක (ක්‍රීඩා ලේකම් සහ ප්‍රධාන ක්‍රිකට් පුහුණු ආචාර්ය)

ශූරතාවයේ හිමිකාරිත්වය?

පසුගිය වසරේ ද අන්තර් පාසල් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වන රිච්මන්ඩ්වරුන් මෙවර තරගයට සහභාගී වෙන්නේ ආසන්නතම වසරේ දිනා ගත් ශූරතාව තවදුරටත් තමන් සන්තක කර ගැනීමේ අභිප්‍රායෙනි. මීට දශක භාගයකට එපිටින් සීමිත පන්දුවාර තරගාවලි ජයග්‍රාහකයන් වන සාන්ත පීතරයන් ද අවසන් තරගයට සුදුසුකම් ලැබූ දා සිට එකී ශූරතා හිමිකාරිත්වයේ සිහිනයෙන් වෙළී සිටිති.

ඒ අනුව දෙවිදුහල්ම වැඩි දක්ෂතා සහිත තුන් ඉරියව් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව අවසාන මහා තරගයට පිටියට බසිනුයේ එකිනෙකා පරයමින් ජයග්‍රහණය තමන් සන්තක කර ගැනීමේ පරම අටියෙනි.

සුපිරි හතරේ සුපිරි වීරයා “පැතුම් නිශ්ශංක”

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත් සුපිරි 4 ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූයේ..

පැවතෙන තත්ත්වය අනුව පිත්තත් පන්දුවත් අතර පැවතෙන අවසාන මහා තරගයට වඩා මෙම තරගයේ දී එකිනෙකාගේ සූක්ෂම උපායන් ද ක්‍රියාත්මක වෙනු ඇත. වඩාත් පළපුරුදු පුහුණුකරුවන්ගෙන් ද සමන්විත කණ්ඩායම් දෙක පාසල් ක්‍රිකට් පිටියේ අද්විතීය ස්ථානයන් හිමිකර ගෙන සිටින කණ්ඩායම් දෙකකි. එබැවින් එකිනෙකා වෙත තරගය දෝත බඳා ප්‍රදානය කිරීමක් නම් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි ය.

මේ උණුසුම් වෙන තරගයේ උණුසුම ThePapare.com හරහා සජීව ලෙස සමීප කරන අතර DTV නාලිකා අංක එක සහ MyTv ඔස්සේ ද ඔබට නැරඹිය හැකි.

ඔබේ සහයෝගය ලබා දෙන්නේ දකුණේ රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට ද නොඑසේ නම් කොළඹ සාන්ත පීතර ක්‍රීඩකයින් ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<