ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කරවන සචින් තෙන්දුල්කාර්ගේ ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරවල් ඔබ දැක ඇතැයි මම සිතමි. එසේම රිකී පොන්ටින්ගේ පුල් පහරවල් ද, බ්‍රයන් ලාරාගේ කට් පහරවල් ද ඔබ දැක ඇතැයි මම සිතමි.
නමුත් මේ පහරවල් කිසිවකට නොදෙවෙනි වූ තවත් එක් පහරක් ඔබේ මතකයේ රැඳී ඇති බවට මා හට සැකයක් නොමැත.
අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!
අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ………..
පිත්ත නිදහසේ පසුපසට එසවෙන විට ඉදිරි පාදය පන්දුව පතිත වෙන ස්ථානය දෙසට යොමුවී හොඳින් ස්ථානගතවූ පසුව පන්දුව එන මාවත දිගේ අකුණු සැරයක් මෙන් ඇදී එන පිත්ත, පන්දුව ගමන් ගන්නා මාවත දෙසට එල්ල වෙමින් දෑස් ඉදිරියේ නතර වන අතරේ පිත්තේ මුහුණත ස්පර්ශ වෙන රතු පැහැති දිලිසෙන පන්දුව එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකින්නන් දෙදෙනෙකු අතරින් බිම දිගේ ඇදී ගොස් හතරේ සීමාව සිප ගන්නා ඒ මනරම් දර්ශනය ඔබ කෙසේ නම් අමතක කරන්න ද?

එය සැබැවින්ම ක්‍රිකට් නරඹන ප්‍රේක්ෂකයෙකුට අමතක කළ හැකි දර්ශනයක් නොවේ.
එලෙසින් ලොවක් ආදරය කරනා කුමාර් සංගක්කාර 2000 වසරේ දී ජාතික කණ්ඩායමට ඇතුළත් වන විට 23 හැවිරිදි හිතුවක්කාරයෙකි. ඔහුගේ ආගමනය බොහෝ ප්‍රේක්ෂකයන්ට එතරම් ප්‍රිය එකක් නොවුනේ එකල ප්‍රේක්ෂකයන් බොහෝ සෙයින් ආදරය කළ රොමේෂ් කළුවිතාරනගේ ස්ථානය සංගක්කාරට හිමි වීම නිසාය.
ඉන්පසුව 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඇන්ඩෲ සයිමන්ඩ්ස්ගේ ස්ටම්ප් කිරීම ඔහුට මඟ හැරී ගිය අවස්ථාවේ සහ අරවින්ද ද සිල්වා දුවද්දී දැවී යාමකට ලක් වූ අවස්ථාවේ දී කණ්ඩායමේ පරාජය වෙනුවෙන් ඇඟිල්ල දිගු වූයේ සංගක්කාර දෙසටය. ඒ වකවානුවේ දී සංගක්කාර තරම් ප්‍රේක්ෂකයන්ගේ අපවාදයට ලක් වූ වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමේ සිටියේ නැත.
නමුත් ඉන් වසර දහසයක් ගතවූ තැන ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ලෝකය පුරාවටම රසිකයන් වඩාත් ආදරය කරන ක්‍රිකට් තරුවක් බවට පත් වීමට සංගක්කාරට හැකියාව ලැබුණ අතර මෑතක දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල වෙබ් අඩවිය මඟින් පැවැත්වූ මත විමසුමක දී ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් මුල් තැන දිනා ගන්නට ද සංගක්කාර සමත් විය. ඒ හුදෙක් වාසනාව නිසාම නොවේ.

මේ ඒ ගැන සංගක්කාරගේ අදහසයි..
“මං කණ්ඩායමට එද්දි රොමේෂ් අයියා තමයි හිටියේ. ඒ කාලෙ මතයක් තිබුණා රොමේෂ් අයියයි මායි අතරෙ ගැටුමක් තිබුණා කියලා. මට මතකයි එක සැරයක් ටාජ් සමුද්‍රා හෝටලේ ඉඳන් මම ත්‍රී වීලර් එකකින් යනකොට රියදුරා මගෙන් ඇහුවා ඔයයි කළුවිතාරණයි අතරෙ තියෙන ප්‍රශ්නෙ ඇත්ත නේද කියලා. මමත් අපි යාළුවො බව නොකියා ඔව් ඔව් ඇත්ත තමයි අපි දෙන්නා කතාවත් කරන්නෙ නෑ කිවා. ඔහු ගිහින් ඒක තව දහ දෙනෙකුට විතර කියයි.
ඒත් ඇත්තටම රොමේෂ් අයියා මට හුඟාක් උදව් කළා. විශේෂයෙන් මුරලි එක්ක කොහොමද මුරලිගෙ වෙනස් වෙන පන්දු දිහා බලලා අඳුරගන්නෙ වගේ දේවල්. රොමේෂ් අයියගෙ කඩුලු රැකීම කාලයත් එක්ක ගොඩාක් දියුණු වුනා.
1996 ලෝක කුසලානෙදි සචින් තෙන්දුල්කාර්ගෙ ස්ටම්ප් කිරීම ගත්තම ඒක විශිෂ්ටතම දවා ගැනීමක්. සමහර විට ඒ ස්ටම්ප් කිරීම මුළු තරගයම වෙනස් කරා කියල හිතන්නත් පුළුවන්. ඇත්තටම යොවුන් ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට ආවම රොමේෂ් අයියා ඉතාමත් විශිෂ්ට අන්දමට මට සැලකුවා. ඒක ලේසි දෙයක් නෙවෙයිනෙ. මොකද මම දියුණු වුනොත් මම ගන්නෙ ඔහුගෙ ස්ථානය. ඒත් ඔහු කවදාවත් එහෙම හිතලා නෑ. පුළුවන් හැම වෙලාවෙම මට උදව් කළා. ඒ වගේමයි ප්‍රසන්න ජයවර්ධනත්. දඟපන්දු යවන්නට මම දැකලා තියෙන හොඳම කඩුලු රකින්නා ප්‍රසන්න ජයවර්ධන.”

“එක් එක් ක්‍රීඩකයන්ට තියෙන කැපකිරීම් වෙනස්. පුද්ගලිකව මට ආර්ථික අපහසුතා තිබුනෙ නෑ. නමුත් අපේ ගොඩක් ක්‍රීඩකයන්ට ඒ ප්‍රශ්න තිබුණා. මට තිබුණ ලොකුම අභියෝගය තමයි ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක. හරි වෙලාවෙ හරි තීරණයක් ගන්න එක, මහන්සි වෙන වෙලාවට හරි විදිහට මහන්සි වෙන එක වගේ දේවල් ක්‍රීඩාවෙදි ඉතා වැදගත්. මම ක්‍රිකට් පටන් ගන්නකොට මට තිබුණ අභියෝග නෙවෙයි පසුකාලීනව තිබුනෙ.
එක් එක් ක්‍රීඩකයන්ට තියෙන ප්‍රශ්න වෙනස්. ලැබෙන අභියෝග එකිනෙකාට වෙනස්. නමුත් අපි ඔක්කොම එකතු වෙලා අන්තිමේ කණ්ඩායමේ ස්ථාවර තැනකට එනවා. ඒ වෙනකල් ගමන හරි දුෂ්කරයි. ඒ විදිහට එක්තරා මට්ටමකට ආවට පස්සෙ එක් එක් ක්‍රීඩකයන්ට ලැබෙන අභියෝග වෙනස්. ඒ අභියෝගවලට මුහුණ දෙන ආකාරය එක්ක තමයි ඔබ කොයිතරම් දුර ගමනක් යනව ද, කොයිතරම් විශිෂ්ට ක්‍රීඩකයෙක් වෙනවද කියන දේ තීරණය වෙන්නෙ.

ඉතින් මගේ තාක්ෂණය, මානසිකත්වය, මට තියෙන අභියෝග වගේ හුඟක් දේවල් වෙනස් කරගෙන තමයි මම ඉස්සරහට ගියෙ. මොකද එකම තැන එකම විදිහට රැඳෙන්න මට ඕන නෑ. මට හැමවෙලාවෙම ඕන වුනේ එක පියවරක් ඉදිරියෙන් ඉන්න. මට අභියෝගයක් කරන කණ්ඩායමේ අයට, කණ්ඩායමට එකතු වෙන්න ඉන්න අය, මගේ ප්‍රතිවාදීන් කියන මේ සියලු දෙනාටම වඩා අඩුම ගානෙ එක පියවරක්වත් ඉදිරියෙන් ඉන්න තමයි මම උත්සාහ කළේ. ඒක තමයි මට සාර්ථක වෙන්න හේතු වුනේ.”
2019 ඇත්තටම නරක ද?
ගෙවී ගිය 2019 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ……
විශිෂ්ටයෙකු බවට පත් වූ ගමනේ ඇතැම් අවස්ථාවන්හී දී ඔහු මුහුණ දුන් පසුබෑම් මෙන්ම ඔහු ලද පරාජයන්ද බොහෝය. සංගක්කාරගේ ක්‍රිකට් දිවියේ කනගාටුදායකම අවස්ථාවක් ලෙස 2011 ලෝක කුසලානය පරාජය වීම සඳහන් කළ හැක. අදටත් ශ්‍රී ලාංකිකයන් එම පරාජය සිහිපත් කරන්නේ ඉතා විශාල කනගාටුවක් සිත්වල රඳවා ගෙනය. එම පරාජයෙන් යම් කාලයක් ඉක්ම ගිය පසුව මුත්තයියා මුරලිදරන් විසින් එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුනේ එදා ශ්‍රී ලංකාව මුලින් පන්දු යැව්වා නම් අවසන් තරගය ජයග්‍රහණය කිරීමට තිබූ බවයි.

“2011 ලෝක කුසලනෙදි අපි හැමදේටම සැලසුම් හදලා තිබුණේ. අවසන් මහා තරගයත් එහෙමයි. සාමාන්‍යයෙන් ඉන්දියාවත් එක්ක තරගයක් ජයග්‍රහණය කරන්න අවශ්‍යයි නම් කරන්න ඕන මුලින් පන්දු යවන එක. මොකද එයාලගෙ ශක්තිය තමයි මුලින් පන්දු යවලා ලැබෙන ඉලක්කය හඹාගෙන යන එක. අපිට මුලින් පන්දු යවන්න පුළුවන් නම් ඒකෙන් අපිට වාසියක් ගන්න පුළුවන්. අපි ඒ ගැන හැම දෙයක්ම අවබෝධ කරගෙන කලින් සැලසුම් හදාගෙන තමයි හිටියෙ.
නමුත් අපේ කණ්ඩායමේ සමබරතාවය රැඳිලා තිබුනෙ ඇන්ජලෝ මැතිව්ස් මත. ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙක් වුන එක අපිට තිබුණ ලොකු වාසියක්. ප්‍රතිවාදී කණ්ඩායම්වල ස්වභාවය අධ්‍යයනය කරලා අවශ්‍යතාවය අනුව කණ්ඩායමේ වෙනස්කම් කරන කොට මැතිව්ස්ගෙ පන්දු යැවීම ඉතාම වැදගත් වුනා. මැතිව්ස්ගෙ පන්දු යැවීම නිසා කණ්ඩායමේ සංයුතිය පහසුවෙන් වෙනස් කරගන්න අපිට පුළුවන් වුනා.

ඒ තරගයට යනකොට අපේ ශක්තිය තිබුනෙ පන්දු යැවීමෙ. පිතිකරුවන් 6ක් එක්ක තරගයට ගිහින් ලකුණු හඹා යන එක අවදානම් සහගත නිසා අපි තීරණය කළා මුලින්ම පන්දුවට පහර දෙන්න. අපි පන්දු යවන්නන් 5ක් ක්‍රීඩා කළ නිසා අපිට විශ්වාසයක් තිබුණා අපි ලබා ගන්න ලකුණු ගානට අඩුවෙන් ඉන්දීය පිතිකරු ලැයිස්තුව සීමා කරන්න පුළුවන් වෙයි කියලා.
නමුත් ඉතාමත්ම අවාසනාවන්ත විදිහට තරගයේ වැදගත්ම අවස්ථාවල දී අපේ අතින් වැරදි කිහිපයක් වුනා. අපි වැදගත්ම උඩපන්දු අත හැරියා. අවසන් මහා තරගයක ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක ඒ වගේ වැරදි කරල තරගය ජයග්‍රහණය කරන්න බෑ.
තරගය අවසන් වුනාම අපිට කියන්න පුළුවන් අපි අර දේ කළා නම් හරි, මේ දේ කළා නම් හරි කියලා. නමුත් ඒ වෙලාවෙ අපිට තිබුණ කණ්ඩායමත් එක්ක තරගයට කලින් අපි හැමෝගෙම අදහස වුනේ මුලින් පන්දුවට පහර දෙන එක වඩා වාසි සහගතයි කියන එක. අවසන් තරගයට අපිට මැතිව්ස් කණ්ඩායමේ හිටිය නම් ඇත්තටම මුලින් පන්දු යවල වැඩි වාසියක් ලබාගන්න තිබුනා. එහෙම වුනානම් ඔව්, මුරලි කියන කතාව හරි”

“මගෙ පළවෙනි දෙසීය ගැහුවෙ පාකිස්තානයත් එක්ක. මට මතකයි මම ෆ්ලික් කිරීමක් කරල තමයි දෙසීයට ගියෙ. මට ඒක හිතාගන්න බෑ. මම හැරිලා අනිත් පැත්තෙ හිටපු මහේලගෙන් ඇහුවා මචං දෙසීයක් නේද කියලා.
ඊට පස්සෙ සීයක් ගැහුවම මම කළේ නැවතත් මුල ඉඳන් ලොකු දෙයක් වෙනස් නොකර සීයට ආව විදිහටම පිතිකරණයේ යෙදෙන එක. සීයෙන් පස්සෙ මම ලකුණු පුවරුව දිහා බැලුවෙ නෑ. ඊට පැය බාගෙකට පැයකට විතර පස්සෙ බැලුවම මගෙ ලකුණු 140ක් 150ක් වෙලා තිබුණා.
ඕවරෙන් ඕවරෙ බෝලෙන් බෝලෙ කඩාගන්න විදිහ, මහන්සි නැතිව සෙල්ලම් කරන්නෙ කොහොමද, එහා පැත්තෙ ඉන්න පිතිකරුවත් එක්ක කතා කරන්නෙ කොහොමද වගේ දේවල් මම ඉගෙන ගත්තා. සමහර වෙලාවට විහිළුවක් කරන්න ඕන. වල්පල් කතා කරන්න ඕන. නැත්නම් ක්‍රිකට් ගැනම අවධානය යොමු කරොත් මහන්සි වෙන එක වෙන්නෙ. ඒ විදිහට මටම ආවේනික වුන රිද්මයක් තිබුණා. තරමක් දුර්වල පන්දු යවන්නෙක් හිටියොත් සමහර වෙලාවට මම අවදානමක් අරගෙන ඉක්මනට ලකුණු 20ක් විතර ලබා ගන්නවා. එතකොට හොඳ පන්දු යවන්නෙක් දානකොට මට වැඩියෙ පීඩනයක් නෑ. ඒක මට මෙහෙමයි කියල කියන්න බෑ. ඒක මටම ආවේණික වුන විදිහක්.”

වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට ………..
නමුත් බොහෝ ආසියානු ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයනුත් වෙනත් ආසියානු නොවන රටවල් වල සංචාර අතරතුරේ ඔවුන් අසාර්ථක වන විට නිදහසට කරුණක් වශයෙන් පවසන ප්‍රසිද්ධ කියමනක් වන්නේ ඒ අනෙකුත් රටවල ක්‍රීඩකයන් ද ආසියානු කලාපයට පැමිණි විට අසාර්ථක වන බවයි.
මේ පිළිබඳව වෙනස් මතයක් දරනා සංගක්කාර පවසන්නේ මෙවැනි අදහසකි.
“ලංකාවෙ ක්‍රීඩකයො කවුරුවත් ඉන්දියාවෙ ක්‍රීඩකයො වගේ නිදහසට කරුණු කියලා නැහැ. ලංකාවෙ අපි හැමදාම කිව්වෙ අපි අපේ තණතීරු වල දස්කම් දක්වන්නම ඕන. ඒක ආයෙත් කතා කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අපි කොහොමත් අපේ තණතීරුවල, අපේ දේශගුණ තත්ත්වයන් වල දස්කම් පෙන්වන්න ඕනෙ. නමුත් අපි දක්ෂ ක්‍රීඩකයන් නම්, අපි දක්ෂ කණ්ඩායමක් නම් අපිට පුළුවන් වෙන්න ඕන වෙනත් රටවල් වල විවිධ තණතීරු වල වෙනස් දේශගුණික තත්ත්වයන් යටතේ දස්කම් දක්වන්න ඕන කියන එක.
අපි හැමදාම කතා වුනේ අපි දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල් වලට ගිහින් දස්කම් දක්වන්න ඕන කියන එක. අපි එකිනෙකාට ඒ විදිහට අභියෝග දාගෙන කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්න තමයි බැලුවෙ.”

“මං තාමත් හිතන්නෙ මම මාස 6ක් පරක්කු වුනා වැඩියි කියලා. මං හිතන්නෙ මම අයින් වෙන්න තිබුනෙ නවසීලන්ත සංචාරයෙන් පස්සෙ.
නවසීලන්ත සංචාරයට කලින් තිබුණ පකිස්තානු සංචාරය අතරතුරේදි සමුගන්න ඕන කියල මම තීරණය කරාට පස්සෙ මහේල ජයවර්ධන මට කතා කරල කිව්වා එයා පාකිස්තාන් තරගාවලියෙන් සමුගන්නවා කියලා. එතකොට මම මහේලට කිව්වා මමත් හිටියෙ එහෙම කරන්න තමයි කියලා. හැබැයි මම එවෙලෙ හිතුවා මහේලට ප්‍රමුඛත්වය දෙන්න ඕන කියලා. ඉතින් ඔහු එස්.එස්.සී පිටියෙදි පාකිස්තානයට එරෙහි තරගයෙදි සමුගත්තා. ඉතින් මම හිතන් හිටියෙ ඊට පස්සෙ තිබුණ නවසීලන්ත සංචාරෙන් සමුගන්න.
නමුත් තේරීම් කමිටුව මගෙන් ඉල්ලීමක් කළා තව ටිකක් ගහන්න කියලා. එවෙලෙ මම කිව්වෙ මගෙන් කණ්ඩායමට දෙයක් ගන්න තියෙනවා කියල හිතෙනවා නම් මම තව තරගාවලි දෙකක් විතරක් ගහන්නම්. අවුරුද්දක් දෙකක් නම් මට ගහන්න බෑ කියලා. ඊට පස්සෙ තමයි තව තරගාවලි දෙකකින් පස්සෙ මම සමුගත්තෙ. හැබැයි මම තවම විශ්වාස කරන්නෙ මම නවසීලන්ත සංචාරෙන් සමුගන්න තිබුනෙ කියලා.

මට කරන්න පුළුවන් මගේ සේවය උපරිමෙන් කරලා හරිහමන් කාලෙ යන එක. ඊට පස්සෙ එන අයට වගකීමක් තියෙනවා ඔවුන්ගේ දස්කම්වලින් කණ්ඩායම ඉදිරියට අරන් යන්න. අද ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බැලුවම ඔවුන්ගේ වයසෙදි මට ඒ තරම් හැකියාවක් තිබුනෙ නෑ. නමුත් අපේ පළමු පෙළ තරගාවලියෙ තියෙන දුර්වලතා නිසා ඔවුන්ට තත්ත්වයකට එන්න කල් යනවා.”
ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව සරේ කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නියෝජයන කළ සංගක්කාර 2017 වසරේ එංගලන්ත ප්‍රාන්ත තරග බිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට සමත් විය. ඒ තරග 10ක දී ඉනිම් 16ක් පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 1491ක් රැස් කරමිනි. එහි දී එක් ඉනිමක සාමාන්‍ය දැක්වුනේ 106.50ක් ලෙසය. ඒ සඳහා ශතක 8ක් සහ ද්විත්ව ශතක 2ක් ඇතුළත් විය.
ඉන්පසුව විස්තර විචාරකයෙකු ලෙසින් අළුබඳුන තරගාවලිය ඇතුලු තවත් තරගාවලි කිහිපයකට දායකත්වය සැපයූ සංගක්කාර 2019 වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා පටන් එංගලන්තයේ MCC ක්‍රිකට් සමාජයේ සභාපතිත්වය සඳහා තේරීපත් වන්නට සමත් විය. ඒ බ්‍රිතාන්‍ය නොවන වෙනත් ජාතිකයෙකු එම තනතුර සඳහා පත් වූ පළමු අවස්ථාවයි.
ThePapapre.com ඔබ වෙත ගෙන එන Legends වැඩසටහනේ කුමාර් සංගක්කාර සමඟ පැවති සංවාදය ඇසුරෙනි.
සම්පූර්ණ වැඩසටහන පහතින් –
Image Credits: wisden.com, espncricinfo.com
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















