මරාගෙන මැරුනත් මැච් එක අත් නොහැරිය උපුල් චන්දන

2068

ලකුණු වේගය අල්ලගන්න බෝල දහයට ලකුණු විස්සක් ගහන්න ඕන ? උපුල් චන්දන බැට් කරන්න යවන්න.

ඇදිල යන මැච් එකක වාසිය ගන්න හදිස්සියෙන් විකට් එකක් ඕන ? උපුල් චන්දනට බෝල් කරන්න දෙන්න.

පොඩි ටාගට් එකක් ඩිෆෙන්ඩ් කරගන්න රනවුට් එකක් ගන්න ඕන ? උපුල් චන්දනව ෆීල්ඩ් එකට එවන්න.

උපුල් චන්දන.

ඔව්. ඔහු එතරම්ම සුවිශේෂී ක්‍රීඩකයෙකි. ක්‍රිකට් පිටිය තුළ ඔහුට කළ නොහැකි දෙයක් තිබුණේ නැත.

චන්දනගේ ශරීර ප්‍රමාණය අන් අයට සාපේක්ෂව තරමක් කුඩා වුවද පන්දු රැකීමේ දී ඔහු එය තමාගේ වාසියට පෙරළා ගැනීමට සමත්වූයේ පිටිය සිසාරා විදුලි වේගයෙන් එහා මෙහා ගමන් කර විශිෂ්ට පන්දු රැකීම්වල නිරත වෙමිනි.

එකල අප ක්‍රිකට් තරග නරඹන අතරතුර දී රොමේෂ් කළුවිතරණ විසින් චන්දනට “චිකී” යන සුරතල් නාමයෙන් ආමන්ත්‍රණය කරනු නිරන්තරයෙන් ඇසුණ බව ඔබගේ මතකයේ ඇතැයි සිතමි. මෙම සුරතල් නාමයට පදනම් වී ඇත්තේ චන්දනගේ කුඩා ශරීරයයි. එම වකවානුවේ දී කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා වශයෙන් කටයුතු කළ ඇලෙක්ස් කුන්ටූරි විසින් වරක් ක්‍රීඩකයන්ගේ ශරීරවල මේද ප්‍රමාණයන් පරීක්ෂා කර බලන අවස්ථාවක දී චන්දනගේ ශරීරයේ මේදය පරීක්ෂාකර බලා “කුකුළෙකුගේ ශරීරයෙත් උඹට වඩා  මේදය තිබෙනවා” යනුවෙන් හාස්‍යජනක ලෙස පවසා ඇත. මෙම සිදුවීමෙන් පසුව කළුවිතාරණ විසින් “චිකන්” යන අරුත ලැබෙන පරිදි “චිකී” යනුවෙන් චන්දනව ආමන්ත්‍රණය කළ බවත් පසුව එය කණ්ඩායමේ අනෙකුත් සගයන් ද භාවිතා කළ බවත් පැවසේ.

එසේ ශරීර ප්‍රමාණය කුඩා වුවද කණ්ඩායමට අවශ්‍ය වූ මොහොතේ දී පිතිකරුවෙකු ලෙසින් දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමටත්, පන්දු රකින විට හතරේ සීමාව අසල සිට ඊතලයක් මෙන් කඩුල්ල වෙතටම පන්දුව ආපසු භාරදීමටත් ඔහුගේ ශරීර ප්‍රමාණය කිසි විටෙකත් ඔහුට බාධාවක් වූයේ නැත. එසේම ඔහුගේ හතරේ සීමාවේ සිට පන්දුව ආපසු භාරදීමේ වේගයට අභියෝග කරන්නට සමත් වූ පිතිකරුවෙකු එකල ජාත්‍යන්තර පිටියේ සිටියේ නැත. 

>>අනූහයේ මල්ලිලාව බලාගත්ත ලොකු අයියා – අර්ජුන රණතුංග<<

වරක් චන්දනගේ අයෝමය හස්තයට අභියෝග කරන්නට ගිය හිටපු එංගලන්ත නායක ඇලෙක් ස්ටුවර්ට් හට අවසානයේ සිදු වූයේ තමාගේ කඩුල්ල පූජා කරමින් එම තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ ඓතිහාසික පරාජයකට මුහුණ දීමටයි. ඒ 1998 වසරේ ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයක් අතරතුර දී ය. 

මෙම තරගය අපට ඉතා සුවිශේෂී එකක් වූයේ අප කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත දී ටෙස්ට් තරගයකින් එංගලන්තය පරාජයට පත් කළ පළමු අවස්ථාව එය වීම නිසායි. 

එසේම එම දුවද්දී දැවී යාම වඩාත් සුවිශේෂී වන්නේ එය චන්දන එම තරගයට ක්‍රීඩා නොකර කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා ලෙසින් පන්දු රැකීමේ කාර්යයේ යෙදී සිටිය දී ලබා ගත් දුවද්දී දැවී යාමක් වූ නිසාය.

එම සිදුවීම පිළිබඳව චන්දන සිහි කරන්නේ මෙසේය.

මාව තරගයට දැම්මත් නොදැම්මත් මං හැමවෙලේම ඒ තරගය ක්‍රීඩා කරනවා. මම ආසයි කොයි වෙලාවෙත් ක්‍රියාශීලී වෙලා ඉන්න. අපි පන්දු රකිනවා නම් මට හැමවෙලේම ඕන පිටිය ඇතුළට ගිහින් යම්කිසි දෙයක් කරන්න. එක්කො රනවුට් එකක්, එක්කො ලකුණක් නවත්තන එකක්, එහෙමත් නැත්නම් කැච් එකක්. මම හැම තිස්සෙම පන්දුව මට එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. කිසිම වෙලාවක, කිසිම බෝලෙක දි මම රිලැක්ස් වෙන්නෙ නෑ.

ඔය තරගයෙදි ඇලෙක් ස්ටුවර්ට් හොඳටම බැට් කර කර හිටියා. ඒ තරගය තමයි එංගලන්තයට එරෙහිව අපි ලබපු පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය.  ඉතින් ඒ ජයග්‍රහණයට මට දායක වෙන්න පුළුවන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඇලෙක් ස්ටුවර්ට්ව මම දෙපාරක් විතර රනවුට් කරල තියෙනවා. ඒකෙන් පස්සෙ එයා මගෙ ළඟට ගැහුවට දුවන්නෙවත් නෑ.  

ඒ වගේ ගොඩක් ක්‍රීඩකයො හිටියා එක ලකුණක් ගන්න හැකියාව තිබුනත් මගෙ ළඟට ගහල දුවන්නෙ නෑ. මොකද මම පන්දු රැකීමෙන් ඒ විදිහෙ නමක් හදාගෙන තිබුණා. ඒක නිකන් ලැබුණ දෙයක් නෙවෙයි. මහන්සි වෙලා හදාගත්ත එකක්. ඒ ආත්ම විශ්වාසය එන්නෙ පුහුණු වීමෙන්ම තමයි. කඩුල්ලට ගහල ගහල, අන්තිමේ දහයක් ගැහුවොත් නවයක්වත් වදින තරමට එනකල් පුහුණුවීම් කරල හදාගන්න ඕන.

චන්දන ක්‍රීඩා කළ අවධියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය ඉතා ඉහළින් තිබුණ බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. එම වකවානුවේ දී අප ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල රටවල් සමගින් කරට කර පන්දු රැකීමේ නිරත වූ බව එකල ක්‍රිකට් තරග නැරඹූ ප්‍රේක්ෂකයන් හොඳින් දනියි. මේ සඳහා බලපෑ ප්‍රධානතම කරුණක් වූයේ එම ක්‍රීඩකයන් සතුව පැවති කැපවීම හා උනන්දුවයි. 

>>වෙඩි උණ්ඩයට පවා නොසැලුණු තිලාන් සමරවීර<<

එකල කණ්ඩායමේ පන්දු රැකීම පිළිබඳවත්, පන්දු රැකීමේ දී තමා සතු වූ ආකල්ප පිළිබඳවත් චන්දන මෙනෙහි කරන්නේ මේ අයුරිනි.

මම සෙල්ලම් කරද්දි රොෂාන් මහානාම, රුවන් කල්පගේ වගේ දක්ෂ පන්දු රකින්නො අපිට හිටියා. අපි නිතරම උත්සාහ කළේ කවර් පොයින්ට්, ශෝට් ෆයින් වගේ තැනක පන්දු රකින්න. මුරලි බෝල් කරන කොට නම් හැමෝටම ඕන මිඩ් විකට් එකට යන්න. ඉතින් එතන ගන්න එක අමාරු වැඩක්. මොකද බෝලෙ එන්නෙ එතනට නිසා හැමෝටම ඕන එතනට යන්න. ඉතින් එතන ලැබුනෙ නැත්නම් ඒක හරි බෝරින් වගේ. පන්දුව එන්නෙ නැති තැනකට අපිව දැම්මොත් එහෙම අපිට කිසි චැලෙන්ජ් එකක් නෑ. අපි ඒකට ආස නෑ.

ඒ කාලෙ තරගයකට යනකොට අපිට කණ්ඩායමක් විදිහට ටාගට් එකක් දෙනවා.. තරගයක දි රනවුට් දෙකක් ගන්න, හාෆ් චාන්සස් ගන්න, ලකුණු 20ක් නවත්තන්න වගේ. ඒ වගේම අපි තනියම අභියෝග භාරගන්නවා. උදාහරණයක් හැටියට මම පන්දු රකින කොට ආවරණය කරන්නෙ දෙපැත්තට අඩි 10×10 ප්‍රමාණයක් නම් මම සාමාන්‍ය පන්දු රකින්නෙක්. හැබැයි මම අඩි 15×15 ප්‍රමාණයක් ආවරණය කරනවා නම් එතකොට මම විශිෂ්ට පන්දු රකින්නෙක් බවට පත් වෙනවා. අඩි 10×10 ප්‍රමාණය කාට වුනත් කරන්න පුළුවන්. මාව හොඳයි කියල පේන්නෙ අර අඩි 15 පන්දුත් නවත්තන නිසා. ඒ වගේ හැම තිස්සෙම වැඩිපුර චැලෙන්ජ් එකක් ගන්න ඕන. එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ.

චන්දන වචනයේ පරිසමාප්ත අරුතින්ම පරාර්ථකාමී ක්‍රීඩකයෙකි. එසේම ඔහු තමාගෙන් කණ්ඩායමට ඉටු විය යුතු වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට කැප වූ ක්‍රීඩකයෙකි. පුද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා කණ්ඩායම ජයග්‍රහණය කරවීමට කැප වූ චන්දනගේ එම පරාර්ථකාමී චරිත ලක්ෂණ ඉස්මතු වූ සිදුවීම් පෙළක් 1996 ලෝක කුසලාන තරගාවලිය තුළින් ගෙන හැර දැක්විය හැක.

එහි දී ඉන්දියාවට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය වෙනුවෙන් චන්දනව කණ්ඩායමට නම් කිරීමට කණ්ඩායම් නායක අර්ජුන රණතුංගත්, කණ්ඩායම් කළමනාකාරිත්වයත් තීරණය කර තිබුණි. නමුත් තරගයට පෙරදා රාත්‍රියේ නායක අර්ජුන මුණ ගැසීමට ගොස් ඇති චන්දන තමාව කණ්ඩායමට ඇතුල් කර නොගෙන ඒ වන තෙක් අඛණ්ඩව ජයග්‍රහණය කරගෙන ආ කණ්ඩායමම වෙනසක් නොකර අවසන් පූර්ව තරගයට ද සහභාගී කරවන ලෙස ඉල්ලා සිටි බව කියැවේ.

එසේම එම අවසන් පූර්ව තරගයේ 12 වැනි ක්‍රීඩකයා ලෙසින් පන්දු රැකීමේ කාර්යයේ නිරතව සිටින අතරතුර කලහකාරී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රහාරයට ලක්වන මානයේ සිටි අරවින්ද ද සිල්වාව පිටිය තුළට ගෙන ප්‍රහාර එල්ල වන කලාපයට තමා පන්දු රැකීමට යවන ලෙස ඔහු නායක අර්ජුනගෙන් ඉල්ලා සිටි බව ද කියැවේ.

මේවා සාමාන්‍ය ක්‍රීඩකයෙකුට කළ නොහැකි කැපකිරීම්ය. කණ්ඩායම් හැඟීමත්, තමාගේ රට ජයග්‍රහණය කරවීමේ පරම අදිටනත් උපරිම තලයක තිබෙන ක්‍රීඩකයෙකුට විනා වෙනත් ක්‍රීඩකයෙකුට මෙවැනි දෑ කළ නොහැක.

මෙම සිදුවීම් පෙළගැස්ම පිළිබඳව චන්දනට ඇත්තේ මෙවැනි මතකයකි.

ඇත්තටම මට ඒක නායකයාට කියන්න හිතුණා. එතකොට මට ලොකු වයසක් නෑ. 23ක් විතර ඇති. අපි තරග ජයග්‍රහණය කමින් යනකොට මට කොයිවෙලාවෙ වත් හිතුනෙ නෑ මම සෙල්ලම් කරන්න ඕන කියන එක. මගෙ ළඟ කිසිම වෙලාවක ඒ වගේ ආකල්පයක් තිබුනෙ නෑ. කවුරු සෙල්ලම් කරත් රට දිනනව නම් එච්චරයි. එතනයි මම හිටියෙ. එතකොට මටත් සතුටු වෙන්න පුළුවන්නෙ.

ඉතින් මම නායකයාට එතන දි කිව්වා සේම් ටීම් (වෙනසක් නොකර ) ගහන්න කියලා. එතකොට අර්ජුන අයියා මගෙන් ඇහුවා උඹ බය ද කියලා. මම කිව්වා නෑ, දිනපු කණ්ඩායම වෙනස් කරන්න එපා කියලා. ඊට පස්සෙ තමයි කණ්ඩායම තීරණය කළේ කණ්ඩායමේ වෙනසක් නොකර ගහන්න.

ඊට පස්සෙ සෙමි ෆයිනල් එකේ දි රොෂාන් මහානාම ආබාධයට ලක්වුන නිසා මම දවසම ෆීල්ඩ් කරනවා. මගෙ ජීවිතේ බයවෙච්ච තැනක් තමයි එතන.

ඒ කණ්ඩායමේ අරවින්ද අයිය තමයි අපේ හිටපු ප්‍රධානතම පිතිකරුවා. මට ආබාධයක් වුනොත් හොඳ කරගන්න කාලයක් තියෙනවා. හැබැයි අරවින්ද අයියට වැදුනොත් අවසන් මහා තරගයට තියෙන්නෙ දවස් දෙක තුනයිනෙ. ඉතින් මට තේරුණේ අරවින්ද අයියව ඇතුළට ගන්න ඕන කියන එක. කණ්ඩායමේ ප්‍රධාන එක්කෙනා එයා නම් එයාව ඇතුළට ගන්න ඕනනෙ. එයාව පරිස්සම් කරන්න ඕන කියන හැඟීම මගෙ හිතේ තියෙන්න ඇතිනෙ. ඒක තමයි මම අරවින්ද අයියව ඇතුළට අරන් මම හතරේ සීමාවට ගියෙ. එතකොට තමයි අර බෝතල් එහෙම එන්න පටන් ගත්තෙ.

>>වමත් කණ්ඩායම හා දකුණත් කණ්ඩායම; කවුරු දිනයි ද?<<

මුලින්ම අපිට දොඩම්වලින් ගහන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඇපල් එන්න ගත්තා. මමත් ඉතින් වටේට බලන කොට ඔක්කොම එනවා පේනවා. ඊට පස්සෙ විකට් එකක් ගියාම තරගය නැවැත්තුවා. ඊට පස්සෙ ටික වෙලාවකින් ආයෙත් තරගය පටන් ගත්තම මම බෝලෙ නෙවෙයි අනිත් පැත්ත බලන්නෙ. ඒ වෙනකොට ප්‍රේක්ෂකාගාරවලින් පුවරපු වතුර බෝතල් එහෙම තමයි එන්නෙ. මම ඒ පුරවපු වතුර බෝතලේ අරන් ගිහින් විනිසුරුවන්ට පෙන්නුවට පස්සෙ තරගය නවත්වන්න තීරණය කළා. 

ඊට පස්සෙ ඔක්කොම ක්ලියර් කරලා අපිව අරගෙන යනකල් අපි පැය දෙකකට වඩා ක්‍රීඩාගාරයෙ හිටියා. එතන දි මට ඇත්තටම මරබය දැනුණා. මොකද ඒ මිනිස්සුන්ගෙ පාලනයක් නෑනෙ. මැච් එක පටන්ගන්න කලිනුත් විසිදාහක් විතර සෙනග එළියෙ. අපි වෝමප් එකට යනකොටත් එක්ලක්ෂ දහදාහක් ඇවිත් ග්‍රවුන්ඩ් එක පිරිල ඉවරයි. ලංකාවෙ කෙනෙක් පේන්නවත් නෑ. පස්සෙ අපි ආපහු යනකොට ජීප්වලින් අපේ බස් එක වටකරගෙන තමයි අපේ බස් එක අරගෙන ගියෙ.

ඒ අතරතුර සිදු වූ රසවත් සිදුවීමක් පිළිබඳව ද චන්දන මෙලෙසින් සිහි කරයි.

තරගය නවත්තලා අපිට දිනුම දුන්නම අපි ආපහු ක්‍රීඩාගාරයට එනකොට තරගය දිනපු සතුටට කුමාර් ධර්මසේන අත්දෙක උස්සලා යේ කියලා කෑ ගැහුවා. එවෙලෙ අර්ජුන අයියා කුමාර්ට දාපිය අත්දෙක පහලට කියල කිව්වා. (සිනාසෙමින්) ඊට පස්සෙ මාස හයක් විතර යනකල් කුමාර් ඉල්ලීමක් කරන්නවත් අත්දෙක උස්සනව දැක්කෙ නෑ. 

කණ්ඩායම් හැඟීමෙන් හා ආකල්ප වලින් පමණක් නොව දක්ෂතා අතින් ද චන්දන කිසිවෙකුට දෙවැනි වූ ක්‍රීඩකයෙකු නොවේ. ප්‍රබල ඕස්ට්‍රේලියානු තරග බිමේ ටෙස්ට් තරගයක කඩුලු දහයක් දවාගෙන ඇති එකම පන්දු යවන්නා වන්නේ චන්දනයි. එය මුරලිදරන්, චමින්ද වාස්, ලසිත් මාලිංග, රංගන හේරත් වැනි විශිෂ්ටයින් කිසිවෙකුට මේ වන තෙක් දැක්විය නොහැකි වූ සුවිශේෂී දක්ෂතාවයකි. 

එම දක්ෂතාවය පිළිබඳව චන්දන තම මතකය ආවර්ජනය කරන්නේ මේ අයුරිනි.

ඕස්ට්‍රේලියාවෙදි නෙවෙයි කොයිම හෝ රටක එහෙම කඩුලු දහයක් ගන්න පුළුවන් වෙනව නම් ඒක ලොකු අභියෝගයක්. වාසනාවක්. ඉතින් මුරලි ගියෙ නැති නිසා එදා මට ඒ අවස්ථාව ලැබුණා. මුරලි ඉන්න කොට පන්දු යවන්න ලැබෙන අවස්ථාව අඩුයි. මුරලි නැති නිසා එදා මට ඕවර් 30ක් විතර දාන්න හම්බුනා. ඒ තණතීරුවෙ දඟකැවීමක් තිබුනෙත් නෑ. 

ඒත් මම හොඳට පන්දු යවපු නිසා මට හොඳ ක්‍රීඩකයන් දවා ගන්න පුළුවන් වුනා. ඒ වගේම අපිට දවස් පහම ක්‍රීඩා කරලා හොඳ තරගයක් දීලා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න පුළුවන් වුනා. ඕස්ට්‍රේලියාවට එරෙහිව ඒ වගේ තරගයක් දෙන්න පුළුවන් වුන එක අපේ කිසිම ක්‍රීඩකයෙක්ට අමතක වෙන එකක් නැහැ. එදා අනිත් පැත්තෙන් බෝල් කළේ ශේන් වෝන්. වෝන් එක්ක බෝල් කරලා කඩුලු දහයක් දවා ගන්න හැකි වුන එක ගැනත් මම ගොඩක් සතුටු වෙනවා. ඒක මගෙ ජීවිතේ ලබපු වාසනාවන්ත දවසක්.

මුරලිදරන්ගේ දැවැන්ත සෙවණැල්ලට යට වීම නිසා ටෙස්ට් තරග පිටියේ දිගින් දිගටම දක්ෂතා දැක්වීමට චන්දනට අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් ලද සීමිත අවස්ථාවලින් ඔහු තමා කවරෙක් ද යන්න ඔප්පු කර පෙන්වා හමාරය. එසේම එක්දින පිටිය තුළ ඔහු දක්වා ඇති දස්කම් නම් ප්‍රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන මතකයන් බවට පත්වී ඇති බවට කිසිදු සැකයක් නොමැත.. 

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සැබෑ මහත්වරුන් වූ චන්දන වැනි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වූ අයුරු, එක ලකුණට පවා සටන් කරමින් ක්‍රීඩාශීලී ලෙස තරග වැදුණ අයුරු එකල සජීවී ලෙසින් නරඹන්නට අවස්ථාව හිමි වූ අප සැබැවින්ම ඉතා වාසනාවන්තය.

සංඛ්‍යා දත්ත පරිශීලනය කරන්නෙකුට නම් උපුල් චන්දන යනු සාමාන්‍ය ක්‍රීඩකයෙකි. ඒ ඔහුගේ දස්කම් සටහන් වී ඇති ඉලක්කම් සාමාන්‍ය අගයන් වලින් යුතු වීම නිසාය. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ඉලක්කම්වලින් ඔබ්බට ගිය එකක් බව ක්‍රීඩාව පිළිබඳව හැදෑරීමක් ඇති ඕනෑම අයෙකු දන්නා කරුණකි.

පැවරුණ රාජකාරිය තිතටම ඉටු කරමින් ඉලක්කම්වලින් ඔබ්බට ගිය වටිනාකමක් කණ්ඩායම වෙත ලබා දුන් ඔහු හැකි සෑම විටම කණ්ඩායම වෙනුවෙනුත්, කණ්ඩායම් සගයන් වෙනුවෙනුත් තම උපරිමය ලබා දුන් ක්‍රීඩකයෙකි.

තමාගේ පුද්ගලික උන්නතිය උදෙසා රටත්, තම කණ්ඩායමත් අමතක කරමින් තරග පාවා දෙන ඇතැම් ක්‍රීඩකයන් සිටින අද වැනි යුගයක තමාගේ රටත්, කණ්ඩායමත් පෙරට තබා ක්‍රීඩා කරන චන්දන වැනි ක්‍රීඩකයන් ඉතා දුර්ලභය.

උපුල් චන්දන පුරාවෘතයක් වන්නේ එබැවිනි..

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<