ThePapare.com වසරේ පාසල් ක්‍රිකට් කණ්ඩායම – 2021

334

2021 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B කොටසේ තරග මැයි මාසය ආරම්භයේ දී අවසන් වුනා. එහි දී Tier A කොටසේ ශූරතාව දිනා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වන විට, Tier B කොටසේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වුනා.

එසේම Tier A කොටසේ අනුශූරයින් බවට කොළඹ රාජකීය විද්‍යාලය පත්වන විට, රත්ගම දේවපතිරාජ විද්‍යාලය Tier B කොටසේ අනුශූරතාව දිනා ගත්තා. දැන් අප සූදානම් වන්නේ ඒ ඒ පළමු පෙළ පාසල් කණ්ඩායම්වල ක්‍රීඩකයින් දැක්වූ දස්කම් අනුව ThePapare.com වසරේ පාසල් ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමටයි.

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් කර ගත් කාලවකවානුව තුල තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි වීම නිසාවෙන් මෙවර තරගාවලිය Tier A සහ Tier B ලෙස කාණ්ඩ දෙකක් යටතේ එක්දින තරගාවලියක් ලෙස  පැවැත්වුනා. ඒ සඳහා පාසල් 36ක් සහභාගී වුනා

Tier A සහ Tier B කොටස් දෙකේම සමස්තයක් විදිහට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම් නායක අහන් වික්‍රමසිංහයි. ඒ වගේම සමස්තයක් ලෙස Tier A සහ Tier B කොටස් දෙකේ වැඩිම කඩුලු දවා ගත්තේ ධර්මාශෝක විද්‍යාලයේ නායක ලොහාන් ද සොයිසායි.

ඕනෑම සාර්ථක අවසානයක ආරම්භය අසාර්ථක වුවහොත් ඒ ගමන සාර්ථක කර ගැනීම සඳහා වැඩි වෙහෙසක් ගැනීමට සිදු වනවා. ඒක නිසා අපි ThePapare.com වසරේ පාසල් ක්‍රිකට් එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් තෝරා ගන්නකොට ඔවුන් ලබා ගත් ලකුණු, තරග දිනවන්න පිතිකරුවෙක් විදිහට ලබා දුන්න දායකත්වය, තරගයක් කණපිට හැරවීම සහ දිගින් දිගටම ලකුණු අතර සිටීම යන කරුණු කාරනා පිතිකරුවෙක්ගෙන් බලාපොරොත්තු වුනා.

තරගාවලිය පුරාවට අපිට ආරම්භක පිතිකරුවන් යුගල 40කට වැඩි ප්‍රමාණයක් දැකගන්නට ලැබුනත්, දස්කම් අතින් බැලුවහම මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන, කෞෂිත කොඩිතුවක්කු, සාන්ත ජෝසප් විද්‍යාලයේ සදීෂ් රාජපක්ෂ, ශෙරන් ෆොන්සේකා, සාන්ත අන්තෝනි විද්‍යාලයේ චමිඳු වික්‍රමසිංහ, වෙස්ලි විද්‍යාලයේ සාහිල් ඩයස්, රාජකීය විද්‍යාලයේ ඉසිවර දිසානායක වගේ පිතිකරුවන් කිහිප දෙනෙක් දස්කම් අතර සිටියත්, අපිට ආරම්භක පිතිකරුවන් විදිහට තෝරාගන්න පුළුවන් දෙන්නයි.

මොවුන් අතරින් එක් ආරම්භක පිතිකරුවෙකු ලෙස අත්දැකීම් බහුල Tier A කොටසේ දෙවන වැඩිම ලකුණු ලාභියා වුනු ශෙරන් අප කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා සහ කඩුලු රකින්නා ලෙස තෝරාගන්නවා. ඔහු එක්දින තරගාවලියේ දී අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 407ක් ලබා ගන්නේ 58.14ක ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ශෙරන් සමඟින් අනෙක් අන්තයෙන් ආරම්භය ලබා ගැනීම සඳහා අප Tier B කොටසේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා සහ තෙවැනි වැඩිම කඩුලු ලාභියා වුනු නවෝද් පරණවිතාන තෝරාගන්නවා. 39.25ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ අර්ධ ශතක 4ක් එල්ල කරමින් නවෝද් ඉනිම් 8ක දී ලකුණු 314ක් ලබා ගත්තේ පන්දු යැවීමෙන් කඩුලු 14ක් ද දවා ගෙනයි. ඒ නිසා නවෝද් මේ කණ්ඩායම තුල සමබරතාවය වැඩි කරගැනීමට ද ලොකු හයියක්.

පිතිකරණ ලැයිස්තුවේ අංක 3, 4, 5 සහ 6 ස්ථානය සඳහා අප අවධානය යොමු කරලා බැලුවහම කොළඹ නාලන්දාවේ විනුජ රන්පුල් සහ රවීන් ද සිල්වා, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ දිනිරු අබේවික්‍රමසිංහ, රත්ගම දේවපතිරාජයේ පවන් සංදේශ් සහ ජීවක ශෂීන්, කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ අහන් වික්‍රමසිංහ, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ අවිශ්ක තරිඳු වගේ ක්‍රීඩකයින් රැසක් සිටිනවා. 

නමුත් එම ස්ථානවලට අපි ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී  තරගයක අවසානයක් දක්වා කණ්ඩායමක් රැගෙන යාමට තිබෙන හැකියාව, ඔවුන් මෙවර තරගාවලියේ දී දැක්වූ දක්ෂතා සහ තරග කණපිට හැරවීම්, සහ පසුපෙළ පිතිකරුවන් සමඟ හොඳ පිතිකරණ සබඳතා ගොඩනැංවීමට තිබෙන හැකියාව සහ අමතර සුදුසුකමක් ලෙස පන්දු යැවීමට තිබෙන හැකියාව ද සලකා බැලුවා.

එහෙම බැලුවහම අංක 3 ස්ථානයට මහානාම විද්‍යාලයේ පවන් රත්නායක, අංක 4 ස්ථානයට රාජකීය විද්‍යාලයේ අහන් වික්‍රමසිංහ, අංක 5 ස්ථානයට නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා සහ අංක 6 ස්ථානයට දේවපතිරාජ විද්‍යාලයේ පවන් සංදේශ් තෝරාගත්තා. 

පවන් සංදේශ් සහ රවීන් ද සිල්වා ඕනෑම අවස්ථාවක පිතිකරණ ලැයිස්තුව වෙනස් කරමින් කැඳවීමට හැකි ක්‍රීඩකයින් දෙදෙනෙක් වීම නිසා සහ ඔවුන්ට පන්දු යැවීමට තිබෙන හැකියාව ද නිසා ඔවුන්ව අප මේ කණ්ඩායමට ඇතුළත් කළා. එසේම රවීන් මේ තරගාවලියේ දී 6 පහර 11ක් සහ 4 පහර 27ක් එල්ල කර ඉතාමත් වේගයෙන් පන්දුවට පහර දී තිබෙන්නේ 103.36ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

අංක 4 ස්ථානය දිනා ගත් මහානාම කණ්ඩායම් නායක පවන් රත්නායක තරගාවලිය තුළ ලකුණු 400ක් රැස් කළේ සිය ලකුණු සාමාන්‍ය 66.67ක් ලෙස පවත්වා ගනිමිනි. තවද ඕනෑම අවස්ථාවක ඔහුට පන්දු යැවීමෙන් ද දායක වන්නට පුළුවන්.

අංක 5 ස්ථානය ලබා දුන්න රාජකීය නායක අහන් වික්‍රමසිංහ Tier A කොටසේ වැඩිම ලකුණු ලාභියා වුනේ ලකුණු 474ක් ලබාගෙනයි. එහි දී ඔහුගේ ලකුණු සාමාන්‍ය 79.00ක් ලෙස සටහන් වුනු අතර ප්‍රහාරාත්මක වේගය ද 102.16ක් ලෙස සටහන් වුනා.

දකුණතින් පන්දුවට පහර දෙන රවීන් ලකුණු 338ක් රැස්කර ගනිමින් Tier A කොටසේ 4 වැනි වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු සාමාන්‍ය 112.67ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.  අනෙක් අන්තයෙන් දකුණතින් පන්දුවට පහර දෙන පවන් සංදේශ් ලකුණු 343ක් රැස් කරගනිමින් Tier B කොටසේ වැඩිම ලකුණු ලාභියා වුනේ සාමාන්‍ය 49.00ක් ලෙස පවත්වා ගනිමින්. එසේම ඔවුන් දෙදෙනාටම තරගයක් සාර්ථකව නිම කිරීමට ද ලොකු හැකියාවක් තිබෙනවා.

අංක 7 ස්ථානය සඳහා වේගයෙන් පන්දුවට පහර දීමට හැකි සහ තරගයක් අවසන් කළ හැකි පිතිකරුවෙක් අවශ්‍ය වන අතර ගාල්ල මහින්ද විද්‍යාලයේ ධනුජ ඉඳුවර, කොළඹ රාජකීය විද්‍යාලයේ කවිඳු පතිරත්න සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ පිළිබඳව අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වුනා. නමුත් කිසිදු විවාදයකින් තොරව අප කණ්ඩායමේ අංක 7 ස්ථානය හිමි වුනේ කොළඹ සාන්ත ජෝසප් කණ්ඩායම් නායක දුනිත් වෙල්ලාලගේ හටයි.

වමතින් පිත්ත හසුරවන දුනිත් තරගාවලිය තුළ ලකුණු 221ක් රැස් කොට ඇති අතරම දක්ෂ වමත් පා දඟපන්දු යවන්නෙකු වන දුනිත් Tier A කොටසේ වැඩිම කඩුලු ලාභියා වුනේ කඩුලු 15ක් දවාගෙනයි. 

විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන දුනිත් අප කණ්ඩායමේ නැතුවම බැරි සාමාජිකයකු වන අතරම මූලික වටය නිමා වන විට Tier A කොටසේ 7 වැනි ස්ථානයේ සිටි සිය පාසල් කණ්ඩායම Tier A කොටසේ ශූරතාව කරා මෙහෙය වීමට ද හැකියාව ලද බැවින් අප මේ හොඳම කණ්ඩායමේ නායකත්වය හිමි වන්නේ ද දුනිත් හටයි. ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ද අත්දැකීම් ලබාගෙන තිබෙනවා.

අංක 8 ස්ථානය සඳහා තණතීරුව අනුව වේගපන්දු යවන්නෙකු හෝ දඟපන්දු යවන්නෙකු යෙදවීමේ හැකියාව පවතින අතර දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක අප කණ්ඩායමේ අංක 8 ස්ථානය හිමිවන්නේ අම්බලංගොඩ ධර්මාසෝක විද්‍යාලයේ නායක ලොහාන් ද සොයිසා හටයි. Tier B කොටසේ වැඩිම කඩුලු ලාභියා වන ඔහු කඩුලු 17ක් දවා ගත්තා. එමෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද වන ලොහාන් කණ්ඩායමේ ස්ථානය හිමි කරගන්නේ ත්‍රිත්ව විද්‍යාලයේ නායක අභිෂේක් ආනන්දකුමාර්ව අභිබවමින්.

අංක 9 ස්ථානය සඳහා අත්දැකීම් බහුල මෙන්ම දක්ෂතා අතර සිටිනා වේගපන්දු යවන්නෙකු වන අම්ෂි ද සිල්වා කැඳවීමට අප තීරණය කළා. Tier A කොටසේ දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස වැඩිම කඩුලු සංඛ්‍යාවකට උරුමකම් කියන අම්ෂි දවා ගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 12ක්. එමෙන්ම වත්මන් පාසල් තරග බිමෙහි වේගවත්ම පන්දු යවන්නෙක් ද වන අම්ෂි අප කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන අතර රිච්මන්ඩ් විද්‍යාලයේ නායකත්වය දැරූ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළා.

දකුණතින් වේගපන්දු යවන අම්ෂිගේ සහාය වෙනුවෙන් වමත් වේගපන්දු යවන්නෙක් අප තෝරාගැනීමට තීරණය කළ අතර Tier A කොටසේ තෙවැනි වැඩිම කඩුලු ලාභියා සහ වැඩිම කඩුලු දවා ගත් වේගපන්දු යවන්නා ලෙස ඉදිරියෙන් සිටින මහානාම විද්‍යාලයේ සම්පත් නිශ්ශංකට අප කණ්ඩායමේ අංක 10 ස්ථානය ලබා දීමට තීරණය කළා.

කණ්ඩායමේ අවසන් ස්ථානය ලෙස අපි තෝරා ගන්නේ නිත්‍ය පිට දඟපන්දු යවන්නෙක්. මේ සඳහා Tier A කොටසෙන් සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙනුක ද සිල්වා සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ සචිර රශ්මිකත්, Tier B කොටසෙන් සසංක නිර්මාල් සහ සහන් සංකල්ප පිළිබඳව අප අවධානය යොමු කළ අතර Tier B කොටසේ දෙවන වැඩිම කඩුලු ලාභියා වන සහන් සංකල්ප තෝරාගැනීමට අප තීරණය කළා. 

අම්බලංගොඩ ධර්මාශෝක කණ්ඩායමේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සහන් තරගාවලියේ දී කඩුලු 16ක් දවා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්. එමෙන්ම දකුණත් පිට දඟපන්දු යවන්නෙකු ලෙස තරගාවලි  ද්විත්වයෙන්ම වැඩිම කඩුලු ලාභියා වූ සහන් අප කණ්ඩායම වෙනුවෙනුත් සිය උපරිමය යොදවනු ඇත.

අප මේ කණ්ඩායම තෝරාගැනීමේ දී ඒ ඒ ස්ථාන සඳහා සුදුසු දස්කම් සහ දත්ත අනුව යමින් කණ්ඩායම තෝරා ගත් අතර පාසල් තරගාවලියේ ක්‍රීඩා කළ නායකයින් 36 දෙනාගෙන් 7 දෙනෙකුම අප තෝරාගත් මේ ක්‍රීඩකයින් 11 දෙනාගේ හොඳම කණ්ඩායමට ඇතුලත්ව තිබීම සුවිශේෂී වුනා.

ThePapare.com වසරේ පාසල් ක්‍රිකට් කණ්ඩායම – 2021 කණ්ඩායම මෙසේයි,

  1. ශෙරන් ෆොන්සේකා – සාන්ත ජෝසප් විද්‍යාලය
  2. නවෝද් පරණවිතාන – මහින්ද විද්‍යාලය
  3. පවන් රත්නායක – මහානාම විද්‍යාලය
  4. අහන් වික්‍රමසිංහ – රාජකීය විද්‍යාලය
  5. රවීන් ද සිල්වා – නාලන්දා විද්‍යාලය
  6. පවන් සන්දේශ් – දේවපතිරාජ විද්‍යාලය
  7. දුනිත් වෙල්ලාලගේ (නායක) – සාන්ත ජෝසප් විද්‍යාලය
  8. ලොහාන් ද සොයිසා – ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ
  9. සම්පත් නිශ්ශංක – මහානාම විද්‍යාලය
  10. සහන් සංකල්ප – ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ
  11. අම්ෂි දි සිල්වා – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<