CR&FC – පොලිස් තරගයේ දී ඇත්තටම මොකද වුනේ?

88
Sri Lanka Club Rugby

පසුගිය දා නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ වඩාත්ම කතාබහට ලක්වූ තරගය වූයේ CR&FC කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර තරගයයි. 

එම තරගයේ 60 වැනි මිනිත්තුවේ දී තරගය අත්හැර දැමීමට CR&FC කණ්ඩායම ක්‍රියා කළේ ප්‍රේක්ෂකයන්ට හා ප්‍රතිවාදීන්ට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. 

CR&FC තරගය අත්හැර දමයි; පොලීසියට ජය

කෙසේ වෙතත් CR&FC කණ්ඩායමේ මෙම ඉවත් වීමෙන් අනතුරුව ඒ වන විට තරගයේ පෙරමුණ ගෙන සිටි පොලිස් කණ්ඩායමට ලකුණු 27-16ක් ලෙස ජයග්‍රහණය ලබා දීමට බලධාරීන් කටයුතු කළේ පවතින නීතිරීති වලට අනුවය. 

මෙම තරගය සඳහා තරග තීරකවරයා ලෙස කටයුතු කළේ සෆාරුල්ලා රහ්මාන් ය. ඔහු සඳහන් කළේ මෙම තරගයේ ක්‍රීඩකයන් පිළිබඳව යම් ආරක්ෂක අවදානමක් ගොඩනැගී තිබූ බවත් ඒ පිළිබඳව තරගයේ වෛද්‍යවරයා පරීක්ෂණයක් සිදු කළ බවත්ය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ThePapare.com වෙත අදහස් දක්වමින් CR&FC කණ්ඩායමේ ඉහල නිලධාරියෙකු පවසා සිටියේ මෙම තීරණය පිළිබඳව තම කණ්ඩායම ද සතුටු නොවන බවයි. 

“අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙකුටම ඇස් ලෙඩ හැදිලා තිබුණා මහනුවර තරගයෙන් පස්සේ. ඒ අතරින් ක්‍රීඩකයන් කීපදෙනෙක්‍ට ක්‍රීඩා කරන්න සුවය ලැබිලා තිබුණා. අපි මේ පිළිබඳව තරග තීරකවරයා එක්ක සාකච්ඡා කරලා ඔවුන්ට ක්‍රීඩා කරන්න අවසරය ලබාගත්තා.” 

“කණ්ඩායම් නායකයා වූ ඔමල්ක ගුණරත්නත් ක්‍රීඩා කරන්න අවසරය ලැබිලා තිබුණා. ඔහුව අතිරේක ක්‍රීඩකයෙක් විදිහට අපි තරගයට එක් කරලා තිබුණා. ඒත් තරගය ආරම්භ වුනාට පස්සේ පොලිස් කණ්ඩායම අපේ ක්‍රීඩකයන් පිළිබඳව පැමිණිලි කරලා තිබුණා. ඒ ගැන සලකා බැලූ තරග වෛද්‍යවරයා ඔමල්කට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දුන්නේ නෑ.” 

දාබරේගේ උත්සාහය අපතේ යයි

“අපේ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට ආදේශකයන් තිබුණේ නෑ. අපිට සිදු වුනා ඒ ස්ථානවලට වෙනත් ක්‍රීඩකයන් යොදවන්න. ඒක අපිට සිදු වුන අවාසියක්.” 

“මේ පිළිබඳව අපිට තරගයට පෙර දැනුම් දුන්නා නම් අපිට ඒක ගැන සලකා බලලා සුදුසු ක්‍රීඩකයන් තරගයට යොදවන්න තිබුණා.”

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් මෙම තරගයේ වෛද්‍යවරයා පවසා සිටියේ ඔමල්ක ගුණරත්න හට ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීම නිසි පරීක්ෂණයකින් අනතුරුව අනෙකුත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ගනිමින් සිදු කළ බවයි. 

“තරගයට පෙර පොලිස් කණ්ඩායමේ කළමනාකාරිත්වය පැමිණිල්ලක් කළා CR&FC. කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු පිළිබඳව. ඔවුන්ට ඇස් ලෙඩ තිබෙන බවට ඔවුන් පවසා සිටියා. ඒ වගේම පොලිස් කණ්ඩායමට මීළඟ සතියේ දී වැදගත් තරගයක් තිබෙන බවත් පවසා සිටියා.” 

“තරගයේ 2 වැනි මිනිත්තුවේ දී ලිඛිත පැමිණිල්ලක් ලැබුණා පොලිස් කණ්ඩායමෙන්. තරග තීරකවරයාගේ අවසරය මත මම නැවතත් ක්‍රීඩකයන් පරීක්ෂා කළා. ඒ ක්‍රීඩකයන් සිව්දෙනාගෙන් තිදෙනෙක්ට ක්‍රීඩා කළ හැකි තත්වයක් තිබුණා. ඒත් ඔමල්ක ගුණරත්නට පැහැදිලිවම conjunctivitis රෝග ලක්ෂණ තිබුණා. 

ඔහුගේ ඇස් ඉදිමිලා රතු වෙලා තිබුණේ. ඒක පැහැදිලිවම conjunctivitis රෝග ලක්ෂණයක්. ඒ වෙලාවේ CR&FC කළමනාකරු ඒක පිළිගත්තා. මම ඔහුට ක්‍රීඩා කරන්න අවසරය ලබා දුන්නේ නෑ. ” 

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී CR&FC කළමනාකරුට අවශ්‍ය වුනා ඔමල්ක තරගයට යොදවන්න. ඒත් ඒකට තරග තීරකවරයා අවසර දුන්නේ නෑ. ඒ වෙලාවේ තමයි CR&FC කණ්ඩායම තරගයෙන් ඉවත් වුනේ.”

මහනුවර ඉදිරිපෙළ හමුවේ හැව්ලොක් අසරණ වෙයි 

වෛද්‍ය නමිත් සංකල්පන පවසා සිටියේ මෙම තීරණය තරගයේ ක්‍රීඩා කළ සියලු ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත් තීරණයක් බවයි. 

“තරග වෛද්‍යවරයාගේ වගකීම තමයි මේ ක්‍රීඩකයන් සියලු දෙනාගේම ආරක්ෂාව. මේ වගේ බෝවන රෝගයක් එක්ක ක්‍රීඩකයෙකු තරගයට යොදවන එකෙන් ක්‍රීඩකයන්ගේ වගේම විනිසුරුවන්ගේත් ආරක්ෂාව අවදානම් තත්වයකට පත්කරනවා.”

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉහල ආරංචි මාර්ගවලට අනුව මෙම තරගය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<