මුම්බායි හි සචින් – විනෝද් ඉන්දියාව කැලඹූ හැටි

130
Image courtesy : Sportstar

1988 වසරේ පෙබරවාරි මස දිනක ඉන්දියාවේ පාසල් අතර පැවැත්වෙන හැරිස් පලිහ කුසලානයේ තරගයක් බොම්බායේ අසාඩ් මෙයිඩන්හි සසේනියන්ස් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. ශරදාශ්‍රම් විදුහල සහ සාන්ත සේවියර් කණ්ඩායම අතර පැවති ඒ තරගය 1988 වසරේ හැරිස් පලිහ තරගාවලියේ අවසන් පූර්ව තරගය විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශරදාශ්‍රම් කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහර දීමේ වාරය තමන් සතු කර ගත්හ. ශර්දාශ්‍රම් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු ඉතාම ඉක්මනින් දැවී ගිය අතර ඔහු වෙනුවෙන් පන්දුවට පහර දෙන්නට විනෝද් කම්බ්ලි නම් ළාබාල ක්‍රීඩකයෙකු පිටියට පිවිසියේය.

ලකුණු අසූ හතර වෙද්දී ශරදාශ්‍රම් කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස අනෙක් ආරම්භක පිතිකරුවා දැවී ගිය අතර ශරදාශ්‍රම් කණ්ඩායමේ නායකයා පිතිකරණයට සෙමින් සෙමින් පිටියට පිවිසුණේය. සචින් තෙන්දුල්කාර් නම් ඔහු ඒ වන විටත් ඉන්දියාව පුරා බොහෝ දෙනෙකු අවධානයෙන් සිටි ක්‍රීඩකයෙකි. ඉන්දීය පාසල් ක්‍රිකට් පිටියේ නමක් දැරූ පිතිකරුවෙකු වූ සචින් ශතක පිට ශතක වාර්තා කිරීමට නම් දරා සිටි අයෙක් විය.

සචින් පිටියට පිවිසෙන විට සාන්ත සේවියර් විදුහලේ පන්දු යවන්නන් මුහුණ දී සිටියේ විශාල අභියෝගයකටය. බොම්බායේ සිටින අතිවිශිෂ්ටතම පාසල් ක්‍රීඩකයින් දෙදෙනා ඒ වන විට කඩුල්ලේය. දෙදෙනාගෙන් එකෙකු ඉක්මනින් දවා නොගතහොත් එය තරගයේ අවසානය බව සේවියර් පන්දු යවන්නෝ තේරුම් ගෙන සිටියහ. නමුත් දවා ගන්නේ කාගේ කඩුල්ල ද?

1996 ලෝක කුසලාන ජය අරවින්දගේ ඇසින්!

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය….

පන්දු කරුවන්ගේ ප්‍රහාරය ඉතා දැඩිවුවද තෙන්දුල්කාර් සහ කම්බ්ලි යුගල සේවියර් කණ්ඩායමේ පන්දු යවන්නන් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. පිටිය සිසාරා හතරේ පහර එල්ල කරන තෙන්දුල්කාර්, කම්බ්ලි යුගලය අවස්ථාවක් ලද සෑමවිටක දී ම ඉක්මන් ලකුණ දෙක ලබා ගන්නට ද සමත් විය.

පළමු දිනයට තරගය නිමා වෙද්දී තෙන්දුල්කාර්ගේ ගිණුමට නොදැවුණ ලකුණු 192ක් ද, කම්බ්ලිගේ නම ඉදිරියෙන් නොදැවුණ ලකුණු 182ක් ද සනිටුහන්ව තිබුණි.

එදින සැන්දෑ කාලයේ ශරදාශ්‍රම් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කාර් ඇමතූ පුහුණුකරු රාමකාන්ත් අච්‍රේකාර් මෙසේ පැවසීය.

“හෙට මම මැච් එකට එන්නේ නෑ. ලක්ෂ්මන් සර් තමා ඉන්නේ”

ලක්ෂ්මන් චවාන් යනු රාමකාන්ත් අච්‍රේකාර් නම් ශරදාශ්‍රම් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරතුමාගේ දෙවැනියාය. අච්‍රේකාර් මහතා නොමැති නම් වගකීම පැටවෙන්නේ ලක්ෂ්මන් චවාන් මත වුවද තරගයක අවසන් තීරණ සියල්ල ගැනෙන්නේ අච්‍රේකාර් ප්‍රධාන පුහුණුකරුවාගේ අනුදැනුම මතය.

දෙවන දිනට තරගය ආරම්භ වී මොහොතක් යන්නට පෙර ද්විත්ව ශතක කඩඉමෙන් ඔබ්බට පැන ගන්නට තෙන්දුල්කාර්ට මෙන්ම කම්බ්ලිට ද හැකියාව ලැබුණි.

ශරදාශ්‍රම් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව පන්සීය ඉක්මවා යද්දී සහාය පුහුණුකරු ලක්ෂ්මන් දුරකතනය ඔස්සේ අච්‍රේකාර් පුහුණුකරු ඇමතීය.

තරගයේ ලකුණු තත්ත්වය දැන ගත් අච්‍රේකාර් මහතා සිය සහාය පුහුණුකරුවාට උපදෙස් දුන්නේ වහාම ඉනිම අත්හිටුවන ලෙසය.

“සචින්ට කියන්න ඩික්ලෙයාර් කරන්න කියල. හෙට අනිත් ටීම් එක අවුට් කරන්නත් ඕන. අනික හෙට අපිට ෆීල්ඩ් කරන්න වෙන්නේ සචින් නැතුව”

අච්‍රේකාර් පුහුණුකරුවා පැවසීය. හැරිස් කුසලානයේ අවසන් දිනයේ පාසල් අතරම පැවැත්වෙන ගිල්ස් කුසලානයේ තරගයක් වෙනුවෙන් සචින්ට සහභාගී වීමට තිබෙන බව ශරදාශ්‍රම් පුහුණුකරුවා දැන සිටියේය.

ප්‍රධාන පුහුණුකරුවාගේ පණිවිඩය දෙන්නට ගොස් ලක්ෂ්මන් සර් වැටුණේ සෑහෙන අමාරුවකය. ඔහුගේ පණිවිඩය කිසිසේත්ම ගණන් ගැනීමට තෙන්දුල්කාර් හෝ කම්බ්ලි සූදානම් වූයේ නැත.

හිතුවක්කාර ඉන්දියානුවා ‘විරු පාජී’

පාසල් ගොස් පැමිණි දිල්ලියේ කුඩා දරුවෙකු සිය පාසල් බෑගය වෙනදාට…..

අච්‍රේකාර් සර්ගෙන් දෙවන ඇමතුම ලැබෙද්දී ලක්ෂ්මන් සර්ම හතරේ සීමාව අසලට ගොස් පණිවිඩය දෙන්නට උත්සහ කළ ද, පිටිය මැද සිටින පිතිකරුවන් දෙදෙනා ලක්ෂ්මන් සර් දකින විට වෙනතක් බලාගන්නට කටයුතු කළහ.

ලක්ෂ්මන් සර් කැරකෙන්නේ තමන්ට ඉනිම අත්හිටුවන්නට විධානය දෙන්නට බව පාසල් පිතිකරුවන් දෙදෙනා හොඳින්ම දැන සිටියහ.

මේ වන විට තෙන්දුල්කාර්- කම්බ්ලි පිතිකරණ වරුණ දැන ගත් අවට ගම් දනව්වල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වැල නොකැඩී අසාඩ් මෙයිඩන්හි සසේනියන්ස් ක්‍රීඩා පිටියට ඇදී එන්නට වූහ.

මේ අතර අසාඩ් මෙයිඩන්හි ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ පුද්ගලයා පත්ව සිටියේ මහත් අසීරුතාවයකටය. එවන් විශාල ඉනිමකට සරිලන්නට නොම්මර තහඩු සසේනියන්ස් ක්‍රීඩා පිටියේ තිබුණේ නැත. අසල ක්‍රීඩා පිටියකින් අමතර නොම්මර තහඩු කිහිපයක් ලැබුණ විට ඔහුගේ බිය තුරන් විය.

සහාය පුහුණුකරුවාගේ වදන් කණට නොගත් සචින්ට තමන් කළ ක්‍රියාවේ බරපතළකම වැටහුණේ දිවා ආහාරය අතරේ ලක්ෂ්මන් සර් තරගයේ තත්ත්වය හොඳින් පැහැදිලි කළ විටය.

වහ වහාම සිය ඉනිම අත්හිට වන්නට සචින් කටයුතු කළේය. ඒ වන විට ශරදාශ්‍රම් කණ්ඩායමේ ලකුණු පුවරුව කියවුණේ කඩුලු දෙකකට ලකුණු 748ක් ලෙසිනි. සචින්ගේ නම ඉදිරියෙන් ලකුණු 326ක් ලියවෙද්දී කම්බ්ලිගේ නම ඉදිරියෙන් ලකුණු 349ක් ලියවී තිබුණි.

ලක්ෂ්මන් සර් කතා කරන්නට පෙර දිවා ආහාරය අතරතුර දුරකතනයෙන් අච්‍රේකාර් සර් ඇමතූ සචින්, කම්බ්ලි ලකුණු තුන්සීය පනහේ සීමාව ඉක්මවා යන්නට එක් ලකුණක් මෑතින් සිටින බව කියන්නට ගොස් ලුණු ඇඹුල් ඇතිව හොඳින් අසා ගත්තේය.

තෙන්දුල්කාර්- කම්බ්ලි සබඳතාවය අතරතුර – ඡායාරූපය : Vinod Kambli, Instagram

සචින් තෙන්දුල්කාර්- විනෝද් කම්බ්ලි යුගල සබඳතාවය මුල්ම වරට ඉන්දියාව පුරා රැස් විහිදුවන්නට ගත්තේ මෙම ලකුණු 664 දැවැන්ත සම්බන්ධතාවයෙන් පසුවය.

පාසල් ක්‍රිකට් පිටියේ ශතක පිට ශතක රැස් කරන දාහතර හැවිරිදි දරුවාගේ පිතිහරඹය නරඹන්නට එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් ඉතාම ආසාවෙන් සිටියේය. ඒ එවකට ඉන්දියානු කණ්ඩායමේ නායකත්වය දැරූ දිලීප් වෙන්සාකර්ය.

හැරිස් පලිහ කුසලානයේ අවසන් මහා තරගය බොම්බායේ බ්‍රාබෝන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විට වෙන්සාකර් සිටියේ ඒ අසලම වෙනත් ක්‍රීඩාංගණයක තරගයකට සහභාගි වෙමින්ය. අවසාන මහා තරගයේදීත් සචින් ශතක කඩඉම පැන ගත් බව දැන ගත් නමුත් වෙන්සාකර්ට එන්නට ඉඩක් තිබුණේ නැත. නමුත් ඉඩක් ලැබුණු හැටියේම ඉන්දියානු නායකයා දාහතර හැවිරිදි පාසල් දරුවෙකුගේ විස්කම් බලන්නට බ්‍රාබෝන් ක්‍රීඩාංගණයට කඩා පාත්වුණේය.

අවාසනාවකට වෙන්සාකර් ක්‍රීඩා පිටියට එන විට ශරදාශ්‍රම් කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවී ගොසිනි. සිය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් දැවී යන මොහොතේ එක් අන්තයක් ආරක්ෂා කරගෙන නොදැවී ක්‍රීඩා කළ සචින් තෙන්දුල්කාර් නම් කුඩා දරුවාගේ නමට ඉදිරියෙන් එදා ලකුණු 346ක් ලියවී තිබුණි.

එදා තෙන්දුල්කාර් සහ කම්බ්ලි අතර දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගෙන අවස්ථාවේ තවත් ළාබාල ක්‍රීඩකයෙකු පිතිහරඹය වෙනුවෙන් පා ආවරණ දමාගෙන බොහෝ වේලා බලා සිටියේය. අමුල් මුස්ම්දාර් නම් ඔහු ඉන්දියාවේ පිතිකරණ පාසල ලෙස හැඳින්වෙන මුම්බායෙන් බිහි වූ සුවිශේෂීම පිතිකරුවෙකි.

‘දාදා’ නම් කල්කටාවේ කුමරාගේ ක්‍රිකට් ආගමනය

1996 වසරේ මාර්තුවේ යම් දිනක කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩා පිටියේ….

එදා තෙන්දුල්කාර්- කම්බ්ලි සබඳතාවය බිඳී යන තෙක් බලා සිටියා මෙන්ම ඉන්දියානු වරම් ලබන්නට ද බොහෝ කල් බලා සිටි මුසුම්දාර්ගේ සිහිනය කෙදිනකවත් සැබෑ වූයේ නැත. ඉන්දියානු පළමුපෙළ තරගවල දී අමුල් මුස්ම්දාර් යනු ඉහළින්ම නම කියවෙන පුරාවෘත්තයකි.

එදා තරගයේ දී නොදැවී ලකුණු 349ක් රැස් කළ විනෝද් කම්බ්ලි සේවියර් කණ්ඩායමේ පළමු ඉනිමේ කඩුලු හයකට වගකියන්නට ද සමත් විය.

එදා දිවා ආහාරයට තරගය නතර නොකළා නම් තව කොයි තරම් ලකුණු ප්‍රමාණයක් අපට ලබාගන්න තිබුණා ද කම්බ්ලි පසුකලෙක පවසා තිබුණි.

සචින් තෙන්දුල්කාර්ගේ වැඩිමහල් සොයුරු අජිත් තෙන්දුල්කාර් ලියූ The Making of a Cricketer: Formative Years of Sachin Tendulkar in Cricket කෘතිය ඇසුරෙන් ලියවූවකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<