විශිෂ්ට පන්දු රැකීම සහ කොරෝනාවෙන් රට රැකීම

337

මාරාන්තික කොරෝනා වයිරසයෙන් හැකිතාක් ඈත්ව සිටීම, එය බෝ නොවීමට වැදගත්ම සාධකයකි. එමෙන්ම ක්‍රිකට් පිටියේ දී  පිතිකරුවන් විසින් හැකිතාක් ඈත්ව සිටිය යුතු පන්දු රකින්නන් අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිටියේය. 

පන්දුවට පහර දීමේ දී වඩාත් නුවණට හුරු වුනේ මෙම පන්දු රකින්නන්ට හැකිතාක් ඈතින් පන්දුව ස්ථානගත කිරීම ය. කොරෝනාවෙන් ආරක්ෂා වීමට නම් මිනිසුන් අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම ප්‍රමාණවත් වුවත් අප කතා කරන්නට යන ක්‍රිකට් පන්දු රකින්නන්ට නම් මීටරයක් නොව මීටර 6-7ක් පවා ඉක්මනින් තරණය කිරීම ඉතා පහසු ය.

Sports Beem – එය විශේෂ ය.

ක්‍රිකට් පිටියේ යාර තිහේ සීමාව තුළ පන්දු රැකීම විශේෂ කර්තව්‍යයකි. ඉක්මන් ලකුණු නවත්වමින්, බාග අවස්ථා (half chances) ලබා ගනිමින්, සෑම විටම පිතිකරු මත අතිරේක පීඩනයක් පැටවීම යාර තිහ තුළ හොඳින්ම පන්දු රකින්නන්ගේ විශේෂ දක්ෂතා ය. යාර තිහේ සීමාව තුළ හොඳින්ම පන්දු රකින්නන් සෑම “ප්‍රමුඛ ටෙස්ට් රටකම” සිට ඇති අතර අපගේ මේ සොයාබැලීම ඔවුන් ගැනයි.

ඕස්ට්‍රේලියාව

ක්‍රිකට් ඉතිහාසය තුළ ඉක්මණින්ම වෘත්තීය මට්ටමට ළඟා වූ රටක් වන ඕස්ට්‍රේලියාව එරට වෘත්තීයමය ස්වභාවය නිසාම, යාර තිහේ සීමාව තුළ විශිෂ්ට පන්දු රකින්නන් රැසක් ක්‍රිකට් ලොවට දායාද කර ඇත.

ඉන් ප්‍රමුඛයා රිකී පොන්ටින් යැයි මම සිතමි. පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කිරීමේ අති සමතෙකු වූ පොන්ටින්, එම දස්කම වැඩිම වරක් සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයායි. 80 වරක් එසේ පිතිකරුවන් දවාගෙන ඇති ඔහු විශිෂ්ට උඩ පන්දු රකින්නෙකු ද විය.

මේ සියලු පන්දු රැකීමේ දස්කම් ඔහු විසින් සිදු කළේ නායකත්වයේ බර ද තම කර මත පටවා ගෙන වීම විශේෂය. එබැවින් කොරෝනා මීටරයේ දුර පවත්වා ගැනීම මිනිසුන්ගේ ජීවිත රකින්නේ යම් සේද, යාර තිහේ සීමාව තුළ දී පොන්ටින්ට හැකිතාක් ඈතින් පන්දුව ස්ථානගත කිරීම පිතිකරුවන්ට තම ජීවිතය රැකගැනීමට හේතු විය.

පොන්ටින්ට අමතරව මාක් වෝ, මයිකල් ක්ලාක්, ඇන්ඩෲ සයිමන්ඩ්ස්, ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මයිකල් බෙවන් වැනි විශිෂ්ට ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් යාර තිහේ සීමාව තුළ තම පන්දු රැකීමේ දස්කම් ප්‍රකට කරද්දී ශරීරයෙන් තරමක් ස්ථුල ඩේවිඩ් බූන්, ෆෝවර්ඩ් ෂෝට් ලෙග්, සිලි මිඩ් ඕෆ් සහ සිලි මිඩ් ඕන් හි සිට දැක්වූ ටෙස්ට් පන්දු රැකීමේ දස්කම් ද අමතක කළ නොහැකිමය.

එංගලන්තය

මුල් කාලීනව වෘත්තීය මට්ටමට ළඟා වුවද ක්‍රීඩකයන්ගේ ස්වයං අභිමානය අතින් ඉහළ රටක් වූ එංගලන්තය එකල පන්දු රකින්නන් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැත. එහෙත් නිර්භය පන්දු රකින්නන් අතර ප්‍රමුඛයන් ඔවුන් සතු විය. වොලී හැමන්ඩ්, ඩෙරික් රැන්ඩල්, බ්‍රයන් ක්ලෝස් වැන්නන් පිතිකරු අසල සිට කිසිදු ආරක්ෂක උපාංගයක් රහිතව, දෙනෙත් හැර පන්දු රැකි ක්‍රීඩකයන් ය. මින් බ්‍රයන් ක්ලෝස් ඇත්ත වශයෙන්ම පිතිකරුට ළඟින් සිට, නැතහොත් ක්ලෝස්ව (Close) නොබියව පන්දු රැකි ක්‍රීඩකයෙකි.

කෙසේ වෙතත් පන්දුවට දෙවැනි වීමට බියක් දැක්වූ පසුකාලීන එංගලන්ත ආඩම්බරකාරයන් එකල බිම බඩගෑමට, ඇඟිලි තලා ගැනීමට හෝ ක්‍රිකට් නිල ඇඳුම මත මඩ තවරා ගැනීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් නූතනයට ළඟාවෙත්ම එම සියලු පවුරු බිඳ දැමූ පන්දු රකින්නන් එංගලන්තයෙන් බිහි විය.

ඒ අතුරින් යාර තිහේ සීමාව තුළ අති දක්ෂයා තමන් බව ඔප්පු කළේ පෝල් කොලින්වුඩ්ය. අහසේ පාවී ගොස් පන්දු රකින්නන් ගැන මුව අයාගෙන බලා සිටින අපට අහස මත ඇවිදීමට හැකි පන්දු රකින්නෙකු ලෙස හමුවන්නේ කොලින්වුඩ්ය. ඇත්ත වශයෙන්ම අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව පොළොවෙන් ඉහළ යම් වෙලාවක් රැඳී සිටීමේ හැකියාව ඔහු සතු විය. 2005 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගයක දී මැතිව් හේඩ්න්ව දවා ගැනීම වෙනුවෙන් ඔහු විසින් ලබාගත් උඩපන්දුව එවැන්නකි.

කොලින්වුඩ්ට අමතරව ඇන්ඩෲ ස්ට්‍රෞස්, ඔයින් මෝගන්, ක්‍රිස් ජෝඩ්න්, බෙන් ස්ටෝක්ස් වැනි ක්‍රීඩකයන් තම පන්දු රැකීමේ දස්කම් තහවුරු කළේය. එහෙත් සමීපව බැලීමේ දී පෙනීයන්නේ ඉන් බහුතරය ක්‍රීඩක ආනයන බවයි. මෙරටට කොරෝනා රෝගය බෝ වුනේ ද එසේය. උරණ වූවන්ගෙන් සමාව අයැදිමි. අවම වශයෙන් මීටරයක දුර රකින්න.

දකුණු අප්‍රිකාව

පන්දු රකින්නන් ගැන කතා කිරීමේ දී ඉක්මණින්ම සිහිවන ක්‍රිකට් රාජ්‍යය මොවුන් යැයි කීවාට වරදක් නැත. වඩාත් සුචල්‍ය සහ ශක්තිමත් ක්‍රීඩකයන්ගෙන් සුසැදි ක්‍රිකට් රටක් වන දකුණු අප්‍රිකාව පන්දු රකින්නන්ගෙන් කෙතරම් ඉහළ සිටින්නේ දැයි තහවුරු කිරීමට එරටින් බිහි වූ විශිෂ්ට පන්දු රකින්නන්ගේ නම් සඳහන් කිරීමම පමණක් සෑහේ.

එතෙක් මෙතෙක් වැඩිම ජනාදරයට පත් ක්‍රිකට් පන්දු රකින්නා වන ජෝන්ටි රෝඩ්ස් මින් යාර තිහේ සීමාව තුළ අප විසින් දැක ඇති අති දක්ෂයා ය. පන්දුව ඉහළින් වේවා, බිම දිගේ වේවා, පොලා පනිමින් වේවා, දඟ කැවෙමින් වේවා ඔහු වෙතට පැමිණීම ඔහුට ගැටලුවක් වූයේ නැත. එමෙන්ම පන්දුව ඔහු වෙතට නොපැමිණීම ද ඔහුට ගැටළුවක් නොවූයේ ඉක්මණින් පන්දුව වෙතට පැන එය නවත්වා ගැනීමට ඔහුට තිබූ පුදුමාකාර හැකියාව නිසයි.

ජොන්ටි ගැන අප කෙතරම් ආවැඩූවද දකුණු අප්‍රිකානු සහ ක්‍රිකට් ඉතිහාසයේ සඳහන් වන පරිදි විශිෂ්ටතම දකුණු අප්‍රිකානු පන්දු රකින්නා වන්නේ කොලින් බ්ලෑන්ඩ් ය. 1960 දශකයේ ක්‍රිකට් තරුවක් වූ බ්ලෑන්ඩ් ගැන එකල ඉංග්‍රීසි පුවත් පත්වල සඳහන් වන ආකාරයට “සියවසේ පන්දු රකින්නා” වූයේ ඔහුයි. ක්‍රීඩා රචක ෆ්‍රෑන්ක් කීටින්ගේ “ක්‍රීඩා සියවස” (Sporting Century) නම් කෘතියේ සඳහන් පරිදි එක දිගට පැය හතරක්ම, සිටවන ලද එක් කඩුල්ලක් වෙත පන්දුව දමා ගසමින් බ්ලෑන්ඩ් පුහුණුවනු ඔහු දැක ඇත.

ජොන්ටිට සහ බ්ලෑන්ඩ්ට අමතරව හර්ෂල් ගිබ්ස්, ඒ.බී. ඩිවිලියර්ස්, ෆෆ් ඩු ප්ලෙසි, ටෙම්බා බවූමා, ඩේවිඩ් මිලර්, ෆර්හාන් බෙහාර්ඩීන් වැන්නන් මෙම කුලකයට එක්වන විශිෂ්ට පන්දු රකින්නන් ය. කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි මානයට ළඟා වන විට ඔබ කල්පනාකාරී වියයුත්තේ යම් සේද, ඔබ මෙම පන්දු රකින්නන්ගේ මානයට පන්දුව යොමුකරන සෑම විටකම ඔබ කල්පනාකාරී විය යුතුය.

නවසීලන්තය

තවත් සුචල්‍ය සහ ශක්තිමත් මිනිසුන්ගේ රටක් වන නවසීලන්තය ද විශිෂ්ට පන්දු රකින්නන් රැසක් ක්‍රිකට් ලොවට දායාද කළේය. උපතින්ම රග්බි සහ හොකී ජාන තම සිරුරු තුළ සඟවා ගෙන පැමිණෙන ඔවුන්ට දිවීම්, පැනීම්, බඩ ගෑම්, පෙරලීම් අලුත් නැත.

නවසීලන්තයෙන් බිහි වූ හොඳම පන්දු රකින්නා කවුදැයි එක්වරම ප්‍රකාශ කළ නොහැකි තරමටම ඔවුන්ගේ විශිෂ්ට පන්දු රකින්නන් එක මට්ටමේ දක්ෂයන් වේ. එහෙත් වේගය, සුචල්‍යභාවය සහ පන්දුව යළි යොමුකිරීම ගැන සලකා බලන විට බ්‍රෙන්ඩන් මැකලම් ඉහළින්ම සිටින බැව් ප්‍රත්‍යක්ෂ වේ.

කඩුලු රකින්නෙකු ලෙස ක්‍රිකට් ජීවිතය ආරම්භ කළත්, පසුකාලීනව පන්දු රකින්නෙකු ලෙස පිටිය මත සිටි ඔහු කඩුලු රකින්නෙකුට වඩා සෑම අතින්ම කැපී පෙනිණි. පිටිය මත දී ඔහුගේ උනන්දුව සහ කැපවීම ද බොහෝසෙයින් කැපී පෙනුණු බව සඳහන් කළ යුතුය. කොරෝනාවෙන් මිදීමටත් අපට අවශ්‍ය වන්නේ එවැනිම උනන්දුවක් සහ කැපවීමකි.

මැකලම්ගෙන් පසුව එක්වරම සිහිවන නවසීලන්ත විශිෂ්ට පන්දු රකින්නා වන්නේ ක්‍රිස් හැරිස් ය. අවාසනාවකට ඔහු ක්‍රීඩා කළ 90 දශකය තුළ දී බොහෝ විචාරකයන් ජොන්ටි රෝඩ්ස් දෙස පමණක් බලා සිටි අතර හැරිස්ව ඔවුනට මඟහැරුණේය. ඔහු මෙන්ම රොස් ටේලර්, ට්‍රෙන්ට් බෝල්ට්, ලූ වින්සන්ට්, මැතිව් සින්ක්ලෙයාර්, කෝරි ඇන්ඩර්සන්, ජෙරමි කෝනි වැනි යුග කිහිපයක විශිෂ්ට පන්දු රකින්නන් නවසීලන්තයෙන් බිහිව ඇත.

ඉන්දියාව

90 දශකයේ පන්දු රකින්නන් ගැන සිහිකිරීමේ දී අපට සිනහ ඉපදවූ ඉන්දියානු කණ්ඩායම අද වන විට විශිෂ්ට ලෙස පන්දු රකින කණ්ඩායමකි. එකල ක්‍රිකට් ලොවේ දුර්වලම පන්දු රකින්නන් සහිත වූ කණ්ඩායමක් අද ඒ මට්ටමට පැමිණ ඇත්තේ ජාතිකමය වශයෙන් ඔවුන් විසින් ගත් ප්‍රතිපත්තිමය ක්‍රිකට් තීරණ නිසාය. අප රටට ද කොරෝනාවෙන් වැළකීම සඳහා ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය වනු ඇත.

90 දශකයට පෙර එක්නාත් සොල්කාර් නම් පන්දු රකින්නෙකු ඉන්දියාව සතු විය. පිතිකරු අසලම රැඳී සිටිමින් පිතිකරුට අභියෝග කළ ඔහු තමන් දුටු දක්ෂතම ෆෝවර්ඩ් ෂෝට් ලෙග් පන්දු රකින්නෙකු ලෙස, නැසී ගිය විචාරක ටෝනි ග්‍රෙග් විසින් ද සඳහන් කොට ඇත.

90 දශකයේ අප මතකයේ රැඳුණු පන්දු රැකීමේ දස්කම් දැක්වූ එකම ඉන්දියානු පන්දු රකින්නා රොබින් සිං යැයි සිතේ. ඔහුත් ලෝක මට්ටමේ විශිෂ්ටයෙකු යැයි සඳහන් කිරීම අසාධාරණ ය. එහෙත් 2000 වසරෙන් පසුව ඉන්දියාවේ ස්වර්ණමය පන්දු රැකීමේ යුගය බිහි විය.

මොහොමඩ් කයිෆ් – යුවරාජ් සිං යුගය පැමිණෙන්නේ ඉන් පසුවය. කෙදිනකවත් ඉන්දියානු ක්‍රීඩක යුගලයකින් දැකිය නොහැකි වූ තරමේ පන්දු රැකීමේ දස්කම් ඔවුන්ගෙන් දිස්වුනේ ළාබාලයන් කාලයේදීමය.

මින් මොහොමඩ් කයිෆ් 19න් පහල ලෝක කුසලාන ජයග්‍රහණයකට ඉන්දියානු කණ්ඩායමට මඟ පෙන්වූ නායකයෙකි. මෑතක දී පැවති Legends ක්‍රිකට් තරගාවලියේ දී ද ඔහු 100%ක් කැපවීමෙන් සිය පන්දු රැකීමේ දස්කම් ප්‍රදර්ශනය කරනු දැකිය හැකි විය. යුවරාජ් සිං, 2000 වසරේ 19න් පහල ලෝක කුසලාන තරගාවලියේ වීරයා වුනේ පන්දු රැකීමේ දස්කම් ද ඇතුළුව ය.

ඔවුන් දෙදෙනාට අමතරව ජොන්ටි රෝඩ්ස් විසින් “ඕනෑම ස්ථානයක පන්දු රැකිය හැකි විශිෂ්ටයා” ලෙස නම් ලැබූ සුරේෂ් රෙයිනා, රවීන්ද්‍ර ජඩේජා, විරාත් කෝලි, හර්දික් පාන්ඩ්‍යා වැන්නන් පන්දු රැකීමෙන් ඉන්දියාව ප්‍රබල කර ඇත.

පාකිස්තානය

ආසියාවේ ක්‍රීඩකයින් අතුරින් අඩුම සුචල්‍යභාවයක් ඇත්තේ පාකිස්තානුවන්ට දැයි සැක සිතේ. ඒ ඔවුන්ගේ රටින් බිහි වූ යාර තිහේ සීමාවේ විශිෂ්ට පන්දු රකින්නන් හඳුනා ගැනීමට යම් වෙලාවක් ගතවන හෙයිනි.

පාකිස්තානයෙන් බිහි වූ හොඳම පන්දු රකින්නා කවුරුන් ද? ඔබට ඔහුව නම් කළ හැකිය. මම තවමත් සිතමි. ඒ ෂොයිබ් මලික්, අන්වර් අලී, ඉම්රාන් නසීර්, ෆවාඩ් අලාම්, යසීර් හමීඩ්, ෂහීඩ් අෆ්රිඩි, යුනිස් ඛාන් වැන්නන්ගෙන් කෙනෙකු විය හැකි යැයි ලියා මම ඇඟ බේරාගනිමි. එසේ ඇඟ බේරාගැනීම පහසු වුවත් කොරෝනා වසංගතයෙන් ඇඟ බේරාගැනීමට නම් නිතර සබන් යොදා දෑත් සේදීම මෙන්ම, මුහුණ, නාසය, කට අතපත ගෑමෙන් වැළකීම ද අත්‍යාවශ්‍ය ය.

ශ්‍රී ලංකාව

දක්ෂ පන්දු රකින්නන්ගේ නිජබිමකි. අතීතයේ සිටම සුචල්‍ය, වේගවත් සහ කැපවූ පන්දු රකින්නන් සහිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දු රකින්නන්ගේ ස්වර්ණමය යුගය පසුකළේ 1995-2005 දශකයේ දී ය. යාර තිහේ දී මෙය තවත් ප්‍රබල ය.

මේ වන විටත් පන්දුව කෙලින්ම කඩුල්ලට යොමුකොට දුවද්දී දවා ගැනීම් වැඩිම ප්‍රමාණයක් ලබාගෙන ඇති පන්දු රකින්නන් අතර තුන්වැනි සහ හතරවැනි ස්ථාන පිළිවෙළින් හොබවන සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ය.

එමෙන්ම 90 දශකයේ දී ජොන්ටි රෝඩ්ස් හට පවා නොදෙවෙනි පන්දු රැකීමේ දස්කම් දැක්වූ රොෂාන් මහානාම ද පන්දු රැකීමේ අති විශිෂ්ටයෙකි. අවාසනාවකට ඔහුගේ විශිෂ්ට උඩ පන්දු රැකීම් වල වීඩියෝ දර්ශන සොයා ගැනීම අපහසු ය.

එමෙන්ම වැඩිම එක්දින උඩපන්දු වල හිමිකරු මහේල ජයවර්ධන, ජෙහාන් මුබාරක්, උපුල් චන්දන, චාමර සිල්වා, චාමර කපුගෙදර, ධනුෂ්ක ගුණතිලක වැනි පන්දු රකින්නන් ද යාර තිහේ සීමාවේ දී සිය අණසක පැතිර වූ ශ්‍රී ලාංකික පන්දු රකින්නන් වේ. එම දස්කම් වලින් ප්‍රතිවාදී ඕනෑම ප්‍රබල කණ්ඩායමක් අසරණ කිරීමේ ශක්තිය අප ක්‍රීඩකයන් සතුවිය.

අප එවන් ජාතියක මිනිසුන් ය. කොරෝනා වයිරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින්, ආරක්ෂක උපදෙස් පිළිපදිමින් තැන්පත්ව සිටීමය. පන්දු රකින්නන් පන්දුව සොයාගොස් එය ඩැහැගන්නා ආකාරයෙන් දිවගොස් කොරෝනා වැළඳගත යුතු නැත. ඉවසමු, නිවසට වී සිටිමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<