ත්‍රිවිධ හමුදා මෙහෙයුම් පරාජය කළ Marians කෙල්ලෝ

Major Club Women’s 50 Over Tournament 2024

38
Major Club Women’s 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලද Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Chilaw Marians ක්‍රීඩිකාවෝ පසුගියදා සමත් වූවා.

ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම දක්වා ආ ගමනේ දී මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සුවිශේෂී දක්ෂතා දක්වන කණ්ඩායම් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකා යුද හුමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන කණ්ඩායම් ත්‍රිත්වය ම පරාජය කරමින් පැමිණීම සුවිශේෂී වූවා.

ජයග්‍රාහී Chilaw Marians කණ්ඩායමට පළමු වටයේ දී ගුවන් හමුදා කණ්ඩායම හමුවෙන්නේ කටුනායක ගුවන් හමුදා පිටියේ දී. නමුත් එදින පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ තරගය පැවැත්වෙන්නේ නැහැ. එසේ වීමෙන් අනතුරු ව තරගාවලියේ පළමු වටය අවසන් වෙද්දී A කාණ්ඩයෙන් 1 වැනි ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමටත් සහ එහි 2 වැනි ස්ථානය Chilaw Marians කණ්ඩායමටත් හිමි වෙනවා.

ඒ අනුව පෙළ ගැසුන අවසන් පූර්ව වටයේ දී Chilaw Marians කණ්ඩායමට හමුවෙන්නේ ප්‍රබල නාවික හමුදා කණ්ඩායමයි. කොළඹ P. Sara Oval පිටියේ දී පැවැති එම තරගයෙන් Chilaw Marians ක්‍රීඩිකාවෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

අනෙක් අන්තයෙන් අවසන් පූර්ව වටයේ තරගය සඳහා යුද හමුදාව සහ ගුවන් හමුදාව එක් වෙන අතර NCC ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයෙන් යුද හමුදා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

කොළඹ, හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයෙන් Chilaw Marians ක්‍රීඩිකාවෝ ලකුණු 90ක ජයග්‍රණයක් වාර්තා කරමින් 2024 වසරේ ශුරියන් බවට පත් වෙනවා.

ජයග්‍රාහී Chilaw Marians මෙහෙයුමේ දක්ෂතම පිතිකාරිනිය බවට පත් වෙන්නේ තවමත් 18 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී සුමුදු නිසංසලා. ඇය නිමා වූ තරගාවලියේ තරග 7ක ඉනිම් 6ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 217ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 72.33ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඇය සමත් වෙනවා.

ඒ අතර ඇයගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ CCC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 84යි.

කෙසේ වෙතත් ඇයගේ මෙම දක්ෂතාව තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර ලැයිස්තු ගත වෙන්නේ 3 වැනි ස්ථානයටයි.

ඇයට අමතර ව Chilaw Marians කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකාරිනියන් අතර තරග 7ක ඉනිම 6ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 191ක් ලබා ගත් ඉමේෂා දුලානි ද, අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් කවීෂා දිල්හාරි ද මෙම ලැයිස්තුවේ පිළිවෙළින් ලැයිස්තු ගත වෙනවා.

Chilaw Marians කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නිය වූයේ වමතින් දඟ පන්දු යැවු 23 හැවිරිදි වියේ පසුවෙන සචිනි නිසංසලා. ඇය මෙවර තරගාවලියේ දී තරග 7ක දී කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඇයගේ මෙම දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන්ගේ ලැයිස්තුවේ සටහන් වූයේ 6 වැන්නිය ලෙසයි.

කඩුලු දවා ගැනීමේ දී ඇයගේ ඉහළ ම දක්ෂතාව වෙන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 8කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඇය පානදුර කණ්ඩායමට එරෙහි ව ද ලකුණු 9කට කඩුලු 3ක් දවා ගන්නවා.

ඇයට අමතර ව සඳුනි නිසංසලා කඩුලු 8ක් දවා ගනිමින් ද සහ නායිකා කවීෂා දිල්හාරි කඩුලු 7ක් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා Chilaw Marians කණ්ඩායම සමඟින් එකතු වුනා.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව

කවීෂා දිල්හාරි – Chilaw Marians

තම කණ්ඩායම වැටි සිටි තත්ත්වයෙක් ගොඩ ගැනීමට පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගනිමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ 23 වැනි වියේ පසුවෙන කවීෂා දිල්හාරි මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙනවා.

ඇය ගේ මෙම ඉනිම තුළ ඉමේෂා දුලානි හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 151ක දී එක් කළ ලකුණු 120ක සබඳතාවක් ද තිබෙනවා. එමෙන් ම ඇය පන්දු යවමින් කඩුල්ලක් ද දවා ගනිමින් අවසන් තරගයේ ප්‍රතිවාදීන් ගේ ප්‍රධාන ප්‍රතිවාදීනිය බවට ද පත් වුනා.

තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම දක්වා රැගෙන ආ ගමනේ දී ඇය තරග 7ක ඉනිම් 6ක දී අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 170ක් ලබා ගනිමින් පිතිකාරිනියක ලෙසින් දක්ෂතා දක්වද්දී කඩුලු 7ක් දවා ගනිමින් පන්දු යවන්නියක ලෙසින් ද දක්ෂතා දැක් වූවා. කවීෂා දිල්හාරි ගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 9කට දවා ගත් කඩුලු 4යි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව

නිලක්ෂිකා සිල්වා – ශ්‍රී ලංකා යුද හමුදාව

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ නිලක්ෂිකා සිල්වා මෙවර තරගාවලියේ දී තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 393ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කියනවා.

ඇය තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය මෙන් ම තරගාවලියේ පිතිකාරිනියක් ඉනිමක දී ලබා ගත් වැඩි ම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ පිතිකාරිනිය ද වූවා. ඇය එම දක්ෂතාව දැක් වූයේ Tamil Union C & AC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඇය පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 189ක් ලබා ගන්නවා.

එමෙන් ම ඇයගේ ඉනිම් අතර Colts කණ්ඩායමට එරෙහි ව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 90ක් ද ඇතුලත් අතර තරගාවලිය පුරා එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 26ක් වන අතර 6 පහර 14ක් ද ඊට එක් කිරීමට ඇය සමත් වෙනවා. ඒ අනුව ඇය තරගාවලියේ වැඩිම හතරේ පහර සහ හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාව බවට ද පත් වුනා.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනීය

හර්ෂිතා සමරවික්‍රම – ශ්‍රී ලංකා නාවික හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ 26 හැවිරිදි වියේ පසුවෙන හර්ෂිතා සමරවික්‍රම මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය බවට පත් වෙන්නේ තරග 8ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් ලකුණු 278ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. ඇය තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතුරින් 2 වැනි ස්ථානයට පත් වුනා.

වමතින් පිත්ත හසුරුවන ඇය ගේ මෙම දක්ෂතා අතර ඉහළ ම දක්ෂතාව වෙන්නේ SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 126ක දී හතරේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 104යි. මෙවර මෙම තරගාවලියේ දී ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55.6ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඇය සමත් වෙනවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය

රශ්මි සිල්වා – ශ්‍රී ලංකා නාවික හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පා දඟ පන්දු යැවු රශ්මි සිල්වා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වෙන්නේ තරග 8ක දී කඩුලු 21ක් ලබා ගනිමින් පෑ දක්ෂතාව හේතුවෙනුයි.

තවමත් 23 හැවිරිදි වියේ පසුවෙන රශ්මි සිල්වා තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතර පළමු ස්ථානයට පත් වෙමින් ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් කර ගන්නේ BRC කණ්ඩායමට එරෙහි ව පන්දුවාර 6ක් යවමින් ලකුණු 4කට දවා ගත් කඩුලු 6යි.

Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් Chilaw Marians කණ්ඩායමටත් සහ තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන්ටත් ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<