ජාතික ක්‍රිකට්‌ පිලේ නව අභ්‍යාසක තනතුර මයිකල් මේන් ට

106

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නව අභ්‍යාසකවරයා වශයෙන් හැම්ප්ෂයර් ප්‍රාන්ත පිලේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ලද මයිකල් මේන්ව පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව අභ්‍යාසකවරයා වශයෙන් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට සේවය කරන ලද දර්ශන් වීරසිංහ මහතාගේ සේවය ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට අහිමිව යනු ලබන අතර ඔහුව බොහෝ විට ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්‌ඩායමේ අභ්‍යාසකවරයා ලෙස පත්කරනු ඇතැයි සඳහන් වේ.

වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග එළැඹ තිබූ කොන්ත්‍රාත්තුව ඉකුත් අප්‍රියෙල් මස 30 වැනිදායින් අවසන් විය. ඒ අනුව ප්‍රථමයෙන්ම ඔහුගේ සේවය ශ්‍රී ලංකා ඒ පිලට අවශ්‍ය වන්නේද යන්න එම කණ්‌ඩායම් පුහුණුකරු රොමේෂ් කලුවිතාරණගෙන් ක්‍රිකට්‌ බලධාරීන් විසින් විමසා තිබෙන නමුත් කලුවිතාරණ විසින් එය ප්‍රතික්‍ෂේප කිරීම මත වීරසිංහ මහතාව අවු. 19 න් පහළ කණ්‌ඩායමට යොමු කිරීමට ආසන්නතම හේතුව වී තිබෙන බව සඳහන් වේ.

ජාතික කණ්‌ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් බහුතරයක්‌ අතර ප්‍රසාදයක්‌ දිනා සිටි අභ්‍යාසකවරයකු වන වීරසිංහ මහතාට වේතන වශයෙන් රු. ලක්‍ෂ 2 කට ආසන්න මුදලක්‌ ගෙවා තිබෙන බව සඳහන් වේ. එහෙත් ජාත්‍යන්තර වශයෙන් සංසන්දනය කිරීමේදී ඇතැම් රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව පහළ මට්‌ටමක පැවැතීම මත මෙසේ විදෙස්‌ පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමට තීරණය වී තිබෙන බව ‘දිවයින’ට අදහස්‌ දක්‌වා සිටි ක්‍රිකට්‌ ආයතන බලධාරියෙකු සඳහන් කර සිටියේය.

වත්මන් ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන මාවන් අතපත්තු මහතාගේ රෙකමදාරුකමක්‌ මත මේන් මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට්‌හි සේවයට බඳවාගෙන තිබෙන අතර ඒ සඳහා මේන්ට ඇමරිකානු ඩොලර් 8500 ක මුදලක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. ලක්‍ෂ 10 කට ආසන්න වේතනයක්‌ ගෙවනු ඇත.

ඉකුත් 2011 වසරේ සිට හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්‌ඩායමේ කටයුතු කරනු ලබන මේන්, එංගලන්ත ක්‍රිකට්‌ ආයතන විසින් නවක වේග පන්දු යවන්නන් වෙනුවෙන් පවත්වනු ලැබූ වැඩමුලුවකට දායකත්වය දක්‌වා තිබේ. මීට අමතරව මේන් එංගලන්ත බාලක බාස්‌කට්‌ බෝල් කණ්‌ඩායමේ ශක්‌තිය සහ අනුකූලීකරණය සඳහා වූ පුහුණුවීම් ලබාදෙන්නකු වශයෙන්ද කටයුතු කර තිබේ.