Shubman Gillට තරග ගාස්තුවටත් වඩා වැඩි දඩයක්

ටෙස්ට් ලෝක ශූරතාවය 2023

6179
ටෙස්ට් ලෝක ශූරතාවය 2023

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (11) අවසන් වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ දී රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසා කණ්ඩායම් දෙකටම දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 80%ක් සහ ඉන්දීය කණ්ඩායමට තරග ගාස්තුවෙන් 100% ලෙස දඩ පනවා තිබෙන අතර ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර වේගයට වඩා පන්දුවාර හතරක් සහ ඉන්දියාව පන්දුවාර පහක් පිටුපසින් සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2.2 වගන්තියට අනුව අඩු පන්දුවාර වේගය නිසා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ ඔවුන්ට සම්බන්ධ නිලධාරීන් හට පන්දු වාරයකට 20% බැගින් දඩ පැනවෙනවා.

ඊට අමතරව ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill හට තරග ගාස්තුවෙන් තවත් 15%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තියෙනවා.

තරගයේ දෙවැනි ඉනිමේ දී මතභේදයට තුඩු දුන් දැවී යාමෙන් පසු එහි ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක් කර අප්‍රසාදය පල කර තිබීම නිසා ඔහුට එම දඩය පනවා තිබෙනවා.

එම සිදුවීම තුළින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 2.7 වගන්තිය වන ජාත්‍යන්තර තරගයකට සිදු වන සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නුසුදුසු අදහස් දැක්වීම යන ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කර තිබෙනවා.

දඩ මුදලට අමතරව ඔහුගේ එම ක්‍රියාව පළමු මට්ටමේ වරදක් ලෙස දක්වා දඬුවම් ලකුණක් ලබා දීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජය කරමින් 2021-23 කාලසීමාවට අදාළ ලෝක ටෙස්ට් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනා.

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

 Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<