T20 දැවැන්තයාට සමුගැනීමේ තරගයක් හිමිවන ලකුණු

9082

විස්සයි විස්ස තරග රටාවේ ලොව ප්‍රබලතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Chris Gayle හෙවත් Universe Boss හට සමුගැනීමේ තරගයක් ලබා දීමට කොදෙව් ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය දා නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බව Chris Gayle නිවේදනය කර තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ තමන් සිය මව් රටේ දී අවසන් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි. මේ පිළිබඳව අදහස් දක්වමින් කොදෙව් ක්‍රිකට් ආයතනය පවසා සිටියේ තමන් එම ඉල්ලීම සලකා බැලීමට සූදානම් බවයි.

“අපි ඒ ගැන සලකා බලන්න සූදානම්. ඒක දැන් යෝජනාවක් මට්ටමේ තියෙනවා. අපි ඒ ගැන අවසන් තීරණයක් හෝ ඒක පැවැත්වෙන කාලසීමාවක් ගැන තවමත් තීරණය කරලා නැහැ”, Cricbuzz වෙබ් අඩවිය වෙත ගස් දක්වමින් කැරිබියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Ricky Skerritt පසුගිය දා පවසා සිටියා.

මේ පිළිබඳව ඉඟියක් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන Jonny Grave විසින් පසුගිය දා පළ කර තිබූ අතර එහි දී Chris Gayleගේ සමුගැනීමේ තරඟය එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අයර්ලන්ත තරගාවලිය අතරතුර පැවැත්වෙනු ඇති බව ඔහු පවසා සිටියා.

“අපි අයර්ලන්තය එක එක්දින තරග තුනක් එළඹෙන ජනවාරි මාසයේ දෙවැනි සතියේ දී ක්‍රීඩා කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම එක් විස්සයි විස්ස තරගයක් Sabrina Park ක්‍රීඩාංගණයේ පවත්වන්නට නියමිතව තියෙනවා.

මේ තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගි වෙන්න අවස්ථාවක් හිමි වුනොත් මං හිතනවා ඒක හොඳ අවස්ථාවක් වේවි Chris Gayleගේ උපන් නගරයේ ඔහුගේ සමුගැනීමේ තරගය වෙන්න”, බටහිර ඉන්දිය කොදෙව් හි ගුවන් විදුලි නාලිකාවක් අමතමින් Jonny Grave පවසා සිටියා.

කෙසේ වෙතත් කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ඒ පිළිබඳව තහවුරු කළ හැකි කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ. ඔහු ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ Jonny Grave විසින් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍ය විසින් වැරදි ලෙස වටහා ගෙන ඒ සඳහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දී ඇති බවයි.

“අපි ප්‍රධාන විධායක නිලධාරියා විසින් සිදු කළ යම් ප්‍රකාශයක් මාධ්‍ය විසින් වැරදි ලෙස වටහා ගෙන තියෙනවා. ඔවුන් ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දී තිබෙනවා. අයර්ලන්ත තරගය Chris Gayleගේ අවසන් තරගය හෝ ඔහුගේ සමුගැනීමේ තරගය ලෙස පවත්වන්න අපි තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ”, කොදෙව් ක්‍රිකට් ප්‍රධානී Ricky Skerritt පවසා සිටියා.

මේ වන විට කොදෙව් කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන Chris Gayle ටෙස්ට් තරග 103ක්, එක්දින තරග 301ක් සහ විස්සයි විස්ස තරග 79කට ක්‍රීඩා කර තිබෙනවා. Chris Gayleගේ ක්‍රීඩා ජීවිතය වසර 22ක් තරම් දිගු කාලයකට විහිදී යනවා.

පසුගිය දා ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව Chris Gayle මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමන් රසිකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පුද කිරීමට කැමති බවයි.

“දැන්ම මම තවමත් මගේ සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. ඔවුන් මට එක තරගයක් දෙනවා නම් ජැමෙයිකාවේ මගේ ගෙදර, මගේ රටේ ප්‍රේක්ෂකයන් ඉස්සරහ ක්‍රීඩා කරන්න, ඒකෙ දී මට හැමෝටම කියන්න පුළුවන් ඔබලාට ගොඩක් ස්තූතියි කියලා…” Gayle එහි දී පවසා සිටියා.

Cricbuzz ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<