කලකිරීම් සිදුවී මෙරට හැර ගිය බුද්ධිමතුන්, ක්‍රිකට් ක්‍රීඩකයන් සහ පුරවැසියන් ගණනින් බොහෝය. අපේ සුන්දර රට එතරම් කලකිරීම් වලට ප්‍රසිද්ධ ය. එහෙත් එසේ රට හැර ගිය අයෙකු නැවත මෙරටට පැමිණෙන තෙක් පොදු මහජනතාව ඇඟිලි ගනිමින් සිටි වාරයක් පසුගිය මාස කිහිපයේ තරම් දැඩිව කිසිදු කලෙක අපට නොදැනිණි.

ක්‍රිකට් යනු මෙරට නොනිල ජාතික ක්‍රීඩාවයි. ආර්ථිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් කෙදිනකවත් සුද්දන් අභිබවා යා නොහැකිව සිටි අපට සුද්දන් පරයා යා හැකි වූ හොඳම අවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවයි. 90 දශකයේ මැද භාගයේ දී ක්‍රිකට් හිනිපෙත්තට නැගි ශ්‍රී ලාංකිකයන් එය රැක ගැනීම වෙනුවෙන් අන්තර්ජාල වාග් ප්‍රහාරවල හෝ පැටලීමට නොපසුබට වූයේ සුද්දා පරයා ගොස් ලොව ඉහළ තලය මත වැජඹීමට අන් කිසිදු මඟක් සොයා ගැනීමට නොහැකි වූ බැවිනි.

අනෙකුත් අංශවලින් පසුපසට ගියද ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි ඉහළට නැංගෙමු. ක්‍රිකට් වල දුටු ශක්‍යතාව ශ්‍රී ලංකාවේ අනෙකුත් අංශවල නුදුටුව ද, සෙසු අංශවල දුටු මාන්නය සහ ඊරිසියාව ක්‍රිකට් තුළ ද නොමඳව දැකිය හැකි විය.

උපුල් චන්දික හතුරුසිංහ, එවන් කලකිරීම් වලට නවකයෙකු නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කළ බොහෝ ‘උපුල්’ලාට සිදු වූ අසාධාරණකම් ඔහුට ද සිදුවුණේ ඔහු ආනන්දයට ක්‍රීඩා කරන සමයේ සිටමයි. 19න් පහළ ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් “සුලෝහිත සටනකට” හෝ සහභාගී වීමේ වරම් නොලද හතුරුසිංහ (නොයෙක් අසාධාරණකම් මැද), තමන්ට ඒ අසාධාරණකම් සිදු කළ සියල්ලන්ට පිළිතුරු ලබා දීමේ මඟ සොයාගත්තේය. “කතා නැතුව වැඩ” නම් එයයි. ආනන්ද-නාලන්ද පාසල් දෙකෙන් සුලෝහිත සංග්‍රාමයක ක්‍රීඩා නොකොට, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩකයා චන්දික හතුරුසිංහ ය.

බංගලාදේශය සමඟ නැගිටිමු!

ශ්‍රී ලාංකික ජනයාට තිබුණේ ක්‍රිකට් පිස්සුවෙන් යුත් 90 දශකයකි. තරග ඇති දිනවල රාජකාරියේ යෙදෙන අතරතුර …

“කතා නැතුව වැඩ” නම් ඒ පුරුද්ද ඇති කර ගැනීම තුළින් හතුරුසිංහට සිදු වූ වාසිය මෙතෙකැයි කිව නොහැක. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටියදීත් ඔහුට නොයෙක් කැපිලි කෙටිලි වලට ලක්වන්නට සිදු විය. සමහරුන් ඔහුව ක්‍රීඩකයන් හා පටලවන්නට උත්සාහ කළේ ඔහුව එහෙට මෙහෙට මාරු කරමින් සහ වෙනත් ක්‍රීඩකයන්ව අහේතුකව ඔහුගේ ස්ථානයට තල්ලු කිරීමෙනි. වරෙක හතුරුසිංහ ජාතික කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබ සිට නැවත කණ්ඩායමට ඇතුළත් වූයේ දේශීය පිටියේ එකදිගට අර්ධ ශතක 6ක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකුව සිටි හතුරුසිංහ, ටෙස්ට් තරග 26කට ක්‍රීඩා කොට ලකුණු 29ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් විය. ඒ ශ්‍රී ලංකාවට එක දිගට ටෙස්ට් තරග හිමි නොවූ සමයකයි. එමෙන්ම ඇතැම් විට තරගාවලියකට එක් ටෙස්ට් තරගය බැගින් හිමි වූ සමයකයි. එවැනි කාලයක දස්කම් පවත්වා ගැනීම කෙතරම් අපහසු වන්නට ඇති ද? එහෙත් හතුරුසිංහ පසුබැස්සේ නැත.

newsapi.com.au

ලොව බිහි වූ දක්ෂතම පුහුණුකරුවන්ගෙන් වැඩි දෙනෙකු දක්ෂ ක්‍රීඩකයන් නොවේ. ඇතැම් විට තමන්ගේ මට්ටම දත් නිසා ඔවුන්ට දුර්වලයන්ගේ උවමනා එපාකම් හොඳින් හඳුනා ගන්නට අවශ්‍ය ශක්තිය ඇතිවා විය යුතුය. ඩේව් වට්මෝර්, මිකී ආතර්, ට්‍රෙවර් බේලිස් ආදී පුහුණුකරුවන් දැවැන්ත ක්‍රීඩකයන් වූයේ නැත. එහෙත් ඔවුන් දැවැන්ත ක්‍රීඩකයන් පුහුණු කරවන මොළගෙඩි ය. එහෙත් හතුරුසිංහගේ දේශීය තරග වාර්තාව එතරම් නරක නැත. ඔහු කෙසේ හෝ සාමාන්‍ය මට්ටමක රැඳී සිට ඇත.

පසුව මෙරට ක්‍රිකට් බහිරවයන්ගේ යම් යම් නොමනාකම්වලට ලක්වූ හතුරුසිංහ, මෙරට හැර ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් පුහුණුකාර තනතුරක් හෙබවූයේය. පසුව ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් පැමිණෙන ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුරට කැඳවන ලදි. ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ට අවශ්‍යව තිබූ උපදෙස් ඔහුගෙන් ලැබුණේ ද, නැත යන බව තීරණය කර ගන්නට නම් ඔබ 2009-2010 ශ්‍රී ලංකා පිතිකරණ දත්ත වාර්තා අතට ගෙන බැලිය යුතුය. පිතිකරණ පුහුණුව ලබා දීමට නම් විද්‍යාත්මක තාක්ෂණය ගැන සෑමවිටම විශ්වාසයෙන් පසුවන හතුරුසිංහට අවශ්‍ය සියලු පහසුකම් මෙහි දී ලැබුණේ දැයි අපට කිව නොහැක.

ඔහුගේ ඉගැන්වීම් ශෛලිය වෙනත්ම එකකි. හතුරුසිංහ ඕස්ට්‍රේලියානු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් සිටිය දී ස්ටීවන් ස්මිත් නම් ඕස්ට්‍රේලියානු යොවුන් “පා දඟපන්දු යවන්නා” ඔහුට හමු විය. ස්මිත් තුළ සැඟවුණු ලෝක මට්ටමේ පිතිකරුවා හඳුනා ගත් හතුරුසිංහ, වෙනත්ම ක්‍රමයකට “ස්ටීවන් ස්මිත්” නම් ඕස්ට්‍රේලියානු “පිතිකරුවා”ව නිර්මාණය කළේය. අද ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්ව ඇත්තේ සම්පූර්ණ පිතිකරුවෙකු මෙන්ම ලකුණු යන්ත්‍රයක් ලෙසයි. ඔහුගේ තාක්ෂණය වෙනස්ම ක්‍රිකට් තාක්ෂණයකි.

බින්දුමාල් විසින් චන්දිමාල් වෙතට

මා ඔබට මේ ලිපිය ලියන්නේ ඔබ විසින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතා විශිෂ්ට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා …

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට සේවය කළ සමයේ තමන්ව නෙරපාහරින්නට බලධරයන් විසින් හේතුවක් සොයාගත් පසු හතුරුසිංහ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ නැත. පොල් ෆාබ්‍රේස් මෙරට හැර යාමෙන් පසු ශ්‍රී ලංකාව පුහුණුකරුවෙකු නැතිව තැවෙමින් සිටි සමයේ දී ද හතුරුසිංහව සැලකිල්ලට ගැනෙන්නේ නැත. ඒ ඔහු ශ්‍රී ලාංකිකයෙකු වූ බැවින් විය යුතුය. සුදු හමින් තොර ක්‍රිකට් දැනුමක් ගැන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ප්‍රශ්නාර්ථයකි.

බංගලාදේශය මෙම අවස්ථාව හොඳින් හඳුනා ගෙන තමන්ගේ රටට පැමිණෙන්නැයි හතුරුසිංහට ආරාධනා කළ අතර ලෝකයේ ඉහළ ක්‍රිකට් දොරට තට්ටු කරමින් සිටියත් කවදා ඊට ඇතුල්විය හැකි දැයි විශ්වාසයක් රහිත වූ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලද ඉහළම වාසනාවක් ලෙස එය සැලකිය හැකිය.

තට්ටු කරමින් සිටි දොරේ යතුර ඔවුනට ලබා දෙන්නට පෙර හතුරුසිංහ ගත් තීන්දු තීරණ විවාදාත්මක විය. බංගලාදේශ ක්‍රිකට් ප්‍රබලයන් වන ෂකීබ් අල් හසන්, මහමුද් උල්ලා, මුෂ්ෆිකර් රහීම් වැනි ක්‍රීඩකයන්ගේ අතිමානය පහකිරීමට හතුරුසිංහ ගත් පියවර වන්නේ ඔවුන්ව කණ්ඩායමෙන් නෙරපා හැරීමයි!

බංගලාදේශ ක්‍රිකට් ප්‍රජාව කැලඹුණ ද, හතුරුසිංහ තමන්ට අවශ්‍යව තිබූ දේ සිදු කළේය. අතිමාන්නක්කාරයන්ගේ මාන්නය පාලනය කිරීමෙන් පසු බංගලාදේශය ලබාගත් ජයග්‍රහණ ගැන මෙහි සටහන් කරන්නට නොයමි. ඔබ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු නම් ඔබ එය දෑසින්ම විඳින්නට ඇත. ශ්‍රී ලංකාව පහළට රූටද්දී බංගලාදේශය ක්‍රිකට් ලෝකයේ ඉහළට නගින්නට විය. ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ පළමු 3-0 තරගාවලි ජයග්‍රහණය, ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී තරගාවලියක් ජය ගැනීම, ICC ශූරයන්ගේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම ඔවුන් ලත් ජයග්‍රහණවලින් කිහිපයකි.

තත්වය මෙසේ වෙද්දී ශ්‍රී ලංකාවේ සිදු වූ දෑ පිළිගැනීමට අපහසු සත්‍යයන්ය. ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවේ දී පරාජය වූ අතර බංගලාදේශය (හතුරුසිංහගේ පුහුණුකාරීත්වයෙන්) ශ්‍රී ලංකාවේ දී ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තේය. හතුරුසිංහ නෙරපා සිනහ වූ අපට කෑගසා හඬන්නට සිදු වූයේ එතැනදීයි.

2010 දී හතුරුසිංහව නෙරපා දමන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් වැඩි දෙනෙකු ඊට විරෝධය පෑවේය. විශේෂයෙන්ම කුමාර් සංගක්කාර (එවකට නායක) පෞද්ගලිකවම ලිපියකින් ඒ බව ක්‍රිකට් ලේකම්වරයාට දැනුම් දුන්නේය.

“ඔහුගේ තැන්පත් විලාශය නිසා අපට සෑමවිටකම සහේතුක තීරණ ගැනීමට අවශ්‍ය ක්‍රීඩාගාරයක් තිබුණා. ඒවගේම ඔහු සක්‍රීයවම තිලිණ කණ්ඩම්බි, උපුල් තරංග, තරංග පරණවිතාන, සුරංග ලක්මාල් සහ මා වැනි ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය සඳහා දායක වී තිබෙනවා.”

සංගක්කාර ලියූ ලිපියේ එසේ සඳහන් වී තිබුණි.

ඇයි අවුල් ද?

ඔබ මේ පින්තූරයේ දකින්නේ විද්‍යාඥයින් හෝ ශල්‍යවෛද්‍යවරුන් නොවේ. ලෝකයේම මාධ්‍ය පාලකයන් වන්නට…

ඔහුට යන්නට කියූ අපම, “ඔහුව ඕනෑ!” යැයි හඬ නගන්නට වූයේ ළදරුවෙකු කිරි ඉල්ලා හඬන සැටියෙනි. විදේශීය පුහුණුකරුවන් මෙරට හැර දා යද්දී, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවන්තම කාලපරිච්ඡේදය අප පසුකරද්දී, අපෙන් පාඩම් උගත් ක්‍රිකට් රාජ්‍යයන් අපටම කොකා පෙන්නද්දී, ක්‍රීඩක මුහුණු දිනෙන් දින වෙනස්වෙද්දී හදිසියේම ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයෙකුගේ අගය දැනෙන්නට පටන්ගත්තේය. ඒ හතුරුසිංහගේ අගයයි.

මේ වසරේ සහභාගී වූ එක්දින තරග 29න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. එක් තරගයක් පමණක් තීරණයකින් තොරව අවසන් වී ඇති අතර අනෙකුත් සියලුම තරග ශ්‍රී ලංකාව පරාජය වී ඇත.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකාරීත්වයට රැගෙන එන්නැයි සියලු ප්‍රේක්ෂකයන් දෑත් බැඳ ප්‍රාර්ථනා කරන්නට පටන්ගත්තේ ඉන් පසුවයි. ශ්‍රී ලාංකිකයන් සාමාන්‍යයෙන් එහෙම ය. ඔහුව නෙරපන විට ඔහු වෙනුවෙන් හඬ නැගුවේ ඉතා සුළු පිරිසකි. එහෙත් දැන් එය බහුතරයක් බවට පත්වී ඇතුවා පමණක් නොව හතුරුසිංහ ඊයේ (20) සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරීත්වය භාරගෙන ඇත.

ශ්‍රී ලාංකිකයෙකු හැටියට ආඩම්බර වනවාට වඩා මෙහි දී මට ඇතිවන්නේ බියකි. ඒ නැවත යමෙකු හතුරුසිංහගේ රාජකාරියට ඇඟිලි ගැසීමට ගොස් සියල්ල අනාගනීවි යැයි කියා ය. ඒ මා මෙරට උපන් ශ්‍රී ලාංකිකයෙකු වන බැවිනි. ශ්‍රී ලංකා පුහුණුකාරීත්වය භාර ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී හතුරුසිංහ මෙසේ කීවේය.

“මට හරි වෙලාවෙදි තමයි මේක ලැබුණේ. මේක මට හොඳ අවස්ථාවක්. මට කිසිම පීඩනයක් නැහැ. මෙය මට හොඳ අවස්ථාවක් හැටියටයි මා මෙය දකින්නේ.”

ඔහුට පීඩනයක් නැතිවුවද අපට පීඩනයක් ඇත. මෙතරම් පහතට වැටුණු කණ්ඩායමක් හමුවට පැමිණ සුපුරුදු “ශ්‍රී ලාංකික ඇඟිලි ගැසීම්” හමුවේ හතුරුසිංහ නම් ශ්‍රේෂ්ඨ පුහුණුකරුගේ කීර්ති නාමය පළුදු වේද යන පීඩනය නම් එයයි. ඔහුට ඔහුගේ රාජකාරිය කරන්නට ඉඩ විවර කළහොත් ශ්‍රී ලංකාවට මේ අගාධයෙන් ගොඩ ආ හැකිය යන විශ්වාසය සියලු ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් තුළ පවතින බැව් නොඅනුමානය.

අවසානයේ එක් දෙයක් ලියා තබමි. අගාධයේ පතුලටම වැටී හොම්බ බිම ඇනුණු විට ශ්‍රී ලාංකිකයන්ගේ මුහුණේ ඇතිවන අවිහිංසකභාවය, ඉහළට නැග කිරුළු පළඳින විට අන්තර්දාන වන බැව් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මම හොඳින් දනිමි. එබැවින් හතුරුසිංහ මැතිතුමනි, වැටුණු ක්‍රිකට් යම්දිනෙක නැගිටුවා සතුටුවන සේම, එසේ අපේ ක්‍රිකට් නැගිටි දිනෙක ඔබ වට්ටන්නට එන මාන්නක්කාරයන් කෙරෙහි ද උපේක්ෂාවෙන් බලන ශක්තිය තව තවත් දියුණු වේවා!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<