මලියදේවයින් A කාණ්ඩයේ සිහිනය සැබෑ කර ගනී

4467

සිය පාසල් රග්බි ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක් ලියන්නට කුරුණෑගල මලියදේව විද්‍යාලය අද (10) මහනුවර දී සමත් විය. පළමු වරට සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ‘A’ කාණ්ඩයට පිවිසීමට ඔවුන් සමත්ව අතර අද ඔවුන් අතින් පරාජයට පත්වූ විද්‍යා විද්‍යාලය ද ලබන වසරේ දී ‘A’ කාණ්ඩයට පිවිසීමට අවස්ථාව හිමි කර ගන්නා ලදි.

ඉසිපතන ක්‍රීඩකයින් පරාජයකින් ලීගය අවසන් කරයි; ජය ජෝසප්වරුන්ට

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ දෙවන වටයේ අවසන් තරගය…

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාව සඳහා කණ්ඩායම් අටක් එකිනෙකා හා ක්‍රීඩා කළ අතර ඉන් කණ්ඩායම් හතරකට ලබන වසරේ දී ‘A’ කාණ්ඩයට පිවිසීමේ අවස්ථාව හිමි වීමට නියමිතව තිබුණි.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන වටයේ දී අපරාජිතව පලඟ ශූරතාව දිනා ගනිමින් නැවත A කාණ්ඩයට පිවිසීමට අවස්ථාව දිනා ගත් අතර සාන්ත අන්තෝනි විද්‍යාලය සිය අවසන් ජයත් සමඟ පළඟ ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වීමට සමත් විය.

මලියදේව හා විද්‍යා විද්‍යාලය අතර තරගයෙන් මීළඟ ස්ථාන දෙක තීරණය වූ අතර සිය A කාණ්ඩයේ සිහිනය සැබෑවක් කර ගැනීමට තියුණු තරගයක නිරත වූ කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 29-19 ක් ලෙස විද්‍යා විද්‍යාලයට අනපේක්ෂිත පරාජයක් අත් කර දෙමින් පළඟ ශූරතාවේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

සත්කාරකයින් පරදා ආගන්තුකයින් දෙවැනි තැන දිනා ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ (8)…

මේ තරගය පරාජය වීමත් සමඟම විද්‍යා විද්‍යාලය ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට ඇද වැටුණු නමුත් ලබන වසරේ A කාණ්ඩයේ සිහිනය සැබෑවක් කරගන්නට ඔවුන්ට ද අවස්ථාව හිමි විය.

පළඟ ශූරතාවේ අවසන් ලකුණු සටහන මෙසේය.

අවසන් පළඟ ලකුණු සටහන. ThePapare Stats Centre

1995 දී සනත් මාටිස් මහතාගේ පුහුණුකාරිත්වයෙන් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය A කාණ්ඩයට පිවිසීමෙන් අනතුරුව කුරුණෑගලින් පාසලක් A කාණ්ඩයට පිවිසෙන්නේ පළමු වතාවටය.

පසුගිය වසරේ අගමැති කුසලානයේ ජයග්‍රාහකයින් වන මලියදේව විද්‍යාලය මේ වසරේ පාසල් රග්බි පිටියේ නැගී එන කණ්ඩායම විය. පළමු වටයේදී IIB කාණ්ඩයේ තර්ස්ටන් හා ලුම්බිණි විද්‍යාවලට ඉදිරියෙන් අපරාජිතව පළමු වටය අවසන් කරන්නට ඔවුන් සමත් විය.   

පළමු වටයට පසු IIB කාණ්ඩයේ ලකුණු සටහන

A කාණ්ඩයේ ස්ථානයක් සඳහා සටන් කළ මලියදේව විද්‍යාලය පළඟ ශූරතාවේ පළමු තරග දෙක සාන්ත තෝමස් හා සාන්ත අන්තෝනි විද්‍යාල හමුවේ පරාජය වූයේ A කාණ්ඩයට පිවිසීමේ බලාපොරොත්තු මදක් පසුපසට ඇද දමමිනි. නමුත් ආනන්ද කස්තුරිආරච්චි මහතාගේ පුහුණුකාරිත්වයෙන් බල ගැන්වුණු මලියදේව ක්‍රීඩකයෝ සිය සටන අතහැරියේ නැත.   

මේ ජයග්‍රහණය මලියදේවයට ඉතා වැදගත් වන්නේ කුරුණෑගලට A කාණ්ඩයේ කණ්ඩායමක් ලැබෙන්නේ වසර 20කට පමණ පසුව නිසයි.

පසුගිය තරග වාරයේ දී B කාණ්ඩයට ඇද වැටුණු විද්‍යා විද්‍යාලය නැවතත් A කාණ්ඩයට පිවිසීමේ මෙහෙයුම සාර්ථක කර ගත් අතර හෂාන් මධුමාධවගේ නායකත්වයෙන් බලගැන්වුණු විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම පළමු වටයේ දී අපරාජිතව සිටියත් ඩි. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව අත්වුණු අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව ඔවුන්ගේ වේගය මදක් බාල විය.

හෂාන් මධුමාධව (R) විද්‍යා විද්‍යාලයේ කොඳු නාරටිය විය. අවාසනාවන්ත ලෙස අවසාන තරග දෙක ආබාධයක් හේතුවෙන් ඔහුට අහිමි විය.

මලියදේව කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජය ඔවුන්ගේ A කාණ්ඩයේ සිහිනයට බාධාවක් නොවූ අතර 2011 දී පළමු වරට A කාණ්ඩයට සුදුසුකම් ලැබූ ඔවුන් නැවත B කාණ්ඩයට වැටෙන තුරු වසර හතක් A කාණ්ඩයේ රැඳී සිටින්නට සමත් විය. 2015 දී ලසිඳු ඉශාන් මෙහෙය වූ විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම ඉසිපතනය පරාජය කරමින් මයිලෝ ජනාධිපති කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් විය.  

රාජකීය විද්‍යාලය මේ වසරේ දී පාසල් රග්බි කිරුල අපරාජිතව දිනා ගත් අතර ලබන වසරේ දී විද්‍යා හා මලියදේව කණ්ඩායම් ද සමඟින් A කාණ්ඩය අතිශය උණුසුම් වනු ඇත.

පළමු වරට A කාණ්ඩයට පිවිසීමට අවස්ථාව හිමි කර ගත් කුරුණෑගල මලියදේව විද්‍යාලයටත් නැවත වරක් A කාණ්ඩයට පිවිසුණු විද්‍යා විද්‍යාලයටත් ThePapare.com අප උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<