ආධිපත්‍ය රැක ගනිමින් ශූරයින්ගේ කුසලානය මාතරට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

213

දේශීය පාපන්දු පිටිය උණුසුම් කරමින් සති කිහිපයක් පුරාවට පැවති ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරග ද්විත්වය අද (15) පැවැත්වුණා.

එහි දී තරගාවලියේ පෙරමුණේ පසු වූ කණ්ඩායම් වන Matara City සහ Java Lane අතර අවසන් තරගය සමව අවසන් වෙද්දී, Pelicans SC සහ Serendib SC අතර තරගය අවසන් වුනේ ගෝල 2-1ක් ලෙස Pelicans ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමි කර දෙමින්.

Matara City සහ Java Lane 

තරගාවලියේ මෙතෙක් ප්‍රසාද ලකුණු 31ක් ලබා ගනිමින් Matara City පෙරමුණේ පසු වූ අතර Java Lane දෙවැනි ස්ථානයේ පසු වුනේ ප්‍රසාද ලකුණු 27ක් සමඟයි.

සැලකිය යුතු ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගීව සිටි මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ආරම්භයේ සිටම Java Lane ක්‍රීඩකයින් තරගය පාලනය සියතට ගැනීමට උත්සහ කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 33 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය සිය කණ්ඩායමට දිනා දීමට Java Lane ක්‍රීඩක Oluwaseeun Olawaleට හැකි වුනේ තරගයට අවශ්‍ය ආරම්භය සිය කණ්ඩායමට ලබා දෙමිනුයි.

එම අර්ධය තුළ ගෝල වාර්තා කරගැනීමට තිබූ තවත් අවස්ථා කිහිපයක්ම Java Lane ක්‍රීඩකයින් අතින් මඟ හැරී ගිය අතර එම අර්ධය තුළ කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට Matara City ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ පළමු භාගය තුළ ද සිය ආධිපත්‍ය රඳවා ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් ලබා දීමට Java Lane ක්‍රීඩකයින්ට හැකි වුනා.

නමුත් Java Lane ප්‍රේක්ෂකයින්ගේ ද සතුට අහිමි කරමින් තරගයේ 86 වැනි මිනිත්තුවේ දී අගනා ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කිරීමට Matara City ක්‍රීඩක රෙහාන් වීරප්පුට හැකි වුනා.

එම ගෝලයෙන් පසුව ද Java Lane ක්‍රීඩකයින්ට තවත් ගෝල වාර්තා කරගැනීමට අවස්ථා කිහිපයක්ම හිමි වුවත් ඒවා ද සාර්ථකව අවසන් කිරීමට ලැබුණේ නැහැ. එම නිසාවෙන් තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.

ඒ සමඟින් වසර තුනකට පසුව පැවති ශූරයින්ගේ ලීග් ශූරතාවයේ සිය ආධිපත්‍ය එලෙසම රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීමට Matara City ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Matara City SC 01 – 01 Java Lane SC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්,

Java Lane SC: Oluwaseeun Olawale 33’

Matara City SC: රෙහාන් වීරප්පු 86’

තරගාවලියේ ශූරතා, අනුශූරතා සහ විශේෂ කුසලාන,

  • ශූරතාවය: Matara City SC (කුසලානය සහ 1000,000 මුදල් ත්‍යාගය)
  • අනුශූරතාව: Java Lane SC (කුසලානය සහ 750,000 මුදල් ත්‍යාගය)
  • රන් අත් වැසුම: රුසිරු ඩිල්ෂාන් (Matara City SC)
  • රන් පාපන්දුව: Evans Asante (Serendib SC)
  • රන් පන්දුව: Larbi Prince (Matara City SC)

Pelicans SC සහ Serendib SC අතර තරගය

තීරණාත්මක වූ මෙම තරගයේ 27 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් අලංකාර පහරක් මගින් ප්‍රතිවාදී ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට Serendib ක්‍රීඩක Wijekumar Vigneshට හැකි වුනා.

එම ගෝලයට අභියෝගයක් එල්ල කරමින් තරගයේ 36 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගනිමින් ලකුණු තත්වය සම කිරීමට Pelicans ක්‍රීඩක කසුන් ප්‍රදීප්ට හැකි වුනේ සිය කණ්ඩායම තරගයට ගෙන එමිනුයි.

එම අර්ධය තුළ වෙනත් ගෝල රැස් කිරීමට කණ්ඩායම් දෙකටම හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම කරට කර තරග වදිනු දක්නට ලැබුණු අතර ගෝල වාර්තා කරගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම දෙපිලෙහිම ක්‍රීඩකයිනට මඟ හැරී ගියා.

නමුත් තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Pelicans ක්‍රීඩක කසුන් ප්‍රදීප් තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: Pelicans SC 2 – 1 Serendib SC

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්,

Pelicans SC – කසුන් ප්‍රදීප් 36’ & 79’

Serendib SC – Wijekumar Vigneshට 27’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<