ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතීතය

1131

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ය. මෙම තරගාවලිය සඳහා ආසන්න තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං යන රටවල් සහභාගී වීමට නියමිත ය. මේ ThePapare.com මත සටහන් තැබෙන්නේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් පැවති ආකාරයේ පැටිකිරියයි.

ශ්‍රී ලංකාව එක්ක තරග කරනවා කියන්නේ පුහුණු තරගයක් වගේ – ගවස්කාර්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන..

පළමු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

1984 වසරේ අප්‍රේල් මස 06 වැනි දින සිට 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් පිටියේ දී මංගල ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැතිණි. තරගාවලිය සඳහා ප්‍රබල ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් සහභාගී වූ අතර ක්‍රිකට් පිටියේ කෝඩුකාරයන් ලෙසින් හැඳින්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඊට සහභාගී වීමේ අවස්ථාව ලැබුණි.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුනිල් ගවස්කාර් විසින් දැරූ අතර පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම් සහීර් අබ්බාස් වෙත පැවරී තිබුණි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළේ දුලිප් මෙන්ඩිස් ය.

1975 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වෙමින් එක්දින ජාත්‍යන්තර වරම් දිනා සිටි ශ්‍රී ලංකාව ඒ වෙද්දී සහභාගී වී සිටියේ එක්දින ජාත්‍යන්තර තරගාවලි 9කට පමණි.

එතෙක් පැවති තරගාවලි අතුරින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ආඩම්බරයෙන් සිහිපත් කරන්නට තිබුණේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව 1983 වසරේ දී මෙරට දී පැවති තරගාවලි ජයග්‍රහණය පමණි. එක්දින තරග 4කින් සමන්විත වූ එම තරගාවලියෙන් 2-0ක් සේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ව තිබුණි. ඉතිරි තරග දෙක විසඳුමකින් තොරව නිමා වූ තරග සේ ඉතිහාසයේ සටහන්ව ඇත.

සහභාගී වී සිටි තරග සංඛ්‍යාව 29කි. ඉන් තරග 7ක් ජයග්‍රහණ කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණ අතර අනෙක් තරගවල විසඳුම වී තිබුණේ තරග 20ක් පරාජයන් ලෙසින් ද සහ තරග 2ක් විසඳුමකින් තොරව ලෙසින් ද ලෙසයි.

එතෙක් ඉන්දියාව සමඟ තරග 4කට ද, පාකිස්තානය සමඟ තරග 6කට ද ඔවුන් සහභාගී වෙමින් ජයග්‍රහණය කර තිබුණේ එක් තරගය බැගින් පමණි. අනෙකුත් සෑම තරගයක්ම ප්‍රතිවාදීන්ගේ වාසියට නතුව තිබුණි.

මේ දත්ත සමඟින් පැවති ආසියානු කුසලාන මංගල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ලත් වර්ගීකරණය වූයේ තෙවැනි ස්ථානයයි. එසේ වූව ද තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල පාකිස්තානුවන්ට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙති.

පාකිස්තානය ඉන්දීය කණ්ඩායම වෙතින් ද පරාජය වීම නිසා තරගාවලියේ අපරාජිතයන් වූ ඉන්දීය කණ්ඩායම පළමු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වූ අතර කෝඩුකාරයන් ලෙසින් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුශූරතාව හිමි විය.

දෙවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

1986 වසරේ මාර්තු මස 30 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් දෙවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්විය.

එක්දින ජාත්‍යන්තර වරම් හිමි වූ පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විවිධ තරගාවලි 16කට සහභාගී වී සිටිය හ. ඉන් තරගාවලි 6ක සත්කාරකත්වය දැරීමේ පළපුරුද්දත් සමඟින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේ අවස්ථාව අප රටට ලැබී තිබුණි. එක් කණ්ඩායමකට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවට ලැබෙන්නේ පළමු වතාවට ය.

සත්කාරක කණ්ඩායම දුලිප් මෙන්ඩිස් විසින් ද, පාකිස්තාන කණ්ඩායම ඉම්රාන් ඛාන් විසින් ද සහ බංග්ලාදේශ කණ්ඩායම ගාසි අශ්රාෆ් විසින් ද මෙහෙයවන ලදි.

පෙර තරගාවලියේ ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී නොවන්නේ ඉතා දීර්ඝ තරගාවලි කිහිපයකටම එක දිගට ක්‍රීඩා කිරීම හේතුවක් කර ගනිමිනි. එම තැන 1984 වසරේ දී පැවති අග්නිදිග ආසියානු ශූරතාව දිනූ බංග්ලාදේශය එක්කර ගන්නා ලද අතර සහභාගී වූ අනෙක් කණ්ඩායම වූයේ පාකිස්තානයයි.

මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ තරග දෙකෙන්ම ජය ගන්නා පාකිස්තානය අවසන් තරගය සඳහා ඉතා පහසුවෙන් සුදුසුකම් ලැබූ අතර බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාව ද අවසන් තරගයට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තේ ය.

අවසන් තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රථම වරට ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගත්හ.

තෙවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

1988 ඔක්තෝබර් 26 වැනිදා සිට නොවැම්බර් මස 04 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී තරගාවලිය පැවැත්විය. තරගාවලිය සඳහා සත්කාරක බංග්ලාදේශය සමඟ ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සහභාගී විය. මෙම තරගාවලිය සඳහා සහභාගී වීමේ දී ශ්‍රී ලංකාව සතුව තිබුණේ පෙර වසරේ ශූරයන් ලෙස ලත් අභිමානය පමණි. ඒ එතැන් සිට සහභාගී වූ තරගාවලි 8ක් ම පරාජය වී තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් තරගාවලියේ පළමු වටය නිමාවේ දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව අපරාජිතයන් සේ සිටිමින් ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර දිලිප් වෙන්ග්සර්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව තරග 2ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටියේය.

අවසන් තරගයේ දී නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දියාව හමුවේ පරාජය වූහ. ඒ කඩුලු 6කිනි. මෙම පරාජය ආසියානු කුසලානයක දී ඉන්දීය කණ්ඩායම හමුවේ අවසන් තරගයක දී ලත් දෙවැනි පරාජය ද විය.

සිව්වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

1990 දෙසැම්බර් මස 25 වැනි දින සිට 1991 ජනවාරි මස 4 වැනිදා දක්වා පැවති සිව්වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පළමු වරට සත්කාරකත්වය දැක්වීමට ඉන්දියාව කටයුතු කළේය. මෙවර තරගාවලිය සඳහා ද සහභාගී වූයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සත්කාරක ඉන්දියාව පමණි. ඉන්දීය-පාකිස්තාන  දේශපාලන හේතූන් මත පාකිස්තානය තරගාවලිය වර්ජනය කෙරුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ තරගාවලිය සහභාගී වූවද, නිමා වූ තෙවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාවට සහභාගී වීමට ලැබී තිබුණේ තරගාවලි 6කට පමණි. එම තරගාවලියන් ද පෙර සේ ම පරාජයන්ගෙන්ම නිමා වී තිබුණි.

ආසියානු කුසලාන තරගාවලියේ පිට පිටම සිව්වැනි වතාවටත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය. මෙවර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටය නිමාවේ දී අපරාජිතව සිටි අතර මොහොමඩ් අසරුඩීන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව දෙවැනි තැනෙහි සිටිමින් අවසන් තරගයට සහභාගී වූහ.

සුපුරුදු ලෙසින්ම මෙම තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය කළ ඉන්දීය ක්‍රීඩකයෝ ආසියානු කුසලානය දිනා ගැනීමට සමත් වූහ. ඒ අවසන් තරගයෙන් කඩුලු 7ක පරාජයක් ශ්‍රී ලංකාව සතු කරමිනි. ඉන්දියාව ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වූ වසර ත්‍රිත්වයේ දී ම ශූරතා කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ සෑම වසරකම අනුශූරතාව ශ්‍රී ලංකාව සතු වීම කැපී පෙණුනි.   

පස්වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහභාගීත්වයෙන් පස් වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 1995 අප්‍රේල් මස 5 වැනිදා සිට අප්‍රේල් මස 14 වැනිදා දක්වා පැවැත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය සහභාගී වෙන්නේ තරගාවලි 19කට සහභාගී වෙමින් වඩා වැඩි වෙහෙසක නිරත වූ කාලයක ය. එම කාලයේ දී තරග කළ තරගාවලි අතරින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය ඉන්දියාව සහ සිම්බාබ්වේ සමඟ තරගාවලි ජය ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලි 12ක් පරාජය වෙති. ඉතිරි තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වෙති.  

අර්ජුන රණතුංග පිට පිට තෙවැනි වතාවටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විය. ඉන්දීය කණ්ඩායමේ ද මෙරව නායකත්වය මොහොමඩ් අසරුඩීන් වෙතම පැවරී තිබූ අතර තරගාවලියේ අවසානය ද පෙර තරගාවලියේ දී සේ ම විය.

වෙනසකට වූයේ ශ්‍රී ලංකාවේ පරාජය කඩුලු 8කින් බවට පරිවර්තනය වීම පමණි. එම ජයග්‍රහණයත් සමගින් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් පිට පිට තෙවතාවක් ජයග්‍රහණය කළ එකම කණ්ඩායම බවට පත්විය. එම සෑම අවස්ථාවකම අනුශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකාව එකී සැමරුමේ කොටස්කාරයන් වූහ.

හයවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

1997 ජූලි මස 14 වැනිදා සිට 26 වැනිදා දක්වා තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්විය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන්නේ දෙවැනි වතාවට ය. මෙවර තරගාවලිය සඳහා සත්කාරක කණ්ඩායම සමඟින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහභාගී විය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්වෙන්නේ 1996 ලෝක ශූර කණ්ඩායම ලෙසින් ලත් අභිමානයත් සමඟිනි. සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අර්ජුන රණතුංග වෙතම පැවරී තිබුණි.

මෙම තරගාවලියේ ද අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ද පෙර පරිදීම ශ්‍රී ලංකාව පසු පසින් ම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගනිමින් 1997 ආසියානු කුසලානය දිනා ගත්හ. ඒ අනුව මෙරට දී පැවති ආසියානු කුසලාන තරග ද්විත්වයේ ම ජයග්‍රහණය සත්කාරකයෝ සතුකර ගැනීමට සමත් වීම කැපී පෙණුනි.  

හත්වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

2000 මැයි මස 29 වැනි දින සිට ජුනි මස 07 වැනි දින දක්වා පැවති 7 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මෙවර සත්කාරකත්වය දැක්වූයේ බංග්ලාදේශයයි. සුපුරුදු ලෙසින්ම මෙවර තරගාවලිය වෙනුවෙන් ද පෙර කණ්ඩායම් 4ම සහභාගී විය.

සනත් ජයසූරිය ප්‍රථම වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක නායකත්වය දැරුවේ මෙම වසරේ දී ය. එතෙක් පැවති සැම තරගාවලියක දී ම අවසාන මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව මෙවර ද රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ප්‍රතිවාදීන් වෙන්නේ පාකිස්තානයයි.

මොයින් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානය මෙවර ආසියානු කුසලානය දිනා ගන්නේය. මේ ජයග්‍රහණය ඔවුන් ආසියානු තරගාවලියක ලත් දෙවැනි ශූරතාවයයි.

අටවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

2004 ජූලි මස 16 වැනිදා සිට අගෝස්තු මස 01 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙවර තරගාවලිය සංවිධානය විය. තරගාවලිය සඳහා සත්කාරකයන් සමඟින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං යන රටවල් 6 සහභාගී විය. මෙතෙක් තරග ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වූයේ මෙයයි.

සුපුරුදු ලෙසින්ම මෙවර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් හ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ මාවන් අතපත්තු ය. සව්රව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් ඉන්දිය කණ්ඩායම ප්‍රතිවාදීන් විය.

තම නිජබිමේ දී ප්‍රතිවාදීන්ට ජයග්‍රහණයක් පහසුවෙන් දිනා ගත නොහැකි බැව් නැවත සඵත කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2004 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේ ය. ඒ තෙවැනි වතාවට ය.

නවවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

2008 වසරේ ජුනි මස 24 වැනිදා සිට ජුලි මස 6 වැනිදා දක්වා පැවති 9 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දක්වන ලද්දේ පාකිස්තානයයි. මෙවර තරගාවලියට ද පෙර කණ්ඩායම් සියල්ල ම සහභාගී වීම කැපී පෙණුනි.

මෙවර තරගාවලියේ දී ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරී තිබුණේ මහේල ජයවර්ධන වෙත ය. ඔවුන් සමඟින් අවසන් මහා තරගය සඳහා සහභාගී වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමයි.

කරච්චි නුවර ජාතික ක්‍රීඩාංගණයේ දී පැවති අවසාන මහා තරගයේ දී ලකුණු 100ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක දී මෙරටින් පිටත දී ලැබූ පළමු ශූරතා ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූහ.

දහවැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

නැවත වතාවක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වූයේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාර විසින් දැරූ අතර ඔහු ද තම කණ්ඩායම මෙවර ද අවසාන මහා තරගය දක්වා රැගෙන ආවේය. සුපුරුදු ලෙසින් මෙවර ද ප්‍රතිවාදීන් වූයේ ඉන්දීය කණ්ඩායමයි. මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු 81කින් පරාජය කරමින් නැවත වතාවක් ආසියානු ශූරයන් වීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙති.

මෙරට සත්කාරකත්වයෙන් පැවති තරගාවලියක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශූරතාව අහිමි වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

එකළොස් වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

2012 මාර්තු මස 11 වැනි දා සිට ආරම්භ වූ එකළොස් වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 22 වැනිදා දක්වා පැවැත්වුනේ පෙර කණ්ඩායම් 4 පමණක් සහභාගී වෙමින් බංග්ලාදේශයේ දී ය.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පැවරී තිබුණේ මහේල ජයවර්ධන වෙත ය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා සිට පිට පිට ම දහවැනි වතාවටත් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ ප්‍රථම වතාවට  මෙම වසරේ දී එම අවස්ථාව අහිමි කර ගත්තේ ය.

පැවති තරග අතුරින් ඉන්දියාව වෙතින් ලකුණු 50ක පරාජයක් ද, පාකිස්තානය වෙතින් කඩුලු 6ක පරාජයක් ද සහ බංග්ලාදේශය වෙතින් කඩුලු 5ක පරාජයක් ද ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහභාගී වූ සෑම තරගයක් ම පරාජය වූහ. ආසියානු කුසලාන තරග ඉතිහාසයේ මේ සා පසු බැසීමක් ලත් ප්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී නැවත වතාවක් පාකිස්තානය ශූරයන් වන අතර ප්‍රථම වරට බංග්ලාදේශ ක්‍රීඩකයෝ අනුශූරයන් වෙති. ඒ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 2ක පරාජයක් ලබමිනි.

දොළොස් වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

2014 පෙබරවාරි මස 25 වැනි දින සිට මාර්තු මස 8 වැනි දින දක්වා පැවති මෙම තරගාවලියේ සත්කාරකත්වය නැවත වතාවක් බංග්ලාදේශය සතු වෙන්නේ ය. පෙර තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් සමඟින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ද තරගාවලියට එක්වෙමින් තරගාවලිය කණ්ඩායම් 5ක් අතර පැවතෙන්නේ ය.

මෙවර තරගාවලියේ දී පෙර තරගාවලියේ දී ලත් ලැජ්ජා සහගත පරාජයන් අකා මකා දමා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ අවසාන මහා තරගයට නැවත ප්‍රවිෂ්ට වෙති. ඒ පාකිස්තානය සමඟිනි. මිග්පුර් හී පැවති අවසාන මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත වතාවක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි වංශ කතාවේ ඉහළ ඡේදයක් ආක්‍රමණය කරන්නේ ය.

ඒ අනුව එතෙක් ආසියානු කුසලානය වැඩිම ප්‍රමාණයක් දිනා සිටි කණ්ඩායම ලෙසින් පෙරමුණේ සිටි ඉන්දීය කණ්ඩායම හා සමතැන් ගැනීමට ශ්‍රී ලංකාව ද සමත් වෙන්නේ ය.  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මේ වෙද්දී ආසියානු කුසලානය 5 වරක් දිනා සිටින අතර පාකිස්තානය 2 වරක් දිනා ඇත.

12 වැනි ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස් සතු වූ අතර අනුශූර පාකිස්තානය මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් තරගයට පිවිසුණි.

(ඉහත සියලු තොරතුරු ආසියානු කුසලාන සීමිත පන්දුවාර 50 තරගවල පමණක් බැව් සලකන්න. මෙම දත්ත සැකසීමේ දී 2016 වසරේ දී පැවති ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තොරතුරු කිසිවක් ඇතුලත්ව නොමැත.)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<