සිතාර සහ සහන් මහනුවර ආරක්ෂා කරයි

SLC National Super League 4 Day Tournament 2024

69

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලියේ ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සහභාගී වන අවසන් මහා තරගය අද (30) ආරම්භ වූවා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුනු 279ක් ලබා සිටියා.

අවසන් මහා තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 30  මැයි 03, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Galle

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

Galle කණ්ඩායම – රමේෂ් මෙන්ඩිස් (නායක), ඔෂද ප්‍රනාන්දු, සංගීත් කුරේ, ෂෙහාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), නිශාන් පීරිස්, ලක්ෂාන් එදිරිසිංහ, අසංක මනෝජ්, ප්‍රවීන් ජයවික්‍රම, ටිලංග උදේශන.

 

Kandy කණ්ඩායම – ලසිත් ඇඹුල්දෙණිය (නායක), පවන්ත වීරසිංහ, සහන් කෝසල, කවින් බණ්ඩාර, සිතාර ගිම්හාන් (කඩුලු රකින්නා), රවීන් යසස්, පුලින තරංග, රවිඳු රත්නායක, අශේන් ඩැනියෙල්, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක.

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායක රමේෂ් මෙන්ඩිස් විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩකයන්ට ආරාධනා කළා. ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ පවන්ත වීරසිංහ සහ සහන් කෝසලයි.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කරනවා. පළමු කඩුල්ල ලෙසින් පවන්ත වීරසිංහ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 7 වැනි පන්දුවේ දී නවක පිතිකරු ලෙසින් පිටියට පිවිසි කවින් බණ්ඩාර ගේ ඉනිම ද නිමා වෙනවා. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලෙසයි.

ඉන් අනතුරුව පිටියට පිවිසියේ සිතාර ගිම්හාන්. සහන් කෝසල හා එක් වූ ඔහු මහනුවර ඉනිමේ ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් එක් කරද්දී, එම සබඳතාව බිඳ දැමීමට ටිලංග උදේශන සමත් වූවා. එවර ඉනිම හැර ගියේ 21 හැවිරිදි වියේ පසු වූ සහන් කෝසලයි.

කඩුලු රැකි ක්‍රීඩක විශාද් රන්දික රැක ගත් උඩ පන්දුවත් සමඟින් සහන් කෝසලගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසියේ රවීන් යසස්. රවීන් යසට පිත්ත හසුරුවමින් සිටිය ද චාමිකර එදිරිසිංහ ගේ ද සහාය ලබා ගත් නායක රමේෂ් මෙන්ඩිස් ඔහුව දවා ගත්තා. ඒ වෙද්දී ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටි අතර සිතාර ගිම්හාන් සමඟින් සිව් වැනි කඩුල්ලට ලකුණු 29ක් එක කර තිබුණා.

මහනුවර ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් පුලින තරංග ලකුණු නොලබා දැවී ගිය අතර හය වැනි කඩුල්ල ලෙසින් ලකුණු 10ක් ලබා සිටි රවිඳු රත්නායක ද දැවී ගියා.

අනතුරු ව එතෙක් වේලා මහනුවර කණ්ඩායමේ ගැලවුම්කරු ලෙසින් ශතකයක් ආසන්නයට පැමිණි සිටි සිතාර ගිම්හාන් ද පිටිය හැර යන තැනට වැඩ කටයුතු සිදු කිරිමට ටිලංග උදේශන කටයුතු කළ අතර ප්‍රවින් ජයවික්‍රම ද ඊට එක් වුනා.

සිතාර ගිම්හාන් දැවී යන විට පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 90ක් ලබා සිටියා. ඔහු දැවී යන විට මහනුවර ඉනිම කියැවුණේ කඩුලු 7කට ලකුණු 248ක් ලෙසයි.  ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි නිම්සර අතරගල්ල ද ලකුණු 8කට දැවී ගියා.

තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 279ක් ලබා සිටියා. ඒ වෙද්දී අශේන් ඩැනියෙල් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් ද සහ නායක ලසිත් ඇඹුල්දෙණිය පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී අසංක මනෝජ් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර රමේෂ් මෙන්ඩිස් සහ ටිලංග උදේශන ද කඩුලු 2ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව ධනංජය ලක්ෂාන්ට ද කඩුල්ලක් හිමි වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 279 (86.0) පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන් 90, අශේන් ඩැනියෙල් නොදැවී 29, ටිලංග උදේශන 2/56, අසංක මනෝජ් 3/28, රමේෂ් මෙන්ඩිස් 2/47

මෙම තරගය හෙට (01) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<